‘ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි’ | දිනමිණ


 

‘ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි’

මහින්ද අලුත්ගෙදර

රටේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව දීප ව්‍යාප්ත මට්ටමින් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වාලච්චේන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය, එක්ව වාලච්චේන පොලිස් වසමේ රීදීතැන්න ප්‍රදේශයේ ඉඩමක් සෝදිසි කළා. එය අදාළ ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කර ඇති අතර එහි දී ජෙලට්නයිට් කූරු 231ක්, යතුරු පැදියක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගත් බව ද අප්‍රේල් 23 වැනි දින එහි හිමිකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

පෛර්දා (06) කළ වැටලීමක දී නුවරඑළිය බිලැක්ෆූල් ප්‍රදේශයේ ලැගුම්හලක් පරික්ෂාවට ලක්කර තිබෙන අතර එහි නතරව සිට ත්‍රස්තවාදීන් විසින් පුහුණු වැඩසටහන් කර ඇති බවට අනාවරණය වී තිබේ. එම ලැඟුම්හල බඳු පදනම මත ගෙන තිබූ උඩහීන්තැන්න, ගම්පොල පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. දෙමටගොඩ ආයතන සංකීර්ණයක් ඊයේ (07) පැය තුනක පමණ කාලයක් පරීක්ෂාවකට ලක්කර තිබෙන අතර එම පරීක්ෂාව පොලිසිය, යුද හමුදාව, නිල සුනඛ අංශය ආදී අංශ කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙහි දී සැක කටයුතු කිසිවක් හමුවී නොමැති අතර මීගමුව පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මීගමුව ප්‍රදේශයේ දී කළ මෙහෙයුමක දී දුරකථන මාර්ග හා විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කරන උපකරණ 08ක් හා වෙනත් භාණ්ඩ කිහිපයක් මෙන්ම ඊට අදාළව මීගමුව ලාසරස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා පාසල්වල ආරක්ෂාවට පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පියවර රැසක් ගෙන ඇත.

නොයෙක් අය ගමන් මළු අනාරක්ෂිත තබා යන නිසා ආරක්ෂක අංශයන් නොමඟ යාම හා මහජනයා බිය ගැන්වීම සිදුවන අතර එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව ද ජනතාව තම ගමන් මළු පිළිබඳ නිසි සැලකිල්ලෙන් කටයතු කළයුතු අතර මෙවැනි කටයුතු කරන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර දැනට කිහිපදෙනකු පිළිබඳ විමර්ශන සිදුවන බව ද හෙතෙම කීවේය. දිවයින පුරා සාමකාමි තත්ත්වයක් පවතින අතර මීගමුවේ තත්ත්වය ද පාලනය කර නීතිය සහ සාමය ආරක්ෂා කර තිබෙන අතර මෙම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතනවලට ස්තුතිය පළ කළේය.

නව අදහස දක්වන්න