සංචාරක ව්‍යාපාරය නංවන්න සහනාධාර ලබාදෙනවා | දිනමිණ


 

සංචාරක ව්‍යාපාරය නංවන්න සහනාධාර ලබාදෙනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය
සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග

සාමාන්‍ය සමාජයේ  ස්ථිර ආරක්ෂක  වැඩපිළිවෙළක් නැහැ
- මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව රටේ ජනතාව කම්පනයෙන් පසුවෙනවා
- ඇමැති රවුෆ් හකීම් 

විපක්ෂය මෙම ප්‍රහාරය දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්න හදනවා
- ඇමැති නලීන් බණ්ඩාර

මෙවැනි ප්‍රහාරයකට ඉලක්ක වූයේ දුර්වල ආරක්ෂාවක් තිබුණු නිසයි
- මන්ත්‍රී සිසිර ජයකොඩි

සංචාරක ව්‍යාපාරය නංවන්න සහනාධාර ලබාදෙන බවත් හෝටල් සඳහා වන වැට් බද්ද සියයට 15 සිට සියයට 5 දක්වා අඩුකිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) පස්වරු 1.00ට රැස්විය. නිවේදන, වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු මහජන පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා (එජනිස)

‍බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව ජන ජීවිත තවමත් අඩපණ වී තිබේ. විශේෂයෙන් බුද්ධිඅංශ බිඳ දැමීම මෙම ප්‍රහාරයට රුකුලක් වී ඇත.

මහබැංකු වාර්තාවට අනුව සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ අටක් පමණ තිබෙනවා. මේ සියලු දෙනාට විශාල ලෙස මෙම ප්‍රහාරය නිසා බලපෑම් එල්ලවී තිබෙනවා. සංචාරකයින් ගැන ආණ්ඩු පක්ෂයේ අය ප්‍රකාශ කළේ ඔවුන් කැමැතිනම් එයි අකමැතිනම් නොඑයි කියායි. මෙවැනි ප්‍රකාශ කරමින් සංචාරක ආකර්ශනයක් ඇති කරන්නෙ කොහොමද? ආණ්ඩුවෙන් මේ මියගිය අයට සහන හා වන්දි ලබාදී තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ආණ්ඩුව තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ. අනෙක් රටවල බෝම්බ ප්‍රහාර ඇතිවුණත් සංචාරක කර්මාන්තය කෙටිකාලයක් තුළ නගාසිටුවීමට කටයුතු කර තිබෙනවා. නමුත් පිළියම් පෙනෙන්නට නැහැ.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා (එජනිස)

බෝම්බ හදපු අයට ඇප දුන්නේ කොහොමද? අද ජාතීන් අතර ප්‍රශ්නවෙලා මහින්ද රාජපක්ෂ එදා සංහිඳියාව වෙනුවෙන් වැඩ කළා. මේ ආණ්ඩුව සංහිඳියාව බිඳ දැම්මා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට උදව් කළ අයට දඬුවම් ලබාදිය යුතුයි. මොකද මැරුණෙ අපේ මිනිස්සුයි. ආණ්ඩුව කරන්න බැරිනම් දෙන්න අපි කරල පෙන්වන්නම්. විජයදාස රාජපක්ෂ මහත්තයා එදා පාර්ලිමේන්තුවේදී අයිඑස් ගැන කතා කරද්දීත් ඔය ආණ්ඩුව ඔය විදිහට තමයි එදත් හැසිරුණේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා

පසුගිය කාලේ වැලේ වැල් නැතුව ඉඳලා විපක්ෂය අද මරණ මතින් ගොඩඑන්න උත්සාහ කරමින් ඉන්නවා. අද රෙඩ්බුල් ගහල වගෙයි. බුද්ධිඅංශය මේ රටේ දහ දහසක් ඉන්නවා. එයින් දස දෙනයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙතුමලා පෙන්වන්න හදනවා බුද්ධි අංශයෙන් හතර දෙනෙක් හිරේ හිටිය නිසයි මේක වුණේ කියලා. සරත් ෆොන්සේකා හමුදාපතිවරයාව සිටියදී හමුදා මූලස්ථානයට ඇවිත් මරාගෙන මැරෙන බෝම්බ ගහන වෙලාවේ බුද්ධි අංශ කොහෙද හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ගහද්දි බුද්ධි අංශ කොහෙද හිටියේ. විපක්ෂය අද කතා කරන්නේ කන්න ඕන කොට කබරයා තලගොයා කරන කතායි. මේ සිද්ධිය වෙලා දවස් හතක් යන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා මම ජනාධිපතිවරණයට එනවා කියලා මිනීමතින් ජනාධිපති වෙන්න හදනවා. එදා ඔය නායකයින් අන්තවාදීන් 28 දෙනකුට මුදල් ලබාදීලා. ඒ වගේම බොදු බලසේනාවටත් මුදල් ලබාදීලා පෙන්ටගනයටත් බෝම්බ ගැහුවා. ප්‍රංශයෙත් බෝම්බ ගැහුවා. එතකොට බුද්ධි අංශ තිබුණෙ නැද්ද? ගෝලීය ත්‍රස්තවාදය එහෙම තමයි. අද පාසල්විවෘත කරනවාට කැමැති නැත්තේ විපක්ෂයයි. මොකද ඔවුන් පාසල් ගියපු නැති අයයි. ඔවුන් පාසල්වල වටිනාකම් දන්නේ නැහැ. මොළ සෝදන බළකායක් අපි හඳුනාගෙන අන්තවාදීන් හඳුනාගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මෙය ඉවත් කළ යුතුයි. ඒ සඳහා දේශපාලන නායකත්වය ලබාදී තිබෙනවා. නැගෙනහිර පළාතේ ෂරියා අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබෙන්නේ වෘත්තීය පුහුණු සඳහායි. අනෙක් කිසිදු දේකට අනුමැතිය ලැබී නැහැ. මේ විශ්වවිද්‍යාල ජනසතු කරලා මහජන දේපළක් හැටියට පත්කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජවිපෙ)

අගමැතිවරයා කියනවා රට සාමකාමියි කියලා. නමුත් සාමාන්‍ය සමාජය ස්ථිර ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙන බව පිළිගන්නේ නැහැ. සභානායකවරයා කියනවා තමන්ට නිවසේ සිට රාජකාරි කරන්න කියා ආරක්ෂක අංශ දැන්නුවා කියා. මෙහෙම නායකයින් ඉන්න ආණ්ඩුවකින්ද ජනතාවගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. මේක ඝාතන මාලාවක් එයට දේශපාලනය ගැබ්වී තිබෙනවා. මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයක්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය.

දිසානායක මහතා

මේ ඝාතනයේ අපරාධකරුවන් දෙකොටසක් ඉන්නවා. එකක් මේ ඝාතනය කළ අය. අනෙක් අය මේ පිළිබඳ තොරතුරු දැනගෙනත් වළක්වාගැනීමට නොහැකි වූ අයත් අපරාධකරුවන්. දේශපාලකයින් තමන්ගේ මනෝ රාජික සිහිනවල සිටින නිසා රටේ ආරක්ෂාව බිඳ වැටුණා. මට තොරතුරු කියන්න ඕන ජනාධිපතිතුමා ඉදිරියේමයි. ආරක්ෂාව පිළිබඳ බලගතු ලිපි වැදගත් නොවන ලිපි බවට පත්වුණා. බුද්ධිඅංශ ගියේ ඇමැතිවරු පිටුපසයි. බැසිල් රාජපක්ෂ පිටුපසයි. නමුත් පයට පෑගෙන දූවිල්ලක් තරමට ජාතික ආරක්ෂාවට තැනක් දුන්නේ නැහැ.

