අසමත්ය එහෙත් නැගිටිය හැකිය | දිනමිණ

අසමත්ය එහෙත් නැගිටිය හැකිය

කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත්භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද?

පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන්ගේ හිස මත කඩා වැටී තිබෙන්නේ ය. එය කොතෙක් දරුණු ද යත් තවත් කාලයකට එක ද පුදබිමකටවත් ගොඩ වැදීමට කිසිදු භක්තිකයකු ධෛර්යවත් වන්නේ නැත. ඒ සඳහා බැතිමතුන්ට අවසරදීමට පෙර ඒ පූජ්‍යස්ථාන භාර ආගමික නායකයන් ද දෙවරක් සිතනු ඇත. මේ සිද්ධිදාමය තුළ එක ද දෙවියකුවත් තම බැතිමතුන් බේරා ගැනීමට සමත් ව නැත. මේ අය මිය යන්නේ ඔවුන් කිසියම් ආගමකට අයත්වීම හේතුවෙනි. මිනිසුන් ජීවත් කරවන්නට තිබෙන ආගම් මිනිසුන් මරණයට පත් කරන්නට පොළඹවන විට අපට කියන්නට සිදු වන්නේ ඒ ආගම් සියල්ල අසමත් බව ය.

හැම ආගමක් ම තරගයෙන් ජය ගනු පිණිස තම බැතිමතුන්ගේ ඔළුගෙඩිවලට දමන්නේ තම ආගම ලොව පවතින ශ්‍රේෂ්ඨතම ආගම බව ය. ඉතිරි ඒවා ‍මිථ්‍යාදෘෂ්ඨික වන්නේ ය. ඒවා මිනිසුන් මුළා කරන ඔවුන් අඳුරේලන ආගම් වන්නේ ය. ඒවා දුරු කළ යුතු පැරදවිය යුතු සාතන්ගේ ආගම් වන්නේ ය. ඒ නිසා ගැටුම් කෝලාහල යුද්ධ ඇති වන්නේ ය. ලොව සාමය ඇති කිරීමට තිබෙන ආගම් ඒ වෙනුවට මේ තර්කනය ඔස්සේ යුද්ධය ගෙනෙන විට අපට කියන්නට තිබෙන්නේ ඒ ආගම් සියල්ල අසමත් බව ය.

දෙවනුව, අසමත් වී ඇත්තේ රජය ය. රටේ ද ජනතාවගේ ද ආරක්ෂාව බාරව ඉන්නා රජය ය. නීතිය හා සාමය පවත්වාගෙන යාමට ඉන්නා රජය ය. ඒ තොරතුරු ලැබීමෙන් පසු ද කිසිවක් කරන්නට අසමත් වීම තුළ ය. අඩුම තරමින් තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්නැයි ජනතාවට දැනුම් දීමට පවා අසමත් වීම තුළ ය.

ඒ ජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතන ගණනාවක්, නිලධාරීන් ගණනාවක්, සේවකයන් ගණනාවක් සහ භටයන් ගණනාවක් සිටිද්දී ය. උන් කිසි දෙයක් කිරිමට නොමෙහෙයවීමේ හේතුවෙන් ය. ඒ සියල්ල අසමත් ය. නැතිනම් එසේ අසමත් වන තැනට ඉහළින් කටයුතු කර ඇත්තේ ය.

බල තරගය

අසමත් කණ්ඩායම් අතර තෙවනුව, බහුතර දේශපාලනඥයන් ය. එකිනෙකා සමග කුළල් කා ගන්නවා විනා වෙනත් දෙයකට සමත් බවක් නොපෙන්වන දේශපාලනඥයන් ය. ඊළඟ මැතිවරණය ගැන මිසක ජනතාව ගැන රටේ අනාගතය ගැන අබමල් රේණුවක හැඟීමක් ඔවුන්ට නැත. පාර්ලිමේන්තුව තුළ යකා නැටීමට, චණ්ඩි පාට් දැමීමට, හූ කීමට හෝ කෑකෝ ගැසීමට, මිසක ඔවුන්ට කිසිදු විවාදයකට තර්කානුකූල දායකත්වයක් ලබා දිය නොහැකි ය. චණ්ඩිකම් නොපාන බොහෝ විට ඔවුන් දක්ෂතා දක්වා ඇත්තේ නිදා ගැනීමේ දී ය. කලාතුරකින් අවස්ථාවක විනෝදය සැපයීමේ ය.

