ආර්ථික සංග්‍රාමය! | දිනමිණ


 

ආර්ථික සංග්‍රාමය!

මේ වනවිට අප මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව සැබෑවකි. එහෙත් ඊට නොදෙවෙනි තවත් අභියෝගයක් තිබේ. එනම්; රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම ය. පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය පැවැතියේ ඉදිරිගාමී තැනක ය. සංචාරක කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද අපි සමත් වී සිටියෙමු. ඒ සියල්ල එකවර කඩාවැටුණු තත්ත්වයක් දැන් සටහන් වී ඇත. සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර කඩාවැටීමක් තිබේ. ඒ ආශ්‍රිත ආදායම් මාර්ග බොහෝමයක් ඇහිරී ඇත. රජය දැන් සාකච්ඡා කරමින් සිටින්නේ මේ තත්ත්වය වෙනස් කළ හැකි උපාය මාර්ග ගැන ය.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වන ඕනෑම රාජ්‍යයක් කෙටිකාලීන වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. මෙබඳු ප්‍රහාරයක බලපෑම එල්ලවන්නේ සමස්ත ආර්ථිකයටම ය. ආර්ථිකයේ සෑම අංශයක් ම ඒ ඔස්සේ පසුබෑමට ලක්වෙයි. අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි රටවල් මේ තත්ත්වයට මුහුණ දුන් අතර දුර්භාග්‍යය ඉතා කෙටි කලකින් සමහන් කර ගැනීමට සමත් විය. 2001 සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයෙන් අමෙරිකන් ආර්ථිකය දුර්වල වන්නේ යැයි අනාවැකි පළවුණ ද එය එසේ වූයේ නැත. ඉතා කෙටි කලකින් ආර්ථිකය යථා තත්ත්වයට ගැනීමට එරට පාලක පන්තිය සමත් විය. අදටත් ලෝකයේ අංක එකේ ආර්ථිකය අමෙරිකාවට හිමි ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති. එය සත්‍යයෙකි. කෙටිකාලීන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත යුතුව තිබේ. සංචාරකයන්, ආයෝජකයන් හා තවත් ව්‍යාපාරිකයන් අපේ ගනුදෙනුකරුවන් ලෙස සැලැකිය හැකි ය. සංචාරකයන්ට, ආයෝජකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද සිය කටයුතු කරගෙන යෑම සඳහා ආරක්ෂිත භූමියක් ලෙස ශ්‍රී ලංකාව පැවැතිය යුතුය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට තවත් මාස කිහිපයක් යෑමට පෙර ආගමික ත්‍රස්තවාදය රටෙන් තුරන් කරනු ලැබේ. දැනට සිදුවන මෙහෙයුම්වලට අනුව එය කළ හැකි බව ද පෙනී යයි. මේ තත්ත්වය ජාත්‍යන්තරය තුළ තහවුරු කිරීම ඉතා වැදගත් ය.

ආර්ථික ව්‍යාපෘති කෙරෙහි පැවැති උණුසුම් - උනන්දුව ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දුර්වල වී ගිය බවක් පෙනෙයි. අද කාගේත් අවධානය යොමු වී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර කෙරෙහි ය. ආර්ථික ප්‍රවර්ධනය අමතක වූ විෂයයක් බවට පත් වී ඇත. මේ ගතිකය වෙනස් කළ යුතුය. ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම ය. රටේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන විට ව්‍යාපාර හා නිෂ්පාදන සුපුරුදු ලෙස වර්ධනය වනු ඇත. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ වෙළෙඳාම දුර්වල විය. එය තවම යථා තත්ත්වයට පත් වී නැත. කඩ - සාප්පු දින කිහිපයක් වසා තැබිණි. රටේ ප්‍රධාන නගර පාළුවට ගොස් තිබිණි. මේ හදිසි වෙනස්වීම නිසා ආර්ථිකයට සිදු වූ පාඩුව ගණනය කර නැත. එහෙත් එය විශාල පාඩුවක් බවට සැකයක් නැත. රටේ සුළු ආර්ථික ගනුදෙනු ප්‍රහාරය නිසා මුළුමනින් ම පාහේ නැවතිණි. ඒවා යළි යථා තත්ත්වයට ගත යුතුව තිබේ.

මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හා තවත් නායකයන් එකතු වී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එහිදී වැඩි අවධානයක් සංචාරක කර්මාන්තය කෙරෙහි යොමු වී ඇත. ඇතැම් හෝටල් හිමියන් විශාල පරිමාණයේ ණය ලබාගෙන හෝටල් ඉදිකර ඇත. ඔවුන් ණය හා පොලිය ගෙවිය යුතුය. එහෙත් මේ දිනවල ආදායම් දුර්වලය.ණය හා පොලී සඳහා සහනයක් ලබාදීමට රජය ඉදිරිපත් වන බවක් සාකච්ඡාවලින් පෙනී යයි. එය සාධනීය තත්ත්වයකි. සංචාරක කර්මාන්තයේ දුර්වලවීම තාවකාලික එකක් සේ සැලකිය හැකිය. ඉදිරියේදී සංචාරක කර්මාන්තය කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි ය. ඒ අනුව හෝටල් පද්ධතිය ද හොඳින් පවත්වාගත යුතුව තිබේ. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව අතුරු රැකියාවන්වල යෙදුණු අය කෙරෙහි ද රජයේ අවධානය යොමු විය යුතුව තිබේ.

