මෙවර වෙසක් දිනයට උත්සව එපා | දිනමිණ

මෙවර වෙසක් දිනයට උත්සව එපා

අසේල කුරුළුවංශ

පාස්කු ඉරුදින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ බිය ජනක ඡායාවලින් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන්ට චිත්ත ශාන්තිය උදා කිරීම මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කරන අප සැමගේ වගකීම බවත් එහෙයින් මෙවර වෙසක් පුන් පොහෝ දින සැමරිමේදී අධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතාව ඒකාරාශී කරන උත්සව ආදියෙන් වැළැකීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන,අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථචාර්යාවෙහි යෙදෙන උතුම් ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය ලෝකවාසි බෞද්ධ ජනයාට ශ්‍රේෂ්ඨ දිනයකි. පසුගිය අප්‍රේල් මස 21 ශ්‍රී ලංකා ද්වීපයේ සිදුවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන් හට චිත්ත ශක්තිය උදා කිරීමට කටයුතු කිරීම මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කරන අප සැමගේ වගකීමකි.

ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතීන් ගෙන් වියුක්තව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවෙන් නිරත වීමට අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම බෞද්ධ පිළිවෙත බව සිහිපත් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතාව ඒකාරාශි කරන උත්සව ආදියෙන් වැළකීමට කටයුුතු කිරීම වඩාත් සුදුසුය.

මෙම තීරණාත්මක අවස්ථාවේ මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථාන වල සුරක්ෂාව උදෙසා අවශ්‍යය ආරක්ෂක විධිවිධාන යෙදීම රජය සතු වගකීමකි.මෙවර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් පුණ්‍ය ක්‍රියා හා වෙනත් වැඩසටහන් සංවිධානය කිරීමේදී ආරක්ෂක අංශ වල උපදෙස් මත මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන ලෙස සමස්ත මහජනතාවට දන්වා සිටිමු.

මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම පිණිස සියලු දේශපාලනික නායකයින් දේශපාලන බේද පසෙකලා අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිරසර ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් දානය, ප්‍රිය වචනය,අර්ථ චර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තූන් මත රාජ්‍යය පාලනය ගෙන යෑමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටිමු.


නව අදහස දක්වන්න