හැම ගමකටම ව්‍යවසායකයන් අට දෙනකු බිහිකිරීමේ වැඩසටහනක් අරඹනවා | දිනමිණ


 

හැම ගමකටම ව්‍යවසායකයන් අට දෙනකු බිහිකිරීමේ වැඩසටහනක් අරඹනවා

වැවක් ගමක් සමඟ දියවර අරුණ වැඩසටහනේ ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සෑම ග්‍රාම සේවා වසමකම ව්‍යවසායකයන් 05 දෙනකු බැගින් බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.

ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තාවන් 78 දෙනෙකු සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල ලබාදීම වෙනුවෙන් අම්බලන්තොට බටඅත චමල් රාජපක්‍ෂ කෘෂි තාක්‍ෂණ උද්‍යාන ශ්‍රවණිගාරයේදී පෙරේදා [ 06 ] දින පැවති උත්සවයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවැසිය .

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ “ වැවක් ගමක් සමග දියවර අරුණ ” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ මෙම උපකරණ කටටල බෙදාදීම සිදු කෙරිණ . මේ සදහා රුපියල් ලක්‍ෂ 15කට අධික මුදලක් වැය කර තිබේ .

දිස්ත්‍රික්කයේ ධීවර ගම්මාන ආශ්‍රිතව තෝරාගත් කාන්තාවන් 78 දෙනෙකු සඳහා මෙම උපකරණ බෙදාදුන් අතර ඉන් 39 දෙනෙකුට විසිතුරු මල් වගාව පිලිබඳවත් අනෙක් 39 දෙනාට බිම් මල් වගාව පිළිබඳවත් පුහුණව ලබා දී ඇත .

මෙම උපකරණ බෙදාදීමේ උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවැසිය . “ අද රට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයට වග කිව යුත්තේ ජනතා අදහස් වලට සවන් නොදෙන පිරිසයි .ජනතා අදහස් අනුව ක්‍රියාත්මක කරන කිසිම කටයුත්තක් අසාර්ථක වෙලා නැහැ . මේ අවස්ථාවේදීත් කළ යුත්තේ ජනතා අදහස් වලට ඇහුම් කන් දීමයි . රජයක් ලෙස අපි කැපවී සිටිනවා ජනතා අවශ්‍යතා අනුව කටයුතු කරන්න . ඒ වගකීම අපි පැහැර හැර නැහැ . ”

“ තිස් වසරක් පුරා රට වෙලාගෙන තිබු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළ රටක් ලංකාව . ඒ නිසා අපිට ත්‍රස්තවාදය පිළිබදව ලෝකයේ අනෙක් රටවලට බොහෝ අත්දැකීම් ලබා තියෙනවා . මේ නිසා දැනට රට තුළ පවතින අන්තවාදී කණ්ඩායම පරාජය කිරීමට අපේ ආරක්‍ෂක අංශවලට හැකියාව තියෙනවා . මේ නිසා අවස්ථාවාදී කණ්ඩායම් වල මුසාවලට නොරැවටී සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින් කටයුතු කිරීම ජනතාවගේ යුතුකම හා වගකීමක් .

අන්තවාදී සුළු පිරිසකගේ ත්‍රස්තවාදයට හිස එසවීමට කිසිදු ඉඩක් තබන්නේ නැහැ. ඒවගේම අපි රජයක් ලෙස ජනතා සේවය අඩාල කිරීමට කිසි ඉඩක්තබන්නේ නැ. කුමන අභියෝග හමුවේ වුවත් සංචාරක ව්‍යාපාරය මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය . නැවත සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්න අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා . සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආර්ථික උත්පාදන වැඩපිළිවෙල සදහා ජනතාව යොමුකරවීමේ වැඩපිළිවෙල අපි රට වටා ක්‍රියාත්මක කරනවා . මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මාසයකට බිම් මල් කිලෝ 1000 පමණ සංචාරක ව්‍යාපාරය සදහා අවශ්‍යයි . ඒ අවශ්‍යතාව සපුරන්න අපි ගම් මට්ටමින් වැඩපිළිවෙලක් සැලසුම් කර තියෙනවා . මේ සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහයත් ලබාගැනීමට කටයුතු කරනවා . ඒ මගින් අපේ ජනතාවට විශාල ආදායමක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා . ඒ සදහා අවශ්‍ය පුහුණුව සහ සම්පත් ලබාදීමට කටයුතු කරනවා. . අද ලබාදුන් උපකරණ වල වටිනාකම රුපියල් ලක්‍ෂ 15 කට අධිකයි . නමුත් ඉදිරියේදී ඒ සහන තවත් වැඩිකරන්න අවශ්‍ය කටයුතු කරනවා . ” යැයිද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසිය .

මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

නව අදහස දක්වන්න