ඒ තමන් සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන් බව කියන අතරතුරේ ය. ජනතාව වෙනුවෙන් පෝරකයට වුව නගින්නට පිළිවදන් දෙන අතරතුරේ ය. එහෙත් තියෙන බලය රැක ගැනීමටත් එයින් උපරිම වරප්‍රසාද පමණක් නොව නොනිල වාසි ද ලබමින් ය. තවත් වතාවක් ඒ වරය ගන්නට මගබලමින් ය. නැතිනම් ඒ සියල්ල සඳහා අහිමි වූ බලය නැවත ගැනීමට පිට පොට ගසමින් ය.

ඔවුන්ගේ බහුතරය බලාගන්නේ තමන්ගේ ආරක්ෂාව ය. ඊට එහාට යනවා නම් ඒ සිය පවුලේ ආරක්ෂාව ය. දරු මුණුබුරන්ගේ ආරක්ෂාව ය. නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව ය.

සිවුවෙනුව, බහුතර නිලධාරි පැලැන්තිය ය. දේශපාලනඥයන් කියන්නක් ඇරෙන්නට වෙනත් කිසිවක් කරන්නට අසමත් බව පෙන්වන ඊනියා නිලධාරීන්ගෙන් එය සමන්විත ය. දේශපාලනඥයන්ට මග පෙන්වනු වෙනුවට ඔවුන්ගේ ආඥාවන් ක්‍රියාත්මක කිරීමට පමණක් ඔවුහු පේවී සිටිති. තමන්ගේ තනතුර හෝ උසස්වීම මිස ජනතාව ගැන හෝ රට ගැන වගේ වගක් ඔවුන්ට නැත. ඔවුන්ගේ බහුතරය ද බලාගන්නේ ඒ තමන්ගේ ආරක්ෂාව විතර ය. ඊට එහාට යනවා නම් ඒ සිය පවුලේ ආරක්ෂාව ය. දරු මුණුබුරන්ගේ ආරක්ෂාව ය. නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව ය. පරපුරේ වුවමනා එපාකම් ය.

ජනතාව අසන ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු නැත. ඔවුන් සංවේදී ඔවුන්ගේ අනාගතය බාර දේශපාලනඥයන්ට පමණ ය. උත්තර බඳින්නේ ඔවුන්ට පමණ ය.

පස්වෙනුව, මේ රටේ බහුතරයක් ජනමාධ්‍ය ය. තමන්ගේ ව්‍යාපාරික වුවමනා වෙනුවෙන් ඇත්ත සඟවන, බොරුව ඇත්ත කරවන, ජුගුප්සාව අවුස්සා විකුණන ජනමාධ්‍යය ය. කුණු කතා කියන දේශපාලනඥයන්ට පමණක් සිය රසිකයන් පිනවීම උදෙසාම ඉඩ විවර කර දෙන, අවස්ථාව ලබා දෙන, මාධ්‍යය ය. ලේ කකියවන පුවත් රසකර බෙදා හරින මාධ්‍ය ය. රටේ වෙන බොහෝ සිද්ධි තමන්ගේ හාම්පුතුන්ට හා අනුග්‍රාහකයන්ට අවශ්‍ය ලෙස ආරළු බූරළු ඇතිව නැවත නිර්මාණය කර බෙදා හරින ජනමාධ්‍ය ය.

