තායිලන්ත රජු රජ පවුලේ සාමාජිකයන්ට නව තනතුරු සහ පදවි පිරිනමයි | දිනමිණ

තායිලන්ත රජු රජ පවුලේ සාමාජිකයන්ට නව තනතුරු සහ පදවි පිරිනමයි

 තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජු විසින් රජ පවුලේ සාමාජිකයන්ට නව තනතුරු සහ පදවි පිරිනමා ඇත. එම අවස්ථාවට රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල්රතන කුමරිය සහභාගි නොවීම විශේෂත්වයකි. තායිලන්තයේ දසවන රාම රජු හෙවත් චක්‍රී රාජ වංශයේ දස වැනි රජතුමා ලෙස මහා වජිරලොන්කොන් කුමරු පසුගිය 4දා නිල වශයෙන් අභිෂේක කළේය. නව රජතුමා විසින් රාජකීයයන් වෙත නව තනතුරු හා පදවි පිරිනැමීමත් මේ වනවිට සිදුකර ඇත.

එම අවස්ථාවට රජතුමා සමඟ ඔහුගේ නව භාර්යාව වන සුතිඩා රැජින, දරුවන් ඇතුළු රජ පවුලේ සාමාජිකයන් සහභාගි වී සිටියහ.

කෙසේ නමුත් රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල්රතන රාජකන්‍යා කුමරිය ඊට සහභාගි වුණේ නැත. විදේශිකයෙකු සමඟ විවාහ වීම සඳහා සිය රාජකීයත්වය අතහැරීම සහ රාජකීය සම්ප්‍රදාය බිඳ දමමින් එළඹෙන මහමැතිවරණය සඳහා අගමැති අපේක්ෂිකාවක ලෙස නාමයෝජනා භාරදීම හේතුවෙන් ඇය ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකටය.

අගමැති ධුරය සඳහා ඉදිරිපත් වූ ඇයගේ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම විසින් පසුව ප්‍රතික්ෂේප කළේය. පදවි පිරිනැමීමේ උත්සවයට සහභාගි නොවුණ ද උබොල්රතන කුමරිය රජුගේ අභිෂේක උත්සවයට සහභාගි වී තිබීම ද විශේෂත්වයකි.

නව අදහස දක්වන්න