අද තොරණක් කරන්න ලොකු ගාණක් යනවා | දිනමිණ

අද තොරණක් කරන්න ලොකු ගාණක් යනවා

ආනන්ද ප්‍රේමලාල්

මෙරට තොරණ කලාව තුළ වසර ගණනාවක සිට නියැලෙමින් ,තොරණ රාශියක් නිර්මාණය කළ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ලෙස ආනන්ද ප්‍රේමලාල් හැදින්විය හැක.පුවත්පත් පිටු සැලසුම් ශිල්පියකු ලෙස මුල් අවදියේ කටයුතු කළ ඔහු,චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් ද පැවැත්වූ කලා ශිල්පියෙකි.මේ ඔහු හා කළ සංවාදයයි.

l මේ වතාවේ ඔබ තොරණ් කීයක් නිර්මාණය කළාද?

මෙවර මම මිනුවන්ගොඩ රජ මහා විහාරය ,කෙහෙල්බද්දර බෝධිදූමාරාමය,කැළනිය වනවාසළ තොරණ ආදී තොරණ තුනක් නිර්මාණය කළා.ඊටත් අමතරව දෙහිවල නගර සභාවෙ වෙසක් කලාපයේ තොරණත් නිර්මාණය කළා.ඒ සියල්ලෙහි වැඩ අවසන්.නමුත් අවසානයෙහි නොසිතූ දෙයක් තමයි සිදුවුනේ.

l ඒ කුමක් ද?

රටේ ඇති වුන වාතාවරණයත් එක්ක මෙවර තොරණ ආදී වෙසක් උත්සව නොපෙන්වා සිටීමට තීරණය කරලා.ඉතින් අපි හැදූ නිර්මාණ පොසොන් එකට හෝ ලබන වෙසක් එකට තමයි පෙන්වන්න වෙන්නෙ.

l එය ඔබ වැනි අයට කොහොමද බලපාන්නෙ?

එය ලොකු බලපෑමක් වෙලා.මොකද අද තොරණක් නිර්මාණය කරන්නට විශාල පිරිවැයක් යනවා.ඒ සදහා විශාල කාලයක් වගේම අමුද්‍රව්‍යවලට යන වියදම්, සේවක කුලිය ආදී විශාල පිරිවැයක් මේ වනවිට වියදම් වී අවසන්.සමහර දේවල්වලට අත්තිකාරම් මුදල් ගෙවලා.එවා නැවත ලබා ගන්නත් බෑ.මේ නිසා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. තොරණ් ඉදිරිපත් කරන සමිති සමාගම්වලටත් එහෙමයි.

l මේ ආකාරයට තොරණ කල් ගිය අවස්ථා මීට කලිනුත් තිබුණාද?

ඔව්,ප්‍රේමදාස හිටපු ජනපතිතුමා මියගිය අවස්ථාවෙත් වෙසක් උලෙළ පැවැත්වූ‍යේ නෑ.සමහර තොරණ් සවි කරලාත් ප්‍රදර්ශනය කළේ නෑ.

l එක තොරණක් අඳින්න කොපමණ කාලයක් ගත වෙනවා ද?

රෑ දවල් වෙහෙස වෙලා වැඩ කළොත් පින්තූර රාමු 12ක විතර තොරණක් අඳින්න පුලුවන්.

l ඒ කාලේ තොරණ් සහ අද කාලේ තොරණ් අතර වෙනසක් තිබෙනවා ද?

ඒ කාලේ තොරණ් හරිම කලාත්මකයි ඒ වගේම ලස්සනයි. දන් එහෙම නෑ. බල්බ් තමයි වැඩිපුරම පේන්නේ. බෞද්ධ ගතිය ඉස්මතු වෙනවා අඩුයි. එකම වගේ හැඩයක්. හොඳ සැලැසුම් දුන්නාට කරන අය ඒවා තෝරන්නෙත් නෑ. හරියට කරනවානම් මෙය ඇත්තටම හොඳ කර්මාන්තයක්.

l ඒ කියන්නේ මෙම කලාව ආර්ථික අතින් වාසිදායක කටයුත්තක් නෙමෙයිද?