ජනමාධ්‍ය මගින් සමාජය අපේක්ෂා කරන්නේ ජනතාව දැනුවත් කරවීම ය. සැඟවී තිබෙන ගැටලු මතු කර පෙන්වීම ය. ඒවා සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීම ය. එක පැත්තක් නොව සෑම පැත්තක්ම දැක ගැනීමට සැලැස්වීම ය. ඒ හරහා ජනතාවට මග පෙන්වීම ය. ඒ වෙනුවට සිදු වන්නේ ඔවුන් විසින් පැත්තක් තෝරා ගැනීම ය. ඒ අනුග්‍රාහකයාගේ පැත්ත ය. හාම්පුතාගේ පැත්ත ය. විකුණා ගැනීමට පහසු ඒවායේ පැත්ත ය. ඉන්පසු සිදුවන්නේ ඒ පැත්ත පමණක් ශක්තිමත් කරන තොරතුරු ගෙන හැර දැක්වීම ය. ඉතිරි තොරතුරු ද ඒ පැත්තට වාසිදායක වන ලෙස වාර්තා කිරීම ය.

මොන්ටිසෝරි ප්‍රශ්න

දේශපාලනඥයන්ගේ සම්මුඛ සාකච්ඡාවලදී ඇතැම් මාධ්‍යවේදීන් බොහෝමයක් අහන්නේ මොන්ටිසෝරි ප්‍රශ්න ය. දේශපාලනඥයන්ට පහසුවෙන් ගැලවී යා හැකි ප්‍රශ්න ය. හතරේ හයේ පහරවල් එල්ල කළ හැකි ප්‍රශ්න ය. ඩෑෂ් පහර ගැසිය හැකි ප්‍රශ්න ය. මිනිසුන් අසන ප්‍රශ්න ඔවුන් දේශපාලනඥයන්ගෙන් අසන්නේ නැත. එසේ කොට දේශපාලනඥයන් අමාරුවේ දාන්නට ඔවුන්ට වුවමනා නැත.

සය වෙනුව, ඊනියා විද්වතුන් ය. දේශපාලනඥයනට කඩේ යන්නට පමණක් තම උගත්කම විකුණන, භාවිත කරන, ඊනියා බුද්ධිමතුන් ය. තමන් උගත් විද්‍යාවන්ට ද අගෞරවයක් වෙමින් හැසිරෙන මේ උගතුන් අපේ රට කෙළෙසන්නේ නැතිව රට යනවා නම් එය එක් අතකට රටට කරන යහපතකි. කිසිදු සාක්ෂියක් පරීක්ෂණයක් සමීක්ෂණයක් ගවේෂණයක් නැතිව ම හිතට එන ඕනෑම අදහසක් හිරිකිතයක් නැතිව කීමට ඔවුන් සමත් ය. උගත් ශාස්ත්‍රය පැත්තකින් තබා දෙවියන්ගෙන් වරම් ගැනීමට ඔවුන් සූදානම් ය.

සත්වෙනුව, මේ රටේ ප්‍රබුද්ධ ජනතාව ය. බත් පැකට් එකට, අරක්කු භාගයට තම ආත්මය දේශපාලනඥයන්ට විකුණන මිනිසුන් ය. කවරකු හෝ උසි ගැන්වූ පමණින් ඇවිලෙන්නට බලා ඉන්නා මිනිසුන් ය. ආවේගශීලිත්වය ඉහටත් උඩින් තිබෙන, විමසන්නට කිසිදු වුවමනාවක් නැති, මිනිසුන් ය.

මේ කියූ හැම දෙනෙක්ම ඉන්නේ බුදුන් බැහැර කළ යුතු යැයි දේශනා කළ මනෝ විද්‍යාවෙන් ද නිවැරදි තීරණ සඳහා මග හැරිය යුතු යැයි කියන සතර අගතියෙන් ද දූෂ්‍ය වෙලා ය. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පෙනෙන්නේ ඒ සියල්ලේ මස්ථප්‍රාප්තිය ය. සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ය. සියල්ලන්ගේ අසමත්කම් ය.

