පරාජයේ වාඩුව ගන්න ලංකාවට විස්සයි20 තරග 3ක් දෙයි | දිනමිණ


 

පරාජයේ වාඩුව ගන්න ලංකාවට විස්සයි20 තරග 3ක් දෙයි

ලබන නොවැම්බර් 01 වැනිදා ආරම්භවීමට නියමිත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ විස්සයි20 තරග 3 කට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

2019-20 වසර සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තරග කාල සටහනට අනුව මේ තරගාවලිය ලබන ඔක්තෝම්බර් 27 වැනිදා සිට නොව්මැබර් 01 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මේ තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගය ඔක්තෝම්බර් 27 වැනි දින ඇඩිලේඩ්හිද, දෙවැනි තරගය ඔක්තෝම්බර් 29 වැනි දින බ්‍රිස්බේන්හිදී සහ තෙවැනි තරගය නොවැම්බර් 01 වැනි දා මෙල්බර්නිහිදීද පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳව ‘දිනමිණ’ කරන ලද විමසීමකදී අදහස් දක්වා සිටා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, නව තරග කාල සටහනට අනුව ඔස්ට්‍රේලියාව සමඟ මේ වසරේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ විස්සයි20 තරගාවලියක් පමණක් බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී සහභාගිවූ තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්වූ අතර එම තරගාවලියේදී වූ වාඩුව ලබා ගැනීමට මේ තරගාවලිය සත්කාරක ඔස්ට්‍රේලියානු පිලට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ.

මේ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද විස්සයි20 සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා මේ වසර අවසානයේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඉන්දියාව සහ එංගලන්තය යන රටවල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සඳහා පෙර සූදානමක් ලෙසින් මේ තරගාවලි ද්විත්වය පැවැත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අදහස් කර තිබේ.

චමිල කරවිට

නව අදහස දක්වන්න