චමරිලාගේ සුපර්නෝවා පළමු තරගයෙන් පරදී | දිනමිණ


 

චමරිලාගේ සුපර්නෝවා පළමු තරගයෙන් පරදී

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව පෙරේදා ආරම්භවූ කාන්තා විස්සයි20 තරගාවලියේ පළමු තරගයෙන් චමරි අතපත්තු ක්‍රීඩා කරන සුපර්නෝවා පිල පරදවා ලකුණු 2ක තියුණු ජයක් අත්කර ගැනීමට ට්‍රේල්බ්ලේසර් කණ්ඩායම සමත් විය.

ජායිපූර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සුපර්නෝවා පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ට්‍රේල්බ්ලේසර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සුපර්නෝවා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 138ක් පමණි.

නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් නොදැවී ලකුණු 46ක් රැස්කරමින් සුපර්නෝවා පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක විය. ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 19ක් ලබාගත යුතු වූ අතර ‍ජූලන් ගොස්වාමි යැවූ එම ඕවරයේ පළමු, දෙවැනි, සිවුවැනි සහ 5 වැනි පන්දුවලට හතරේ පහර එල්ල කරමින් ලකුණු 16ක් ලබා ගැනීමට කෝවුර් සමත් වුවත් අවසන් පන්දුවෙන් ලියා ටහාහු දුවද්දී දැවී යෑමෙන් පරාජය අත්විය. පන්දු 34කට මුහුණදුන් කෝවුර් හතරේ පහර 8ක් සමගින් ලකුණු 46ක් රැස්කළ අතර සොපියා ඩේවින් පන්දු 22කින් ලකුණු 34ක් ඉනිමට එක් කළාය. සුපර්නෝවා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු හතරේ පහර 2ක් සමගින් ලකුණු 26කට දැවී ගියේ පන්දු 32කට මුහුණදී තිබියදීය.

පන්දු යැවීමේදී සොෆී එක්ලැස්ටෝන් සහ රාජේශ්වරී ගයික්වාඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ට්‍රේල්බ්ලේසර් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ ස්මිත්‍රි මන්දානා හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 90ක් රැස් කළාය. ඇයගේ ඉනිමට වැය වූයේ පන්දු 67ක් පමණි. දෙවැනි කඩුල්ලට හාර්ලින් ඩියෝල් සමගින් එක්වූ මන්දානා ලකුණු 119ක සබඳතාවක්ද පිහිටවූවාය. ඩියෝල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 36කි. පන්දු යැවීමේදී රාධා යාදව් කඩුලු 2ක් දවා ගත්තාය.

ට්‍රේල්බ්ලේසර් පිල - 140/5 (ඕවර 20) ස්මිත්‍රි මන්දානා 90, හාර්ලින් ඩියෝල් 36 (රාධා යාදව් 28/2)

සුපර්නෝවා පිල - 138/6 (ඕවර 20) හර්මන්ප්‍රීට් කෝවුර් නොදැවී 46, සොයිපා ඩේවින් 32, චමරි අතපත්තු 26 (සොෆී එක්ලැස්ටෝන් 11/2, රාජේශ්වරී ගයික්වාඩ් 17/2)

 

නව අදහස දක්වන්න