මේ සියල්ල බැලූ විට ඇති වන්නේ කළකිරිමකි. එහෙත් අප කිසි විට බලාපොරොත්තු අත්හැරිය යුතු නොවේ.

මේ අවසාන විභාගය නොවේ. එය අතිශයින් තීරණාත්මක එකක් වුව ද එය තවත් එක විභාගයක් පමණකි. අසමත් වීම පිළිබඳ කනගාටු වනවා වෙනුවට කළ යුත්තේ ඉදිරියට එන විභාගවත් අසමත් වීමෙන් වැළැකීම ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අප වෙත තිබෙන බව ඛේදවාචකය තුළ ද පෙනෙන්නට තිබුණේ ය.

වෙනදා මෙන් සෙසු සියලු මුස්ලිම් මිනිසුන් අන්තවාදීන්ගේ ගොඩට තල්ලු නොකර ඔවුන් සම්බන්ධයෙන් සහනශීලිත්වයක් අනුගමනය කරනු අපට දක්නට ලැබුණේ ය. එය ගරු කටයුතු එකකි. එපමණක් නොවේ, එය වත්මන් අභියෝගය හමුවේ අනිවාර්යය අවශ්‍යතාවකි. මුස්ලිම් අන්තවාදය පැරදවිය හැක්කේ ද අභ්‍යන්තරයෙනි. අඩු වශයෙන් අභ්‍යන්තර සහයෙනි. ඒ නිසා ම මැදිහත් මුස්ලිම් මිනිසුන් දිනා ගැනීමට රජය පමණක් නොව සමස්ත සමාජයම කටයුතු කළ යුතු ය. ඊට ඇති සූදානම මේ ඛේදවාචකයෙන් පසු දක්නට ලැබීම සමත් විමට අපට ඇති ශක්‍යතාව පෙන්නුම් කරයි.

එහෙත් බොර දියේ මාළු බාන්නට තතනන මිනිස්සු තවමත් අප අතර සිටිති. ඔවුන් කැමති ලේ වලට ය. සිංහ-ලේ නැත්නම් මරක්කල ලේවලට ය. අප ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු ය. දැනට කරබාගෙන සිටිය ද ඔවුන් නැවත හිස එසවීමට ඉඩ තිබෙන නිසා ය. තැනින් තැන උන්ගේ මැදිහත් වීම් දැනටමත් වාර්තා වන නිසා ය. ඒ මේ කිසිවකට සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන්ට එරෙහිව නිසා ය.

රජයේ අසමත්භාවය පිළිබඳ කළකිරීම පමණක් නොව ඉදිරියේ දී එය එසේ නොවන බවට වග බලා ගැනීමේ වැදගත්කම ද ආගමික නායකයන් විසින් පළ කෙරුණු අයුරු අපි දුටුවෙමු. එසේ නොකළහොත් තමන් ජනතාව සමග පාරට බහින බව කීමෙන් අගරද ගුරුතුමන් පළමු වෙඩිල්ල තබා තිබෙනු ද අපි දුටුවෙමු. බොහෝ ආගමික මූලස්ථාන එකක් හෝ තව පක්ෂයක හොරණෑ වනු වෙනුවට මෙසේ රජයේ අකාර්යක්ෂමතාව ප්‍රශ්න කිරීමට ද පොදුවේ දේශපාලනඥයන් ප්‍රශ්න කිරීමට ද අභීතව ඉදිරිපත් කිරීමම අපේ ඉදිරිය සාර්ථක විය හැකි බවට තව සලකුණකි. දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා යාඤා කර මිනිසුන් රවටන්නේ නැතිව කෙළින්ම ප්‍රශ්නය නිසි තැනට එල්ල කිරීමට නිර්භිත වීම ද වැදගත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි ය.

