සංචාරක කර්මාන්තයට අත්වැල් | දිනමිණ


 

සංචාරක කර්මාන්තයට අත්වැල්

ආර්ථික විග්‍රහය

ආයෝජක සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සැලකිල්ල යොමුවන දර්ශක කීපයකි. ඒ අතරින් ගෝලීය ත්‍රස්ත දර්ශකය ද පරිහරණය කිරීමට දැන් දැන් ඔවුහු පෙළඹී සිටිති. හේතුව රටක 'ව්‍යාපාරික සෞඛ්‍යයේ' නාඩි වැටීම එම දර්ශකය තුළින් පෙන්නුම් කිරීමයි.

ගෝලීය ත්‍රස්ත දර්ශකයේ 2018 වාර්තාව පවසන අන්දමට '1970 සිට 2017 කාලය තුළ ලොව පුරා ත්‍රස්ත ක්‍රියා 1,70,000 ක් වාර්තාව තිබේ.' එම වාර්තාවට අනුව 2017 වසර තුළ පමණක් ත්‍රස්ත ක්‍රියා නිසා සිදුවූ ආර්ථික හානිය අමෙරිකා ඩොලර් බිලියන 52 කි. ත්‍රස්ත ක්‍රියා නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 18814 කි. ත්‍රස්ත ක්‍රියා උග්‍ර වූ 2014 වසරේ මේ නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 6466 කි. නයිජීරියාවේ මරණ සංඛ්‍යාව 5950 කි. පකිස්තානයේ මරණ 912 කි. 2016 වසරේ රටවල් 67 කින් ත්‍රස්ත ක්‍රියා වාර්තා වී තිබේ.

ලෝක ත්‍රස්තවාදයේ එසේත් නැතිනම් ගෝලීය ත්‍රස්තවාදයේ නවතම ඉලක්කය ශ්‍රී ලංකාවයි. ආගමික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ එම ප්‍රහාරයෙන් දේශීය මෙන්ම විදේශීය පිරිස් ඛේදජනක ලෙස විනාශ වූහ. සිදුවූ භෞතික සම්පත් හානිය තවම හරිහැටි ගණන් බලා නැත. සිදුවූ එක මරණයකට රුපියල් දසලක්ෂය බැගින් දැන් වන්දි ගෙවීම් සිදුකරයි. පුනරුත්ථාපනය කළ යුතු දේපොළ හා ව්‍යාපාර වෙනුවෙන් ද දැවැන්ත වියදමක් දැරීමට ඉදිරියේදී සිදුවේ. මේ සියල්ල සඳහා වැය කළ යුතුව ඇත්තේ රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතු මහජන මුදල් ය.

ගෝලීය ත්‍රස්තවාදය

මුදල් ඇමැතිවරයා කොළඹ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේ ත්‍රස්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවන පාඩුව ඇ. ඩොලර් බිලියන 1.5 ක් පමණ විය හැකි බවයි.

මුදල් ඇමැතිවරයා ඉහත මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේ සංචාරක පැමිණීම සියයට 10 කින් අඩුවුවහොත් ඇ. ඩොලර් දසලක්ෂ 500 ක පමණ පාඩුවක් සිදුවන බවයි.

'අපේ ආර්ථිකය පවතින තත්ත්වයත් එක්ක මේ තත්ත්වයනට මුහුණදී ඉක්මනින් අපට යථා තත්ත්වයට පත්වන්නට පුළුවන්. ඊජිප්තුව වසර එකහමාරක පමණ කාලයක් තුළ යථා තත්ත්වයට පත්වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථා තත්ත්වයට පත්වුණා. උද්ධමනය අඩුවෙමින් බැංකු පොලී අනුපාත අඩුවෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මෙයට මුහුණ දෙන්න පුළුවන්.'

