හම්බන්තොට ගෝලීය නාවුක සේවා සිතියමට | දිනමිණ

හම්බන්තොට ගෝලීය නාවුක සේවා සිතියමට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.

ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ගෝලීය නාවුක සේවා සිතියමට එක් වේ. ඒ අනුව හම්බන්තොට වරායට පැමිණෙන මෙන්ම ඊට ආසන්න ජාත්‍යන්තර නාවුක මාර්ගයේ ගමන් ගන්නා නෞකා සඳහා ද සේවා සැපයීමට මේ වසරේ අග භාගයේ සිට හැකියාව ලැබෙනු ඇත. සයිනොපෙක් ඔයිල් සමාගම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමඟම ලොව පිළිගත් IMO 2020 නීතියට අනුකූලව VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් අදාළ සේවා සපයන මේ කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත් වෙනු ඇත.

ලෝකයේ නාවුක තෙල් සේවා මෙහෙයුම් ප්‍රබලයකු වන සයිනොපෙක් ඔයිල් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට ලැබීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා මේ කලාපයේ තෙල් සේවා සහ මෙහෙයුම් අතරින් ප්‍රමුඛයාවීමේ හම්බන්තොට වරායේ ඇති අභිප්‍රාය මෙන්ම ඉදිරියේ දී හම්බන්තොට සතු තෙල් ගබඩා සංකීර්ණ පුළුල් කිරීමේ සැලසුමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බව හෙළි කළේය. ලෝකයේ පෙරදිග හා බටහිර යා කරන ප්‍රධානතම වාණිජ සේවා නාවුක ගමන් මාර්ගයේ වසරකට පමණක් නෞකා 31000ක් ගමන් කරන අතර, ඊට නාවුක සැතපුම් 10ක තරම් මෑත දුරකින් පිහිටා තිබෙන හම්බන්තොට වරායේ භූගෝලීය වාසිය උපරිම ලෙස අත්කර ගැනීමේ සිය සැලසුම් හා හැකියාව පිළිබඳ රේ රෙන් මහතා සිය විශ්වාසය පළ කළේය.

ටෙන්ඩර් පිරිනැමීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා, ලෝකයේ රටවල් රැසක සමාගම් 23ක් අතරින් විනිවිදභාවයෙන් හා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට අනුව යමින් සයිනොපෙක් ඔයිල් සමාගමට මේ ටෙන්ඩරය ලබා දුන් බව පැවැසීය.


නව අදහස දක්වන්න