තමන්ගේ දෙවියන් නැතිනම්, තමන්ගේ ඇදහිල්ල, අන් සියල්ලට වඩා ඉහළින් පිහිට වීමට කටයුතු කිරීමේ නිශ්ඵලත්වය ගැන සිතා කටයුතු කිරීමට සියලු ආගම් මීට වඩා සැලකිලිමත් විය යුතු ය. සංකේත වන්දනාවට වඩා මිනිස්කම ඉස්මතු කිරීමට මිනිසුන්ට සංවේදී වීමට කරුණාවන්ත වීමට සිය අනුගාමිකයන් මෙහෙයවිය යුතු ය. මේ ගැන වඩාත්ම නිවැරදි මතය මා දුටුවේ සමනලී ෆොන්සේකා කලාකාරිනිය කළ ප්‍රකාශයක් තුළ ය. "මට රැකගැනීමට හා පිළිපැදීමට අවශ්‍ය වන්නේ සියලුම ශාස්තෘවරුන්ගේ අභිමතාර්ථයන්ගේ අවසාන හරය වූ මේ වනවිට ලෝකයෙන් ගිලිහෙමින් පවතින මනුෂ්‍යත්වය නමැති ආගමයි. ඒ වෙනුවෙන් පෙනීසිටිමට, අනෙකාට ඇහුම්කන් දීමට, මාවම ප්‍රශ්න කර ගැනීමට, වැරදි වැරදී හෝ ඒ මග ඔස්සේ ගමන් කිරීමට මම මේ පරිණාමයෙන් මට ලැබී ඇති ජීවිතය පුරා උත්සාහ කරමි... අවසානයේ සිදුවිය යුත්තේ දෙවියන් ප්‍රශ්න කිරීමවත්, බුදුන් රැක ගැනීමවත්, බුදුන් ප්‍රශ්න කිරීමවත්, දෙවියන් රැක ගැනීමවත් නොවේ. අවසානයේ සිදුවිය යුත්තේ අප සියල්ලන්ම විසින් 'මනුෂ්‍යත්වය' රැකගැනීමයි...!"

මාධ්‍ය වගකීම

ජනමාධ්‍ය පවා මේ නිශ්චිත සිද්ධියේදී තරමක වගකීම් සහිත හා විචාරශීලී ප්‍රවේශයක් අනුගමනය කරනු දක්නට ලැබුණේ ය. මේ ආගමික ත්‍රස්තවාදය සම්බන්ධයෙන් බුද්ධිමත් සංවාදයක් ඇති කිරීමට ජනමාධ්‍ය දැනට වඩා මැදිහත් විය යුතු ය. මුස්ලිම් ආගමේ ඇතැයි කියන එක් ඉගැන්වීමක් නම් ආගම වෙනුවෙන් දිවි පිදීම හේතුවෙන් ස්වර්ගයේ දි කන්‍යාවන් අහවල් ගණනකට හිමිකම් කිමට හැකි බව ය. අහවල් ගණනකැයි කීවේ එක් එක් තැන්වල මේ ගැන විවිධ සංඛාලේඛන ඉදිරිපත් වන නිසා ය. ඇතැමුන් කියන්නේ මුස්ලිම් අන්තවාදී-සිය දිවි නසා ගන්නන් මෙහෙයවන්නේ මෙවැනි පටු ඉගැන්වීම්වලින් බව ය. අවාසනාවකට අපට සමාන ඉගැන්වීමක් සිංහල බෞද්ධයන් අතරින් ද සොයා ගත හැකි ව තිබේ. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි පේළි අතරිනි. ඒ කවිය මෙසේ ය. ජාතික රණ දෙරණ මතේ - ගැටි වැටී මළ මොහොතේ - සුන්දර සුරඹුවන් අතේ - නැළවෙන බව සිතනු පුතේ. මේ ආගමාභිමානය හා ජාතිකාභිමානය එක් වන තැනකි. අමරදේවගේ මුවින් ගැයෙන මුනි සිරිපා සිඹිමින්නේ ගීයේ පද වැලේ එක කොටසක් ද මේ කවිය ය. එය ගැයෙන රිද්මය මිනිසුන් පොලඹවන සුළු රිද්මයකි. ඉදින් කෙනකුගේ මොළ සේදීම සඳහා මෙවැනි ඉගැන්විම් කවි ගායනා යොදා ගත හැකි බව දැන එවන් මතවාදයන්ගේ පුහු බව ජනතාවට එළි කිරිමේ වගකීම ද ඇත්තේ ජනමාධ්‍යයවලට ය. ඒ ගැන ප්‍රමාණවත් සංවාදයක් මාධය තුළ නොකෙරෙන්නේ වඩා හොඳින් විකිණිය හැක්කේ ආවේගශීලි බඩු මිසක විචාරශීලි බඩු නොවන නිසා ය. ජනමාධ්‍ය ජය ගත යුත්තේ ඒ අභියෝගය ය.