'ගෝලීය ත්‍රස්තවාදි දර්ශකයට අනුව ලෝකයේ හැම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානමක සිටිනවා. සෑම රටක්ම පාහේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක්වීමේ අවදානමක් තිබෙනවා. අපි මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට ලෝකය සමඟ අත්වැල් බැඳගත යුතු යැයි ඇමැතිවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා ප්‍රකාශ කළ පරිදි 30 වැනිදා තව රටක් ගෝලීය ත්‍රස්තවාදයට ඉලක්ක විය. බුර්කිනා ෆාසේ බටහිර අප්‍රිකාවේ කුඩා රාජ්‍යයකි. එහි පල්ලියකට වඩා වැදුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් පූජකවරයා ඇතුළු හයදෙනෙකු ඝාතනය කර දැමූහ.

අල්කයිඩා සහ අයි. එස්. ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වන ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් 2014 සිට එරට ක්‍රියාත්මක වෙයි. එසේම පිලිපීනයේ මියන්මාරයේ සහ තවත් රටවල් කීපයක ත්‍රස්ත ක්‍රියා ගිය සතියේ වාර්තා විය. ගෝලීය ත්‍රස්තවාදය සෑම තැනකම ක්‍රියාත්මක වන බව මෙමඟින් ඔප්පු වේ. මෙසේ උන්හිටි ගමන් ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම නිසා එබඳු රටවලට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අමාරු වේ. සංචාරක ප්‍රවර්ධනය ද අසීරු වේ.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් සිය ජාතික ආදායම වැඩිකරගන්නා ගමන් සෘජු හා වක්‍ර රැකියා රාශියක් උත්පාදනය කර ගනී. 2017 වන විට සෘජු රැකියා 156363 ක් එමඟින් නිර්මාණය කර තිබූ අතර වක්‍ර රැකියා ප්‍රමාණය 202846 කි.

2017 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2116407 කි. ඔවුනගෙන් ලද ආදායම රුපියල් දසලක්ෂ 598143 කි.

2018 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2333796 කි. පසුගිය සතියේ නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඒ බව පවසයි. මෙය 2017 වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමකි.

2019 මේ වසරේ ජනවාරි මාර්තු තුන්මාසය තුළ සංචාරක පැමිණීම 740600 කි. 2018 ජනවාරි - මාර්තු තුන් මාසය තුළ සංචාරක පැමිණීම 707924 කි. මේ අනුව 2019 පළමු කාර්තුවේ සංචාරක පැමිණීම 2018 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 4.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මැයි 03 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා දර්ශකය කියයි.

මෙසේ සංචාරක පැමිණීම වැඩිවත්ම ඉන් උපයාගත් ආදායම ද ක්‍රමයෙන් වර්ධනය විය. 2019 ජනවාරි - මාර්තු සංචාරක ඉපැයීම අමෙරිකා ඩොලර් දසලක්ෂ 1390 ක් හෙවත් රුපියල් බිලියන 249.9 කි. 2018 ජනවාරි මාර්තු ඉපැයීම ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 1328 කි. එම මුදල රුපියල් බිලියන 205.7 කට සමානය. 2019 මාර්තු මාසයේ පමණක් සංචාරක ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 458.6 කි. එහෙත් 2018 මාර්තු මාසයේ සංචාරක ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 438 කි. 2019 මාර්තු මාසයේ සංචාරක පැමිණීම 244328 ක් වූ අතර 2018 මාර්තු සංචාරක පැමිණීම 233382 කි.

අඩපණ වූ කර්මාන්ත

මෙසේ සංචාරක කර්මාන්තය එහි ඉහළම අවස්ථාවට ළංවෙමින් තිබියදී කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. දැන් එය සෘජු හා වක්‍ර රැකියා රාශියක් අඩපණ කර තවත් විශාල පිරිසකගේ ජන ජීවිතය අවුල් කර ඇත. ගමනාගමන අපහසුතා සහ පිටපළාත්වලින් පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවීම නිසා ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් ගොවියෝ සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ගිය සතියේ විරෝධතා පැවැත්වූහ. දඹුල්ල වෙළෙඳ සංකීර්ණය තුළ තත්ත්වය ද එබඳුය. කොළඹදී රැස්වීමක් පැවැත්වූ ආනයනකරුවෝ තමන් මුහුණ දෙන ගැටලු මාධ්‍ය හමුවේ කියා පෑහ. මේ අතර වාණිජ මණ්ඩල ඒකාබද්ධ නිවේදනයක් මඟින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය අගය කළහ.