ආසියාව ලෝකයේ හොඳම ආර්ථික කලාපය බව ලෝක ආර්ථික විශේෂඥයන්ගේ පිළිගැනීම වෙයි. චීනයේ ‘එක තීරයක් එක මාවතක්’ වැඩසටහන යටතේ ආසියානු ආර්ථිකය තවදුරටත් වර්ධනය වනු ඇතැ’යි සිතන්නට පුළුවන. මේ වැඩසටහන ආරම්භ වූයේ 2013 වර්ෂයේ පමණ ය. අද වනවිට රටවල් එකසිය පහළොවක් ඊට සහයෝගය දක්වති. “මීකොං” ආර්ථික කලාපය ආසියානු ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන කලාපයකි. තායිලන්තය, මියන්මාරය, වියට්නාමය ආදී රටවල් ඊට අයත් වේ. මේ රටවල ආර්ථික වර්ධනය වාර්ෂිකව 5% කට ඉහළින් තබාගැනීමට සමත් වී ඇත. එය විශේෂ තත්ත්වයකි. වියට්නාමය ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍යයක් හැටියට ලෝක බැංකුව පිළිගනී. මේ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගනුදෙනු පුළුල් කිරීම ඉතා වැදගත් ය.

පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ පසුවිපරමක යෙදුණහොත් අප සතුටුදායක තත්ත්වයක නැති බව පෙනී යනු ඇත. වාර්ෂික ආර්ථික වෘද්ධිය 4%කට වැඩි ඉලක්කමක් වෙත ගෙන යෑමට අප සමත් වී නැත. ණය ගෙවීම්, පොලී ගෙවීම්, ස්වාභාවික විපත් ආදිය මීට හේතු විය. එහෙත් උද්ධමනය පාලනය කර ගැනීමට ද, විරැකියාව අඩුකර ගැනීමට ද, ආණ්ඩුව සමත් වී ඇත. ණය ගෙවීම්වලින් ද, පොලී ගෙවීම්වලින් ද සැලැකිය යුතු ප්‍රමාණයක් ගෙවා දැමීමට රජය සමත් වී තිබේ. ඒවා සැලැකිය හැක්කේ ආර්ථික ජයග්‍රහණ හැටියට ය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ ජාතික ආර්ථිකය සාර්ථක මාවතක් වෙත යොමුවෙමින් පැවැති අවස්ථාවක යැයි සිතන්නට පුළුවන. එය අනපේක්ෂිත ප්‍රහාරයකි. එහෙත් එහි විපාකවලට දැන් මුහුණදිය යුතුය.

ජපානය ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වූයේ හිරෝෂීමා - නාගසාකි ප්‍රහාරවලින් පසුව ය. ජපානය අළු - දූලි මතින් නැඟී සිටියේ යැයි එදා කියැවිණි. වියට්නාමය අමෙරිකන් ප්‍රහාරවලින් බිමට සමතලා වූ රාජ්‍යයකි. එහෙත් අද වනවිට ලෝකයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත බබළන රාජ්‍යයකි. ශ්‍රී ලංකාව ද තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රාජ්‍යයකි. අපේ මහ බැංකුවට පවා ප්‍රහාර එල්ල විය. එහෙත් ආර්ථිකය බිමට සමතලා වූයේ නැත. අවශ්‍ය වන්නේ සුදුසු වැඩසටහන් ඔස්සේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම ය. මෙය ආර්ථික සංග්‍රාමයක් ලෙස සැලැකිය හැකි ය. ආර්ථික සංග්‍රාමයක් සිදුකිරීම සඳහා ජනතාවගේ ද උනන්දුවක් තිබිය යුතුය. එය රජයකට සකස් කළ හැකි යැයි අපට සිතේ.

අප මුලින් සඳහන් කළ අන්දමට ආසියාව ලෝකයේ හොඳම ආර්ථික කලාපය වෙයි. ඊට ශ්‍රී ලංකාව ද ඇතුළත් ය. සමස්ත ආසියාව තුළ නිදහස් වෙළෙඳාම ඇති කිරීමේ අභිප්‍රායක් එක තීරයක් - එක මාවතක් වැඩසටහනට තිබේ. එය දූරදර්ශී ආර්ථික වැඩපිළිවෙළක් බව පෙනෙයි. ශ්‍රී ලංකාව ද එහි කොටස්කාරයකු වීම වැදගත් ය.

නව අදහස දක්වන්න