කතෝලිකයන් අන්‍යන්ගේ පල්ලිවලට හෝ දේපළවලට හානි කිරීම සුදුසු නැහැ | දිනමිණ


 

කතෝලිකයන් අන්‍යන්ගේ පල්ලිවලට හෝ දේපළවලට හානි කිරීම සුදුසු නැහැ

අපි සියලු දෙනාම ආබ්‍රහම්ගේ දරුවෝ, මුස්ලිම් අය අල්ලාහ්ට නමස්කාර කරනවා. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. එකම දෙවියන්ට නම් ඇයි අපි මේ වගේ ප්‍රශ්න ඇති කරගන්නේ යැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් (6) දා මීගමුව පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානයේදී පැවසීය.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ (5දා) සවස කොච්චිකඩේ සෝරතොට හා දළුපන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ දේපළවලට හානි කළේ යැයි කියන සිද්ධිය දැක බලා ගැනීමට පැමිණි පසු පෙරියමුල්ල ප්‍රධාන මුස්ලිම් පල්ලියේ පැවති සාකච්ඡාවකදීය.

තවදුරටත් අදහස් දැක්වූ මැල්කම් රංජිත් හිමිපාණන්

කතෝලිකයන් ලෙස අපට අන්‍යන්ගේ පල්ලිවලට හෝ දේපළ වලට හානි කරන්ඩ සුදුසු නැහැ. අපි දෙපිරිස සහෝදරයන් ලෙස ජීවත් විය යුතුයි. තරහ ගියාම මොනවා හරි වචනයක් කියවුණා කියල කෝප වෙන්ඩ එපා. එක ආගමක අයෙක් අනික් ආගමේ කෙනාට අත ඔසවන්න එපා.

අන්තවාදීන් කීප දෙනෙක් කළ වැඩයට අපි අනිත් මුස්ලිම් ආගමිකයන් සමඟ තරහක් නැහැ. මම එදත් එය කිව්වා අදත් කියනවා. විශේෂයෙන් මුස්ලිම් තරුණයන්ට මම කියනවා ඉවසිලිවන්තව ඉන්න කියලා. කතෝලික ජනතාව මුස්ලිම් ජනතාවට සහෝදරයන් ලෙස සළකන්නේ. අපේ ආදී මුතුන් මිත්තන් මීගමුව තුළ සහෝදරයන් ලෙස ජීවත් වූ ලෙස එම එකමුතුකම තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ ගනිමු. මම මේ අවස්ථාවේ නැවතත් ක්‍රිස්තියානි සහෝදරවරුන්ට කියනවා මුස්ලිම් සහෝදරවරුන්ට කිසිදු කරදරයක් කරන්ඩ එපා කියල.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද කතෝලික පියතුමන්ල සහ මුස්ලිම් පූජකවරුද සහභාගී වූහ.

කොච්චිකඩේ පොරතොට ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් දෙපාරිසක් අරත බහින්බස් වීමක් ඇතිවී ත්‍රීවිල් යතුරුපැදි හා දේපළ වලට (5දා සවස) අලාභ හානි සිදු කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි.

දළුපත, සෙල්ලකද ප්‍රදේශයේද දළුපත සමඟි මාවත ප්‍රදේශයේද නිවාස කීපයකට හා යතුරුපැදි ත්‍රිවිල් ඇතුළු දේපළ වලට ද අලාභ හානි කර ඇතැයි ද කටාන පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ අධීක්ෂණය මත කටාන හා මීගමුව පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවයි. 5දා රාත්‍රියේදී මීගමුව පොලිස් බල ප්‍රදේශයට සාමය ඇති කිරීම සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ අතර සිද්ධිය වූ ස්ථානවලට විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව ආරක්ෂාව සපයා ඇත.

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න