සංචාරක හෝටල් අංශය සහ ගුවන් ගමන් අංශය පසුගියදා රැස්වීමක් පවත්වා තමතමන්ගේ කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යා යුතු අන්දම සාකච්ඡා කළහ. දිනකට සංචාරකයන් 5000 - 6000 අතර ප්‍රමාණයක් රටට ඇතුල් වුවත් මේ වන විට එම සංඛ්‍යාව දිනකට 2000 දක්වා අඩුව ඇති බව මෙම සාකච්ඡාවේදී කියැවිණි. එසේම පැමිණීම අවලංගු කිරීම් සියයට 10 කින් පමණ වාර්තා වන බව ද ඒ සමඟ කියැවිණි.

ඉන්දුනීසියාව, තායිලන්තය සහ ටියුනීසියා සංචාරක ඉලක්කවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ විට එම රටවල හෝටල සහ ගුවන් ගමන් අංශ එකමුතුව සාකච්ඡාකොට සිය කර්මාන්ත පවත්වාගෙන යෑමට විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කළහ. එසේම හෝටල් සහ ගුවන් ගමන් අංශ දෙක එක්ව පොදු වැඩසටහනකට එකඟවීමේ අවශ්‍යතාව මෙම රැස්වීමේදී අනුමත විය.

ඒ අනුව නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ පත්‍ර සඳහා සහන ලබාදීම කෙරෙහි ඔවුහු සිය අවධානය යොමු කළහ.

ලෝන්ලි ප්ලැනට් සඟරාව ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව උද්දීපනයක් ලැබුණි. පාස්කුවේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරකයන් අතර ඇතිවූ තැතිගැනීම දුරුකරනු වස් නව ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇරැඹීමේ යෝජනාවක් දැන් ආණ්ඩුව හමුවේ ඇත.

සිලෝන් චෙම්බර්ස් ඔෆ් කොමර්ස් (වාණිජ මණ්ඩලය) ඉතා දීර්ඝ සාකච්ඡාවක් පවත්වමින්, සංචාරක කර්මාන්තය ගැන පමණක් නොව සමස්ත ආර්ථිකයම සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය යෝජනාවලියක් සකසා දැනටම එය ආණ්ඩුවේ වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කර හමාරය. එසේම ඔවුහු ජාතික ආරක්ෂාව සහතික කර ගැනීම පිළිබඳව ද අදහස් පළකර ඇත.

හෝටල් කර්මාන්ත අංශය අවධාරණය කර ඇත්තේ වත්මන් තත්ත්වය නිසා මූල්‍ය සම්පත් හිඟයකට මුහුණ දී ඇති ආයතන ආරක්ෂා කර ගන්නා අන්දමයි. අඩු පොලී ණය සහන, වන්දි ආදිය කඩිනම් කළ යුතු යයි ඔවුහු කියති.

ජාත්‍යන්තර සහාය

ශ්‍රී ලංකාවේ සංචා‍රයේ යෙදීමෙන් වළකින ලෙස රටවල් රාශියක් සිය රටවැසියන්ගෙන් ඉල්ලීම් කර තිබේ. මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා මෙරට සිටින තානාපති ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළ යුතු යැයි ද හෝටල් අංශය රජයෙන් ඉල්ලීම් කර තිබේ.

සංචාරක කර්මාන්තය යළි පුනරුත්ථාපනය කර ගැනීමට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළකට දැන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ කඩිනම් වෙයි.

මැයි මස 21 - 23 දක්වා ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වෙන IMEX සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තය යළි නංවාගැනීමේ උත්සාහයක යෙදීමට නියමිතය. රටවල් 86 ක විවිධ මට්ටමේ නියෝජිතයෝ 3962 ක් එහිදී එකට එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවලට සහභාගි වෙති.