මුස්ලිම් ඇමැතිවරු ඉස්ලාම් ජනතාව සමඟ දේශපාලනය කළේ නැහැ. මුස්ලිම් ඇමැතිවරු දේශපාලන වෙළඳාමක් කළේ. මේ මුස්ලිම් ඇමැතිවරු හෝ ඔවුන්ගේ දරුවන් කවදාවත් මරාගෙන මැරෙන්නෙ නැහැ. නමුත් මේ අන්තවාදී භූතයා මේ අයටත් පාලනය කර ගන්න බැහැ. මේ විකෘති උමතු කලලය වර්ධනය වනවාද නැද්ද කියා ඉස්ලාම් සමාජය තීරණය කළ යුතුයි. මෙයට මුස්ලිම් සමාජය අත්නොහළ හැකි වගකීම් තිබෙනවා. මේ වනවිට ජනප්‍රිය දේශපාලනය වෙලා තිබෙන්නේ සිංහල සමාජය සිංහල ජාතිවාදය, දෙමළ සමාජය දෙමළ ජාතිවාදය, මුස්ලිම් සමාජයේ මුස්ලිම් ජාතිවාදයයි. මෙයින් විසඳුම් සොයන්න බැහැ.

සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා

රටේ ආර්ථිකය නඟා සිටුවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාගන්නවා. අපි ත්‍රස්තවාදය ජ යග්‍රහණය කිරීමට හෝ ආර්ථිකය කඩාවැටීමට ඉඩ දෙන්නේ නෑ. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවේදී මනා කළමනාකාරිත්වයෙන් කටයුතු කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී

දුමින්ද දිසානායක මහතා (එජනිස)

මෙම සිද්ධියේ වගකීම බාර නොගෙන ඇඟ බේරාගන්න හදන හැටි අපි දැක්කා. අපි සියලු දෙනා ජාතියෙන් සමාව ගතයුතුයි. පසුගිය කාලයේ හැසිරීම පිළිබඳව අපි අපේ බුද්ධිඅංශය, ආරක්ෂක අංශය හැසිරුණ ආකාරය පිළිබඳ ගෞරවය පුදකළ යුතුයි. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් අපි රට තුළ ස්ථාපිත කළයුතුයි. එය අගමැති මාරුවීම හෝ ආණ්ඩු මාරුවීම මත වෙනස් නොවන එකක් විය යුතුයි. බුද්ධිඅංශ වැඩ කරන විදිහ පාර්ලිමේන්තුව හෝ සිවිල් ජනතාව දැනගතයුතු වන්නේ නෑ.

නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා

මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව රටේ ජනතාව කම්පනයෙන් පසුවෙනවා. මේ කුඩා කල්ලිය රටේ ව්‍යාප්තවීමට ඉඩ නොදී සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතුයි. මේ විවාදයෙන් හැඟී යන්නේ අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම් පමණයි. මොවුන්ගේ අරමුණ මොකක්ද? ආගම වෙනුවෙන් කළානම් ඔවුන්ගේ භූමිදාන කටයුතුවලදී ආගමික වතාවත් පවා ලැබුණේ නෑ. ආගමික රාජ්‍යයක් බිහිකරන්න දඟලන මොවුන් තමන්ගේ පවුල් පිටින් මරාගෙන මැරෙනවා. ඉස්ලාමීය දහමේ මරාගෙන මැරෙන්න සිතීම පවා ආගමට පටහැනි කාරණයක්. මේ කල්ලිය හඳුනාගත යුතුයි. මොවුන්ව මෙහෙයවන අය කවුද කියා වටහා ගතයුතුයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකර මහතා (එජනිස)

මේ අවස්ථාවේ ඉතා කාලෝචිතව කටයුතු කළ මැල්කම් රංජිත් හිමිපාණන්ට අපේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා.

පසුගිය අවුරුදු හතර තුළ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරන්න එකදු යෝජනාවක් ගෙනාවේ නෑ. අද ජාතික ආරක්ෂාව පිළිබඳ යෝජනා ගෙන ඒමට ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු ප්‍රමුඛත්වය ගතයුතුයි.

සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා

සියලු සංචාරක හෝටල් සඳහා ආරක්ෂක ස්කෑන් යන්ත්‍ර සඳහා තීරුබදු සහන ලබාදෙනවා. හෝටල් සඳහා වන වැට් බද්ධ සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කිරීමට කටයුතු කරනවා. ලීසිං පහසුකම් ලබාගෙන තිබෙනවා නම් ඒ සඳහාත් සහනාධාර ලබා දෙනවා. ණය සහනාධාර ලබාදෙනවා. හෝටල් නවීකරණ කරන්න ලබාගත් ණය සඳහාත් මෙම සහනාධාර ලබාදෙනවා. මෙම පහසුකම් තරු පහේ හෝටල්වලට පමණක් නොව කුඩා ව්‍යාපාරවලටත් ලබාදෙනවා.

පත්කළ මන්ත්‍රී

අතුරලියේ රතන හිමි (එජාප)

වැටුණු තත්ත්වයෙන් නැගීසිටීමට ජාතික වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. ඉස්ලාම් දහම පිළිබඳ කථිකාවතක් රටට අවශ්‍යයයි. මේ ගෝලීය ත්‍රස්තවාදය ඇතිවීමට ආර්ථික සමාජීය දේශපාලනික තත්ත්ව බලපානවා එදා එල්.ටී.ටී.ඊ.ය බිහිවීමටත් මෙරට දේශපාලනික වාතාවරණය බලපෑවා. එදා ඉන්දියාව එල්.ටී.ටී.ඊයට පුහුණුව දුන්නේ ඒ නිසයි.

අයි එස් සංවිධානය සුළු පටුව සිතිය යුතු කණ්ඩායමක් නෙවෙයි. සහරාන්ලා දුප්පත් පවුල්වල සාමාජිකයින් නෙවෙයි.

පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා (එජාප)

අපි එකිනෙකාට ඇඟිලි දිගුකරන්නෙ නැතුව ජාතික ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන්න කියා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු හැටියට ඉල්ලා සිටිනවා.පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය මා කී දෙයක් කියා පවරන්න උත්සාහ කරනවා. මා එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. එතුමා තමන් කළ වැරැද්ද අනුන් පිට දමන්න උත්සාහ කරනවා. මේ චෝදනාව පිළිකුළෙන්යුතුව ප්‍රතික්ෂේප කරනවා.

පත්කළ මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (එජනිස)

ත්‍රස්තවාදයට ජාතියක් ආගමක් නැහැ. මුස්ලිම් අන්තවාදීන් ස්වල්පදෙනෙක් කළ ත්‍රස්තවාදී ක්‍රියාව නිසා මිලියන දෙකක් වන ඉස්ලාම් ප්‍රජාව කොන්වෙලා තිබෙනවා. අයි එස් ත්‍රස්තවාදීන් මේ රට ඇතුළට එයි කියලා අපි කවදාවත් හිතුවෙ නැහැ. ඒ නිසා උලමාවරුන් තීරණයක් ගත්තා මේ ත්‍රස්තවාදීන්ට ඉස්ලාම් ධර්මයට අනුව අව්‍යාජ කටයුතු නොකිරීමට. මෙයින් හානියට පත්වුණේ රටේ ආරක්ෂාවයි. රට නැවත නගාසිටුවීමට අප කටයුතු කරමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා (එජාප)

කටුවාපිටිය ගම මගේ ආසනයට ළඟම ආසනයයි. මේ ඝාතනයට ලක් වුණේ අපේ හිතවතුන්. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපි වගකීම ගතයුතුයි. අද ජනතාව කියන්නේ පාර්ලිමේන්තුවම වගකියන්න ඕන කියායි. රටකට ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් තියෙන්නේ ජනතාව වෙනුවෙනුයි. ලෝකයේ තාක්ෂණය දියුණු රටවලත් ත්‍රස්ත ප්‍රහාර එල්ලවුණා. නමුත් අපේ රට දූපතක් නිසා ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන්න තිබුණා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස)

අද ෆොන්සේකා මහතාට නීතිය සාමය දෙන්න කියලා පෙත්සම් අත්සන් කරනවා. නමුත් 2015 දී සාගල ඇමැතිතුමාට නීතිය හා සාමය දෙනවිට පෙත්සම් අත්සන් කළේ නැත්තේ ඇයි. රටේ ආරක්ෂාව තමයි පළමුව හිතන්න ඕන.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (එජාප)

