එපිටමුල්ලේ නිවෙසක අල්මාරියේ උණ්ඩ 193ක් | දිනමිණ


 

එපිටමුල්ලේ නිවෙසක අල්මාරියේ උණ්ඩ 193ක්

පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ජීව උණ්ඩ තොගයක් සඟවා ඇති බවට නුගේගොඩ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත එල්ටීටීඊ සංවිධානය විසින් භාවිතා කළ බවට සැක කරන විවිධ වර්ගයේ ජීව උණ්ඩ 193ක් සහ අරුල් 89 වර්ගයේ ආර්.පී.සී. උණ්ඩයක් සමඟ සැකකාර බර්ගර් ජාතික කාන්තාවක් මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජේ.පී. කහටපිදෙණිය මහතාට සහ පොලිස් කොස්තාපල් 74259 පී.පී.කේ. හේරත් යන නිලධාරීන්ට ලැබුණු ‍රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වී නිවස පරීක්ෂා කිරීමේදී උඩු මහලට යාම සඳහා සකස් කර ඇති පඩිපෙළ යට ඉදිකර තිබූ අල්මාරියක මේ ජීව උණ්ඩ ගබඩා කර තිබූ බව පොලිසිය පවසයි. මේ ජීව උණ්ඩ කොටියකුගේ ලාංඡනය සහිත ඉටි බෑග් වල සඟවා තිබූ බව පවසන අතර එම ජීව උණ්ඩ ලංකාව තුළ සම්මත යුද හමුදාවන් භාවිත නොකරන ඒවා බව යුද හමුදා නිලධාරීන් පරීක්ෂා කර පැවසූ බව පොලිසිය කියයි. මේ ගැන ‍පොලිසිය සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ජීව උණ්ඩ පෞරාණික වස්තූන් වශයෙන් අලංකාරයට තබාගත් බව පවසයි. මෙම ජීව උණ්ඩ මේ දිනවල රටේ පවතින අන්තවාදී ගැටලුවට සම්බන්ධයක් නොමැති බවද පරීක්ෂණ වලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, පොලිස් අධිකාරී සමන්ත සිගේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මිරිහාන මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත විජේවර්ධන යන අයගේ උපදෙස් පරිදි බුද්ධි අංශයේ ස්ථානාධිපති කේ.ජේ.පී. කහටදෙණිය මහතා ඇතුළු නිලධාරීන් කර ගෙන යයි.

බොරලැස්ගමුව සමූහ සෙනෙවිරත්න කහටපිටිය

නව අදහස දක්වන්න