ප්‍රධාන ගුවන් ගමන් ආයතන, සංචාරක හෝටල් ජාලයන්, සේවා සැපයුම් ආයතන, කලාපීය සංචාරක නියෝජිත අංශ මේ ප්‍රදර්ශනයට සහභාගි වෙති. මැයි මස මුල් සතියේ ස්පාඤ්ඤයේ සැන් සෙබස්තියන්හි පවත්වන ලද UNWTO සාකච්ඡාවේ අරමුණක් වූයේ සංචාරක කර්මාන්තයේ රැකියා උත්පාදනයයි. මෙහිදී ද ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝක ප්‍රජාව හමුවේ තැබුවේය.

ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලබන සංචාරක උදාව ප්‍රදර්ශනය ජූනි 7 - 8 දෙදින පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක ක්‍රියාකාරීන්ගේ සම්මේලනය, 9 වැනි වතාවට පවත්වනු ලබන මේ ප්‍රදර්ශනය තුළින් ද ශ්‍රී ලංකාව සිය පණිවිඩය ඉදිරිපත් කරනු ඇත.

ඩුබායි හි අප්‍රේල් 28 මැයි 01 දක්වා පවත්වන ලද ඒ. ටී. එම්. සැණකෙළියට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදේශීය නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය පහදාදීමේ නිරත විය. මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය දැන් ක්‍රියාත්මක වෙයි.

ඩුබායි ATM සැණකෙළියේදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 50 ක් පමණ සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තරව කරුණු හෙළි කළාය.

සී. එන්. එන්. යූරෝනිව්ස්, කලීජා ටයිම්ස්, ඩුබායි අයි ආදී මාධ්‍ය ආයතන ද ඒ අතර වූහ. 2019 වසර සඳහා අරඹා ඇති කිසිඳු සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නතර නොකරන බව එහිදී කිෂූ ගෝමස් මහතා මාධ්‍යවේදීන්ට පැවැසීය.

සත් පුද්ගල කමිටුව

මේ අතර සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා පත්කරන ලද සත් පුද්ගල කැබිනට් ඇමැති කමිටුව සිය ප්‍රථම හමුව ඊයේ සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණි. ආරක්ෂාව, මෘදු ණය පහසුකම් සැපයීම සහ විදේශ රටවල් විසින් පනවා ඇති 'ගමන් තහනම්' ඉවත් කිරීම සඳහා මේ කමිටුව කටයුතු කරනු ඇතැයි ව්‍යාපාරික අංශ විශ්වාසය පළ කරති.

හානියට පත් සංචාරක හෝටල් සහ ගොඩනැගිලි පුනරුත්ථාපනයට අවශ්‍ය රක්ෂණ ගෙවීම් දැන් ඇරැඹී ඇත. ෂැන්ග්‍රිලා හෝටලය සඳහා රක්ෂණ ගෙවීම් සිදුවිය. එසේම සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල් සඳහා ද ළඟදීම රක්ෂණ ගෙවීම් සිදුකෙරේ. පෞද්ගලික ගොඩනැගිලි සඳහා රුපියල් දසලක්ෂ 5 ක උපරිමයට යටත්ව රක්ෂණ ගෙවීමට සැලකිල්ල යොමුව තිබේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය දැන් සිය ව්‍යාපාරික කටයුතු අරඹා තිබේ.

එක් මරණකරුවකු වෙනුවෙන් රුපියල් දසලක්ෂයක වන්දියක් ද, තුවාලකරුවකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ද වන්දි ගෙවීම් දැන් ඇරැඹී ඇත. රක්ෂණ ගෙවීම් සඳහා රුපියල් දසලක්ෂ 500 ක් පමණ වැය වෙතැයි වාර්තා වේ. ආසියානු සංවර්ධන බැංකු සමුළුවේදී එම බැංකු සභාපති ටකිහිකෝ නකාඕ මහතා හමුවූ ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයා සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා සහාය ඉල්ලූ බව පීජී සමුළුවෙන් ලැබෙන ප්‍රවෘත්ති වාර්තා කියයි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න