ජාතික සංවර්ධන වැඩසටහනට අම්පාරේ ජන සහභාගිත්වය ඉහළයි | දිනමිණ

ජාතික සංවර්ධන වැඩසටහනට අම්පාරේ ජන සහභාගිත්වය ඉහළයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධාන කර තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන (06) අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20ක සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර මේ වැඩසටහන් සඳහා බහුතර මුස්ලිම් ජනතාවක් ජීවත්වන සායින්දමරුදු - කල්මුණේ (මුස්ලිම්) අක්කරපත්තු අඩ්ඩාලච්චේන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සඳහා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ජාතික පාරිසරික වැඩසටහන යටතේ පරිසර සුරක්ෂිතතාව උදෙසා මුහුදු වෙරළ ආශ්‍රිත කැළි කසළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන සායින්දමරුදු හා කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දී ආරම්භ වූ අතර ඒ සඳහා ප්‍ර දේශයේ මුස්ලිම් ජන සහභාගිත්වය ඉහළින් ලැබී ඇතැයි එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවධාරණය කරයි.

මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස කාලය පෙරේදා (06) ආරම්භ වූ නමුත් එම ආගමික කටයුතුවලට බාධාවක් නොවන ලෙස එම පිරිස් පෙ. ව. 6.30ට මේ සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වෙමින් මේ ප්‍රදේශවල පැවැත් වූ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබේ.

පසුගිය දිනවල දී රටේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හමුවේ වුවද අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ජනකොටස් කිසිදු භේදයන්ගෙන් තොරව සාමකාමී ලෙස තම දෛනික කටයුතු සිදු කරමින් මේ සතිය පුරා ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන් යටතේ සිදු කෙරෙන දැනුවත් කිරීම් හා අනෙකුත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවලට සහභාගිවීම රටේ සෙසු දිස්ත්‍රික්කවල ජනතාවට ආදර්ශයක් බව අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පවසයි.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මැයි 06 වැනි දින සිට 11 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ. මේ යටතේ මේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 5000ක් පමණ ක්‍රියාත්මක කරන අතර පෙරේදා (06) පමණක් ව්‍යාපෘති 600ක් දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය, උහන, අම්පාර, දමන, ලාහුගල, පොතුවිල්, තිරුක්කෝවිල්, ආලයඩිවෙම්බු, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චෙන, එරගම, නිනදවූර්, කාර්තිව්, සායින්දමාරුදු, කල්මුණ, නාවිදන්වේලි, සමන්තුර යන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක වූ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

දිගාමඩුල්ල සංචාරක, පියසේන වතුදුගේ

නව අදහස දක්වන්න