ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ මුල් පුටුවට හතරක් ප්‍රබල සටනක | දිනමිණ


 

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ මුල් පුටුවට හතරක් ප්‍රබල සටනක

ප්‍රින්ස් ගුණසේකර

නාමයෝජනා විරෝධතා හතක් කුණු කූඩයේ

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ සභාපති තනතුරට සිවුදෙනකු නාමයෝජනා දෙයි. හිටපු සභාපතිවරු ලෙස කටයුතු කළ සිසිර කුමාර, ප්‍රදීප් සතරසිංහ, ඩබ්ලිව්. ජයසුන්දර හා හිටපු ලේකම් කීර්ති බස්නායක යන මහත්වරු මෙවර සභාපති තනතුරට ප්‍රබල සටනකට පිවිස සිටිති. නාමයෝජනා 4කට එරෙහිව විරෝධතා හතක් ඉදිරිපත්ව තිබුණද, ඒවා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබිණි.

සභාපති හා ලේකම් තනතුරට නාමයෝජනා දී තිබූ කීර්ති බස්නායක හා ප්‍රදීප් සතරසිංහ යන මහත්වරුන්ට, උප සභාපති තනතුරට නාමයෝජනා දී තිබූ ජගත් ප්‍රියදර්ශන හා අනුර ප්‍රියංකර යන මහත්වරුන්ට එරෙහිව විරෝධතා ගොණු කොට තිබිණි. ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය කළ බවට ඔවුන්ට එරෙහිව ලිඛිත චෝදනා ගොණු කොට තිබූ අතර ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව නිදොස් කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ.

කරාටේ දෝ සම්මේලනයේ නිලවරණ කමිටු සභාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, පොලිස් අධිකාරී සරත් ප්‍රේම හා අධිකරණ භාෂා පරිවර්තක නිමල් චන්ද්‍ර යන මහත්වරු කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ නිලවරණය මේ මස 27වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර‍ භාණ්ඩාගාරික ලෙස නාමයෝජනා දී තිබූ රෝහණ ග්‍රේස්මන් මහතා දැනටමත් නිතරඟයෙන් පත්ව සිටී. ග්‍රේස්මන් මහතා හැර එම තනතුරට කිසිවෙකු නාමයෝජනා භාරදී නොතිබීම එයට හේතුවී තිබේ. භාණ්ඩාගාරික තනතුරට හැර අනෙක් සියලු තනතුරුවලට මෙවර විශාල තරගකාරීත්වයක් නිර්මාණයවී පැවැතීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්මේලන අතුරින් වැඩිම ක්‍රීඩා සංගම් ප්‍රමාණයක් ඇති ක්‍රීඩා සම්මේලනය මෙය බැවින් නිලවරණයට ලියාපදිංචි වලංගු ඡන්ද ගණන 372ක් වී ඇත.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ පිළිගත් නාමයෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) : සිසිර කුමාර, ප්‍රදීප් සතරසිංහ, ඩබ්ලිව්. ජයසුන්දර, කීර්ති බස්නායක

ලේකම් (තනතුරු 1යි) : ඩබ්ලිව්. ජයසුන්දර, ගාමිණී පී. රුකුනායක, ප්‍රදීප් සතරසිංහ, කීර්ති බස්නායක

උප සභාපති (තනතුරු 3යි) : ජගත් ප්‍රියදර්ශන, මදින සොයිසා, ප්‍රියන්ත ගුණසේකර, මහින්ද සුවාරිස්, ප්‍රියන්ත පෙරේරා, එම්. එන්. ආර්. නසාර්, අනුර ප්‍රියංක

උප ලේකම් (තනතුරු 2යි) : ජගත් ප්‍රියදර්ශන, ඉසෙඩ්. ඒ රැවුෆ්, මහින්ද සුවාරිස්, ඇන්තනී දිනේෂ්

භාණ්ඩාගාරික (තනතුරු 1යි) : රෝහණ ග්‍රේස්මන් (නිතරගයෙන්)

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) : වර්ජින් නිලන්ත, එන්. එච්. ෆාසීල්

නව අදහස දක්වන්න