මෙහෙමයි.තොරණක් අදින්න අපි සැලසුම කලින්ම දුන්නට, වැඩ පටන් ගන්න අපිට කියන්නෙ මාස තුන හතරකට පසුවයි. එවිට අපි පොරොන්දු වුණු කාලෙට වඩා බඩුවල මිල ඉහළ ගිහින්. සේවක පිරිවැයත් ඉහල යනවා.කාලය අඩු නිසා උදව්වට වැඩි පිරිසක් ගන්න වෙනවා.එවිට ලාභය අඩුයි.අනික සමිති පවා තොරණක් හදන්නේ බොහොම අමාරුවෙන් නිසා අපිට ලොකු මුදලක් ඉල්ලන්නත් බැහැ.දීර්ඝ කාලයක් කරගෙන ආ නිසා කරගෙන යනවා මිසක්,ලොකු ලාබ බලාගෙන මෙහි නියැලෙනවා නෙමෙයි. නමුත් තමන්ම තොරණ විදුලි ආලෝකයත් සමග නිර්මාණය කරනවානම් යම් ලාබයක් ලබාගන්න පුලුවන්.මමම එහෙම කළ තොරණ් දෙකක් තිබෙනවා.

l බොහෝවිට අද චිත්‍ර ශිල්පියාට වඩා විදුලි ආලෝක ශිල්පියා මතුවෙන බවක් පෙනෙනවා ?

මෙය මුලිකවම චිත්‍ර ශිල්පියාගේ වැඩක්. එයාගේ අදහස තමයි ප්‍රධානම. එය විදුලි ආලෝක ශිල්පියාට නොතේරුනොත් ප්‍රතිපලය අසාර්ථකයි. ඉස්සර ආරියදාස වගේ ප්‍රවීණ විදුලි ආලෝක ශිල්පීන් සැලැස්ම අනුව අවබෝධයෙන් වැඩ කළා.ලයිට්වලින් අදහස පැහැදිලි කළා. අද එහෙම වෙනවා අඩුයි.තාක්ෂණය දියුණු වුණත් එය අලුත් අය හරියට යොදාගන්නේ නෑ.එය කනගාටුවට කරුණක් .

l ඔබ තොරණ් කලාවට යොමු වුණේ කොහොමද ?

මම කුඩා කාලයේ තොරණ් බලන්න ගියා.එවාට මගේ හිත ගියා.ඉතින් මටත් කවදාහරි තොරණක් අදින්න ආසාවක් ඇති වුනා.ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් චිත්‍ර අඳින්නත් පුරුදු වුණා.මුලින්ම මම සාමාන්‍ය පෙළ කරන කාලේ ගම්පහ මාර්කට් වෙළෙඳ සංගමයේ තොරණ ඇන්දා.ඒ 1988දී විතර. එදා පටන් හැම අවුරුද්දෙම තොරණ් අඳිනවා.දැනට තොරණ් සීයකට ආසන්නව ඇඳලා තිබෙනවා.නමුත් අද මා වැඩි අවධානයක් යොමු කරන්නේ පන්සල් චිත්‍ර අඳින්න.දැනට මා විහාර ගණනාවක සිතුවම් ඇඳලා තිබෙනවා .මේ දවස්වලත් වරකාපොල සිරිසීලවිමල පිරිවෙන් විහාර මන්දිරය ,මාවතගම මීතැන්වල පන්සල් වල චිත්‍ර අඳිනවා .

l තොරණ් කලාවට ප්‍රවිශ්ඨ වෙන්න ඉන්න නවකයෙකුට ඔබ දෙන පණිවිඩය මොකක්ද ?

මේ කලාවට එක් රැයෙන් පිවිසෙන්න බැහැ.කාලයත් එක්ක පියවරෙන් පියවර ඉදිරියට ආ යුතුයි .මෙය ඉවසීමෙන් හැදෑරිය යුතුයි .නමුත් අද පරම්පරාවට එහෙම ඉවසීමක් නැහැ.නිදිමරාගෙන,තීන්ත උලාගෙන මෙහෙම දෙයක් කරනවාට වඩා,පරිගණකයක් එක්ක රැකියාවක් කරන්නයි කැමැත්ත .ඒ නිසා තොරණ ඉදිරියට නැත්තටම නැති වුණත්,මෙය කලාවක් විදිහට නම් ලොකු අනතුරක තමයි තිබෙන්නේ.

සටහන - දර්ශ කපුගේ


නව අදහස දක්වන්න