චිරං ජයතු මාලිනී | දිනමිණ

චිරං ජයතු මාලිනී

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යනු මෙරට සිනමාව තුළ"නිළි රැජිණ"නමින් විරුධාවලිය ලත් සුවිශේෂී රංගන ශිලිපිණියකි. තිස්ස ලියනසූරිය ගේ "පුංචි බබා"සිනමා පටයෙන් සිනමාවට පිවිස දෙස් විදෙස් සම්මාන බුහුමන් රාශියකින් පිදුම් ලද සුවිශේෂ කලාකාරිණියක වූ ඇය චිත්‍රපට 150 කට ආසන්නව රංගනයෙන්ද දායක වී ඇත .රංගනයෙන් දායක වූ සෑම සිනමාපටයකම ඈ එකකට එකක් වෙනස්ම වූ චරිත අපූරුවට ප්‍රතිනිර්මාණය කරමින් එකල හා මෙකල ද තිරය මතට ගෙන ආ අයුරු විශ්මයජනකය. මේ සුවිශේෂී වූ රංගන ශිල්පිනිය පසුගිය සතියේ සිය උපන්දිනය සැමරුවාය.

"ඇත්තටම මම උපන්දිනය සැමරීමක් කියලා දෙයක් කරලා තිබුණේ නෑ ඉස්සර. එහෙම සමරන්න පටන් ගත් දිනේ සිට කුමක් හෝ පුණ්‍ය කටයුත්තක් කරනවා.පසුගිය වසරේ කැළනි පන්සලේ සිසිල් බීම දන්සැලක් දුන්නා .ඊටත් එපිට වසරේ සෝමාවතියට කංචුක පූජාවක් කළා.නමුත් රටේ පුසුගියදා සිද්ධ වුණු විනාශයත් එක්ක මේ පාර උපන්දින සැමරුමක්නම් කළේ නෑ. අපේම අයට වුණු විපතත් එක්ක මාත් ඉන්නේ හරිම ශෝකයෙන්."

මාලිනිය යනු එක් රාමුවකට කොටුවූ නිළියක් නොවූවාය. ඇය කාර්‍යබහුලම වූ යුගය තුළ වානිජ සිනමාපටයක ගීතයකට නටමින් රූගත කිරීම් සදහා සහභාගි වී පසුදා කලාත්මක සිනමාපටයක බැරෑරුම් චරිතයකට ප්‍රවිශ්ඨ වූයේ කිසිදු අපහසුවකින් තොරවය. සුසී,තුෂාරා,සංගීතා,හතර දෙනාම සූරයෝ, සමග නිධානය ,බඹරු ඇවිත් ,සොල්දාදු උන්නැහේ,එයා දැන් ලොකු ළමයෙක් ,බැදේගම ඊට කෙටි උදාහරණයන් කිහිපයකි.ඇය අදටත් එකසේ ජනප්‍රියව ඇත්තේද එහෙයිනි.

"ඇත්තටම මමත් ඒක කොහොමද වුණේ කියලා හිතනවා.වචනයෙන් දෙකෙන් පිලිතුරක් දෙන්න පුලුවන්.නමුත් එහෙම ආදරයක් ජනප්‍රියත්වයක් ලබන්න මම පෞද්ගලිකත්වය මතම ජීවත් නොවීම හේතුවක් වන්නට ඇති.කලාකරැවන් වශයෙන් අපි ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්නයි ඉන්නෙ.එවිට අපි ඔවුන් ගැන සිතිය යුතුයි.ඒක ගණුදෙනුවක් ඇත්තටම.මා ඒ ගණුදෙනුව මට කරදරයක් සේ නොසිතාම කළා .එය හේතුවක් වන්නට ඇති මගේ ජනප්‍රියත්වට"

මේ නිසාම ඇය මෙරට පමණක් නොව විදේශයන්හීද ගරු බුහුමන් ලබන්නට තරම් වාසනාවන්තියකි. ඉතාලියේදී පසුගියදා ඇය බුහුමන් ලබන්නේද එහෙයිනි .

"විදෙස් රටවල ඉන්න අපේම අය මීට වසර විස්සකට වඩා එපිට ඒ රටවල ජීවත් වෙනවා.ඒ අය 70 දශකයේ අපේ නිර්මාණ නරඹා ඒවා මතකයේ තබාගෙන අපිට ආදරය කරන අය.ඉතිං ඉතාලියේ ඉන්න කුසුම් මෙන්ඩිස්,හේමා මෙන්ඩිස් යන හිතවතියන් මා හට උපහාරයක් ඉහලින්ම සංවිධානය කළා. රංග අලහකෝන්,කෙවින් ,වෙරෝනා වල මධු අලහකෝන් මිලානෝ වල බොහෝ අය උදව් කළා, ඒ අය එහෙම මට උපහාරයක් කළේ ලාබ බලාගෙන නොවේ. විදෙස් රටක එහෙම දෙයක් කරන එක ලෙහෙසි දෙයක් නොවේ.ඒ නිසාම මමත් යුතුකමක් ලෙස ඒ වේදිකාවෙම ඒ අයට සම්මාන දුන්නා.හරිම සතුටුදායක මොහොතක් මට එය."

ඇයගේ කලාදිවියට මේ වන විට වසර 50 කටත් අධිකය.

"මෙපමණ කාලයක් රැදෙන්න පුදුම කැපකිරීමක් කළා.කිසි විටෙක ලාබ ජනප්‍රියත්වය පසු පස ගියේ නෑ.අපි ඇත්තටම ඒ කාලේ රගපෑවේ මුදල් බලාගෙනම නෙමෙයි.නිර්මාණයට පුදුම විදිහට කැප වුණා.නිළියක් විදිහට පමණක් නොවේ අධ්‍යක්ෂවරියක් ලෙසත් මා ලබාගත් දැනුම සමග ඉදිරියටද කලා කටයුතු කරන්න තමයි මගේ අදහස."

මාලිනියට අපද සුබ පතමු.

සටහන - දර්ශ කපුගේ


නව අදහස දක්වන්න