ජාතික ආරක්ෂාවට හානිකර වස්ත්‍ර තහනම් කළ යුතුයි | දිනමිණ

ජාතික ආරක්ෂාවට හානිකර වස්ත්‍ර තහනම් කළ යුතුයි

අසේල කුරුළුවංශ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුර්කාව හා නිකාබ් වැනි වස්ත්‍ර තහනම් කිරීම හදිසි නීතිය යටතේ පමණක් නොව නිසි අණපනත් සම්මත කර ගනිමින් ස්ථිරවම තහනම් කිර්මට පියවර ගත යුතුව තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

මේ සම්බන්ධව මුස්ලිම් ප්‍රජාව නිවැරැදි ලෙස දැනුවත් කිරීම රජයේ මූලිකත්වයෙන් සිදුවිය යුතුව තිබෙන බවද උන්වහන්සේ කියති.

අන්තවාදී ක්‍රියාවන් ගෙන් රට ආරක්ෂා කර ගැනීම පිණිස දේශපාලන බේද පසෙ ලා සැවොම එකමුතුව කටයුතු කළ යුතුව තිබෙන බව දක්වමින් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජනපති, අගමැති හා විපක්ෂනායක වෙත යොමු කළ ලිපියක මෙම කරුණු සඳහන් කර තිබේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පිරිදි මෙරට අනවරසයෙන් රැඳී සිටිමින් අන්තවාදී ආකල්ප සමාජගත කරන පුද්ගලයන් හඳුනා ගෙන වහාම ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවත්, අනවසර සංක්‍රමණිකයන් ගෙන් රටේ ආරක්ෂාවට සිදුවන කර්ජනයන් පිළිබඳ මනා අවදියකින් කටයුතු කරමින් එවැනි කටයුතු සඳහා මූලිකත්වය ගන්නා පුද්ගලයන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් මහනාහිමියෝ ප්‍රකාශ කරති.

රටේ ජාතික අන්‍යන්‍යතාවට බාධාවන ආකාරයේ වාර්ගික රේඛාවන් අනුව භූමි කලාප බෙදා වෙන්කර ගැනීම නැවැත්වීම හා සියලු ජාතීන්ට සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකි පොදු සංස්කෘතික රමුවක් ඇති කිරීම මෙන්ම පොදු සමාජ සම්මතයන්ට ප්‍රතිපක්ෂව ආගමික අනන්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා මුදල් අය කරමින් සිදු කරන ආහාර ප්‍රමිති ගත කිරීම වහා නතර කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවද මහ නාහිමියෝ අවධාරණය කරති.

බුද්ධි අංශ තව දුරටත් ශක්තිමත් කිරීම හා දේශපාලන බලපෑමකින් තොරව දේශයේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීමට බුද්ධි අංශයන්ට හා ආරක්ෂක අංශයන්ට අවස්ථාව සලසා දිය යුතුව තිබෙන බවද මහ නාමියෝ එම ලිපියේ සඳහන් කර තිබේ.

මහජනතාවට ජාති, ආගම් බේදයෙන් හා බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට සුදුසු පරිසරය ගොඩනැගීම රජය සතු වගකීමක් බවත්, කවර දේශපාලන පක්ෂයක් බලයට පත්වූව ද පටු දේශපාලන අරමුණු හා මතවාදයන් ගෙන් තොරව ජාතික ආරක්ෂාවත් දේශයේ සංවර්ධනයත් උදෙසා ක්‍රියාත්මක කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ සිදු කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ පවසති.

යළිත් මෙවැනි අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් ඇති නොවීම පිණිස ගත යුතු රාජ්‍යය ප්‍රතිපත්තිමය තීරණ රැසක් පවතින බවත් ඒ ඒ ජාතීන් මුල්කර ගනිමින් ක්‍රියාත්මක වන නීති හා අධිකරණ පද්ධතීන් අහෝසි කර පොදු නෛතික රාමුවක් හා අධිකරණ පද්ධතියක සියලු ජාතීන්ට එකසේ බලපාන නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඒ සඳහා වන එක් ප්‍රධාන කරුණක් බව මහ නාහිමියෝ ප්‍රකාශ කරති.

ආගමික අන්‍යන්‍යතාවන්ට ප්‍රමුඛතාව දෙමින් බැංකු හා මූල්‍ය අංශයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් මෙන්ම සිවිල් නීතිය අභිබවමින් ආගමික අවශ්‍යතා මත සාමන්‍ය පොදු ජනතාව කෙරෙහි ක්‍රියාත්මක වන අධිකරණ අහෝසි කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතුව ඇතැයි ද උන්වහන්සේ කියති.

එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට රටේ සියලු ජාතීන්ට පොදුවේ අධ්‍යාපනය ලද හැකි අධ්‍යාපන ආයතන සහ පොදු විෂය මාලා හඳුන්වා දීමත් රටේ සුදුසුකම් සැපුරූ ඕනෑම අයකුට ජාති, ආගම් බේදයකින් තොරව නිදහසේ පර්යේෂණ කටයුතු කළ යුතු ස්ථානයක් බව පවසන මහ නාහිමියෝ සම්මත නෛතික ප්‍රතිපාදනයන්ගෙන් පරිභාහිරව හුදු ආගමික මතවාදයන් මත යැපෙමින් ආරම්භ වන උසස් අධ්‍යාපන ආයතනවලින් අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව පැහැදිලි කරුණක් බවද පෙන්වා දුන්හ.

අන්තවාදය වපුරන ව්‍යාපාරයන්ට උපස්ථම්භක වන එවැනි අධ්‍යාපන ආයතන තහනම් කිරීමට රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කිරීම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා වෙනත් අදාළ අමාත්‍යාංශ හා ආයතන මගින් එකී උසස් අධ්‍යාපන ආයතන නියාමනය කළ යුතුව ඇතැයි ද මහනාහිමියෝ ප්‍රකාශ කරති.

ජනපති, අගමැති හා විපක්ෂනායක මෙකී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමුකර ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීමට පක්ෂ බේදා නොසලකා කටයුතු කළ යුතුව තිබෙන බවත් ජාතික ආරක්ෂාව හා දේශයේ සංවර්ධනයත් උදෙසා එක්සත්ව එක්සිත්ව කටයුතු කරමින් එකම නෛතික රාමුවක ශ්‍රීලාංකීය සංස්කෘතික අන්‍යන්‍යතාව මත පදනම්වූ සියලු ශ්‍රීලංකිකයන්ට නිදහසේ සහෝදරත්වයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ඇතිකර දීමට අවශ්‍යය දේශපාලන නායකත්වය ලබා දීමට නොපමාව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව ප්‍රකාශ කරන මහ නාහිමියෝ ශ්‍රීලාංකික දේශපාලනයේ පරිණත දේශපාලන නායකයන් ලෙස එය ජනපති, අගමැති හා විපක්ෂනායක වරයාගේ යුතුකම හා වගකීම බවද අවධාරණය කරති.


නව අදහස දක්වන්න