නිලධාරීන් පවා නිදි ගැට හැර නැගිට යමක් කරනු දක්නට ලැබුණි. ආරක්ෂක අංශවල සාමාජිකයන් ඒ අතරින් ඉදිරියෙන් සිටිනු පෙනුණි. ඔවුන්ට ද වගකිමක් තිබේ. සැබෑ වගකිවයුත්තන් අල්ලා ගැනීමට හැකි පමණ වගකීමෙන් මෙහෙයුම් කිරිමට ය. ප්‍රහාරයේ බැරෑරුම්කම හමුවේ වුව ද සංයමය පවත්වාගෙන යෑමට ය. අහිංසකයන් නොපෙළීමට වග බලා ගැනීම ය.

මහජනයා ද ඔත්තු සපයමින් ආරක්ෂක අංශවලට නොමඳ සහයක් ලබා දෙනු දක්නට ලැබුණේ ය. ඒ අතර මුස්ලිම් ජනයා ද බොහෝ සේ සිටිනු පෙනේ. එහෙත් ඒ අතර නොමග යවන ඔත්තු ද තිබෙන්නේ ය. සමහරු තම විරුද්ධවාදීන් අමාරුවේ දැමීමට මේ අවස්ථාව සමාවක් කර ගන්නේ ය. එවැන්නන්ට නිසි දඩුවම් දිය යුතු ය. ඒ සැබෑ ඔත්තුකරුවන් අධෛර්යයට පත් නොවන බවට වග බලා ගන්නා අතරේ ය.

මේ අප දැක්වූ සාධනීය සියල්ල ඉදිරි විභාග සමත් විය හැකි බවට ඉඟි ය. සියල්ල අවසන් නැති බව සර්ව-අසුබවාදී නොවිය යුතු බවට ඉඟි ය. ඒ අතර විභාගය සමත් විමට තවත් දේ අවශ්‍ය බව ද අප අමතක නොකළ යුතු ය.

නව අභියෝගය වෙනස්

ඊට අමතරව මේ පිබිදීම හා සෝදිසිය දිගින් දිගට පවත්වා ගත යුතු ය. අභියෝගය ඇත්තේ එතැන ය. පුංචි වැරදීමක් නැවත වතාවක් අප බිංදුවට ගෙන යනු ඇති නිසා ම අප අපේ විමසුම, සෝදිසිය, අත් නොහළ යුතු ය. වගකීම් සහිත හැසිරීමක් ප්‍රදර්ශනය කරන ලෙස නායකත්වයට කරන බලපෑම අප තීව්‍ර කළ යුතු ය. රජයේ තීරණාත්මක තනතුරු සඳහා නිස්සන් පත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු ය. කලට වේලාවට මිනිසුන් දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු ය. අප්‍රමාදව ක්‍රියාත්මක විමේ වැදගත්කම අවධාරණය කළ යුතු ය.

