සිංහරාජයට නව පිවිසුමක් | දිනමිණ


 

සිංහරාජයට නව පිවිසුමක්

ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා සිංහරාජ වනාන්තරයේ සමන්ගල 4 වෙනි නව පිවිසුම් මාර්ගය ඉකුත් දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මාතර හිටපු දිසා වන නිලධාරී ජී.ආර්.පී.බී. සේනාරත්න මහතා මෙම නව පිවිසුම විවෘත කළ අතර වත්මන් මාතර දිසා වන නිලධාරී සොයිසා මහතා ගමන් මාර්ග සිතියම ඇතුළත් පුවරුව විවෘත කළේය.

වසර තුනකට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ විහාරහේන හරිත මිතුරෝ සංවිධානය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම නව සමන්ගල පිවිසුම් මාර්ගය ස්ථාපිත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. මෙම ඉල්ලීම සාධාරණකරණය කරමින් දියදාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ද මෙම ව්‍යායාමයට සහාය ලබාදී තිබුණි.

මෙම නව සමන්ගල පිවිසුම සිංහරාජ පිවිසුම්වල උසම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 3000කට වඩා උසින් පිහිටා ඇත. ශ්‍රීලංකාවට ආවේණික කුරුළු වර්ග 29ක් සහ ආගන්තුක පක්ෂීන් ද මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ඇත. ආයුර්වේද වෙද හෙදකම් සඳහා යොදා ගන්නා බෙහෙත් පැළෑටි වර්ග බොහොමයක් ඇති අතර, වියන් විස්තර පැහැදිලිව නිරීක්ෂණය කිරීමට මෙම නව පිවිසුමෙන් සංචාරකයන්ට හැකියාව ඇත. දුර්ලභ ගණයේ සත්ව විශේෂද දැක බලා ගැනීමට ද හැකිවනු ඇත. සමන්ගල නව පිවිසුමෙන් ඇතුළුවන්නන්ට හෝර්ටන් තැන්නට සමානකමක් ඇති ප්‍රවේශයක් ලෙස පෙනී යනු ඇත.

මෙම නව සමන්ගල පිවිසුම් මංපෙත දිගින් කි.මී. 5 කි.

නව සමන්ගල නව පිවිසුම් මාර්ගය විවෘත කළ දින දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් මෙම නව පිවිසුමින් සිංහරාජයට ඇතුළු වූහ.

සංචාරකයන්ට මඟ පෙන්වන්නන් බොහෝ පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිටිමින් ඔවුන්ට සහායවීමට සැදී පැහැදී සිටිති. විහාරහේන හරිත මිතුරෝ සංවිධානයේ සාමාජිකයන් ද මෙම ස්ථානයේ නිරන්තරයෙන් කාණ්ඩ වශයෙන් රැඳී සිටිමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සහාය ලබා දෙති.

පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයේ අඩවි වන නිලධාරීන් වන රෝහණ පුෂ්පකුමාර සහකාර අඩවි වන නිලධාරී ජේ.සී. වසන්ත යන මහත්වරුන්ගේ විශේෂ සහයෝගය තම සංවිධානයට ලැබී තිබූ බවත් තම සංවිධානයට සහාය දක්වමින් නව සමන්ගල පිවිසුම් මාර්ගය විවෘත කිරීමට දායකත්වය ලබාදුන් සැමට බලවත් ස්තුතිය පිරිනමන බව විහාරහේන ප්‍රජා සංචාරක ගම්මාන ව්‍යාපෘතියේ සභාපති තිලාන් පෙරේරා මහතා අප හා කීය.

විජිත සල්ගාදු
අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න