ලංකා බැංකු තුරුණු දිරිය ණය ලබා සාර්ථක වූ දිමුතු ටේලර්ස් | දිනමිණ


 

ලංකා බැංකු තුරුණු දිරිය ණය ලබා සාර්ථක වූ දිමුතු ටේලර්ස්

රටක ආර්ථිකමය දියුණුව උදෙසා ප්‍රබල දායකත්වයක් සපයනු ලබන ව්‍යවසායකයා අගනා සම්පතකි. රජයක් වශයෙන් එවන් ව්‍යවසායකයන් නඟා සිටුවීමෙහි ලා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන අවස්ථා අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - ලංකා බැංකු තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය‘ ප්‍රමුඛ ස්ථානයක් ගනී.

මෙම ණය යෝජනා ව්‍යාපෘතිය දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරමින් රටේ තරුණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයන් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

එස්. එම්. ඒ. දිල්රුක්ෂි සමරතුංග මහත්මිය සිය ව්‍යාපාරය දියුණු කර ගත් ආකාරය මෙසේ ප්‍රකාශ කරයි.

බොහොමයක් ව්‍යවසායකයන් හට සිය ව්‍යාපාර ශක්තිමත් පදනමක් සහිතව පවත්වා ගෙන යාමෙහි ලා මෙම ණය යෝජනා ක්‍රමය මහෝපකාරී වී ඇත. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයෙන් උපරිම ප්‍රතිඵල ලබාගත් එස්. එම්. ඒ. දිල්රුක්ෂි සමරතුංග මහත්මිය තම ව්‍යාපාරය දියුණු කරගත් ආකාරය ඇගේ ජීවිත කතාව තුළින් පැහැදිලි වේ. ඇය රුපියල් 500,000 ක ණය මුදලක් මඟින් සිය “දිමුතු ටේලර්ස්” ව්‍යාපාරය සාර්ථකව දියුණු කරගෙන ඇත.

දිල්රුක්ෂි සමරතුංග මහත්මිය රත්නපුර, කලවාන ප්‍රදේශයේ ‘දිමුතු ටේලර්ස්‘ නමින් මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන 40 හැවිරිදි ව්‍යවසායිකාවකි. තිදරු මවක් වන මැය , මීට අවුරුදු 15කට පමණ පෙර සිය සැමියාගේද සහයෝගය ඇතිව ඉතා සුළු පරිමාණව මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර, මේ වන විට සිය ව්‍යාපාරය ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වාගෙන යාමෙහි ලා මොවුන් සතු අප්‍රතිහත ධෛර්ය නිසැකවම හේතු වන්නට ඇත.

සිය ව්‍යාපාරය ඔස්සේ පිරිමි නිමි ඇඳුම් (ළමා/ වැඩිහිටි) මැසීම සිදු කරන අතර, පාසල් නිල ඇඳුම් මැසීම හා මංගල ඇඳුම් මැසීම හා කුලියට දීම ප්‍රධාන වේ. මේ හරහා ඔවුනට සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මැය කලවාන ජාතික පාසලින් අ.පො. ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අභිලාෂයෙන් සිටි ඇයට සිය අරමුණ සාක්ෂාත් කරගැනීමට සිය සැමියාගේ මැහුම් කටයුතු ආශ්‍රිත පළපුරුද්ද මනා පිටිබලයක් වූ බවට ඇය සාක්ෂි දරයි. මෙම තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබඳ ඇයට දැනගැනීමට ලැබෙන්නේ සිය ව්‍යාපාරයට මුල්‍යමය සවියක් අවැසිම මොහොතක ය. ඒ සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු මගිනි. මේ ආකාරයෙන් තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් වූ ඇය මෙම ණය ලබා ගැනීම සඳහා අයදුම් කරනු ලැබුවේ බොහොමයක් බලාපොරොත්තු ඇතුවය. ඒ අනුව ණයක් ලබා කෙසේ හෝ තම ව්‍යාපාරය නගා සිටුවීමේ උත්සාහයෙහි දැඩිව එල්බ සිටි ඇයට රුපියල් 500,000 ක ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබිණ.

ලංකා බැංකුව විසින් සිය ව්‍යාපාරික පළපුරුද්ද සලකා බලා ණය ලබා දීම ඇය බොහෝ සේ අගය කළ අතර, එමගින් එම මුල්‍ය ආයතනයේ නම්‍යශීලීභාවය හා ව්‍යවසායකයා නඟා සිටුවීමට ලබා දෙන විශිෂ්ට සේවාව ද පැහැදිලි වේ. ඒ අනුව මෙම මුදලින් මංගල ඇඳුම්/ කබා කුලියට ලබා දීම ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් වැඩිදියුණු කිරීමටත්, අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය මිලදී ගැනීමටත් ඇය දැනටමත් සැලසුම් කර ඇත. මෙවන් දිරිය ලියන් ශ්‍රී ලංකා ආර්ථිකය සවිබල ගැන්වීමට කදිම දායකත්වයක් සපයනු ලබන අතර, එය උදා වන හෙට දවසේ සාර්ථක ව්‍යවසායකයකු ලෙස ගොඩනැගෙන්නට බලා සිටින සැමට මහඟු ආදර්ශයක් වනු නො අනුමාන ය.

නව අදහස දක්වන්න