රජය කරවන අය පමණක් නොව රජය කරවන්නට බලාපොරොත්තු වන අය ද තමන් වගකිමෙන් කටයුතු කළ යුතු බව අප විසින් කියා සිටිය යුතු ය. ඔවුන් විසින් බොරදියේ මාළු බෑමට ගන්නා උත්සාහයන් රටේ යහපත පිණිස හේතු නොවන බව ඔවුන්ට කිව යුතු ය. අප හිටියා නම් මෙවැන්නක් නොවන්නේ යැයි කියන කතන්දර වෙනුවට කළ යුත්තේ මේ යැයි කියා සිටින්නට යැයි ඔවුන්ට කිව යුතු ය. ඔවුන් රජය කරවන්නට සුදුස්සන් දැයි අපට දැනගත හැක්කේ එවිට යැයි ද අප කියා සිටිය යුතු ය.

අපට ඊළග විභාගය සමත් විය හැක්කේ මෙසේ සමස්ත සමාජයක් ලෙස ඊට සූදානම් වීමට ඉදිරිපත් වේ නම් පමණ ය. අප ඉදිරියේ ඇත්තේ තනි මිනිසෙකුගේ කර උඩ නැග ගොඩ විය හැකි අගලක් නොවේ. සැවොම එක්ව පාලමක් ඉදි කර ගොඩ විය යුතුව තිබෙන මහ ගඟකි. බොහෝ දෙනකුට අවශ්‍ය එසේ සූදානම් වීම නොවේ. කාට හෝ විශ්මකරුමයකුට වගකීම පවරා අත සෝදා ගැනීමට ය. තමන් වෙනුවෙන් හොරට විභාගයට ලිවීමට කෙනකු සොයා වැඩේ ඔහුට බාර දීමට ය.

එසේ පහසු මාර්ග හොයන අය දැන ගත යුත්තේ වත්මන් අභියෝගය වෙනම රටක් සඳහා වූ එල්ටීටීඊ අරගලයට වඩා වෙනස් බව ය. අයිසිස් ජාත්‍යන්තර සංවිධානයකි. ඔවුන් අපෙන් ඉල්ලන යමක් නැත. පෙරළා දැමීමට ඔවුන්ගේ පාලනයක් කොහේවත් නැත. මිනීමස් කෑමට පුරුදුව සිටින කැලෑ වැදී සිටින කොටියකු අල්ලා මරා දැමීම පහසු ය. එහෙත් අප අතර ජීවත් වෙමින්, අපේ ලේ උරා බොන අතරේ, අපව ලෙඩ කරවන, මදුරුවන් මර්දනය අමාරු ය. තුවක්කුවෙන් කොටි දඩයම් කිරීමේ පළපුරුද්ද මෙහිදී එහෙමට වැදගත් වන එකක් නැත. මදුරුවන් මර්දනයට සමාජයක් ම එක් විය යුතු ය.

එක විෂයක දැක් වූ සමර්තකම තව විෂයක දී ද දැක්විය හැකි යැයි සිතුවොත් වන්නේ නැවත වරක් අසමත් වීමට ය. එය මරණීය ය. ඒ නිසා තමන් වෙනුවෙන් විභාගයට ලිවිමට පරණ විභාගයක් සමත් වූ අයකු සොයනු වෙනුවට කළ යුත්තේ සැවොම මේ විභාගය සඳහා උපරිමයෙන් සූදානම් වීම ය.

මේ නව අභියෝගය ජය ගැනීම අමාරු ය. එහෙත් බැරි නැත. ඒ සඳහා අවශ්‍ය ආවේගශීලි මැදිහත්වීම් නොවේ. බුද්ධිමය මැදිහත්වීම් ය. ඊට අවශ්‍ය සංයමය ජනයාට ද රට කරවන්නන්ට ද ලැබේවා.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න