විපක්ෂය අද කතා කළේ අන්තවාදී ප්‍රහාරයෙන් දේශපාලනයක් කරන ආකාරයට දෝ යන අදහසක් අපට තිබෙනවා. අපිට පක්ෂය හෝ ආණ්ඩුව ආරක්ෂා කරනවාට වඩා රටේ ආරක්ෂාව ඉතා වැදගත් වෙනවා. ත්‍රස්තවාදය තුරන් කිරීමට නව නීති අවශ්‍යයි. එය සකස් කළ යුතුයි.

මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා (දෙජාස)

මඩකලපු දිස්ත්‍රික්කයේ කඳවුරු සොයාගෙන තිබෙනවා. මේ කඳවුරු වසර දෙකක් කරගෙන යන විටත් කිසිදු කෙනෙක් නොදන්නේ කෙසේද? පුහුණුව ලබන අවස්ථාවේ ශබ්ද නැගුනේ නැද්ද? කාත්තන්කුඩුයේදී මෝටර් බයිසිකලයක් පුපුරායාම පිළිබඳ සොයා බලා නැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප)

අද ජනාධිපතිවරයාගේ කතාවේදීත් එතුමා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සාමූහික වගකීම අරගෙන ක්‍රියාකරන බව කිව්වා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අපට මුහුණදෙන්න වෙනවා. පාසල් අනාරක්ෂිතයි කියලා විපක්ෂ මන්ත්‍රීවරු දේශපාලන ගමනක් යන්න උත්සාහ කරනවා. මිනීමතින් මස් වැදලි මතින් දේශපාලනය කරන්න විපක්ෂය උත්සාහ දරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා (එජනිස)_

සියයට 91ක් කිතුණු ජනතාව සිටින නෝර්වේ රට තෝරා නොගෙන ශ්‍රී ලංකාවේ මෙවැනි ප්‍රහාරයකට ඉලක්ක වූයේ දුර්වල ජාතික ආරක්ෂාවක් තිබුණ නිසයි. මේ වගකීම නැතිකම නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මේ රටට පොදු නීති පද්ධතියක් තිබිය යුතුයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සිදුවීම වෙලා දින දෙකක් යන විට තමන් ජනාධිපති අපේක්ෂක වන බව කිව්වා. එතුමා තමයි වෙලාව ආවම ජනාධිපති අපේක්ෂක කම ගැන කතා කරනවා කිව්වා. එතුමා ආරක්ෂක ලේකම්වරයාගේ සමයේ මේ ත්‍රස්තවාදී කණ්ඩායමට ඉඩම් ලබා දුන්නා. අපේ ආරක්ෂක අංශ මේ ප්‍රහාර එල්ලවී පැය 24ක් ඇතුළත ත්‍රස්තවාදී මූලස්ථාන විනාශ කළා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (එජනිස)

මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගන්න බැරිවුණේ ඇයි? මළමිනියක් වගේ රජයකින් බලාපොරොත්තු විය හැක්කේ සුසානභූමියක් පමණයි. මේ ‍රට අද අනාරක්ෂිත වෙලා. ඒ නිසා වහාම මැතිවරණයක් කැඳවන්න.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර ජයමහ මහතා

විපක්ෂය මෙම ප්‍රහාරය දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්න හදනවා. නමුත් ආණ්ඩුවක් හැටියට මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විශාල කාර්යක් සිදු කළා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස)_

ජනවාරි 08 වැනිදා යහපාලනය භාරගත්තේ ත්‍රස්තවාදී නොමැති රටක්. එසේ තිබියදී මේ රටේ නැවත බෝම්බ පිපිරවීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි.

ගාල්ල දිස්ත්‍රික්මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා (එජනිස)

අද විවාදයේදී කවුරුත් මේ මරණ හරහා දේශපාලනය ගැනකතා කළේ. අපි 225 දෙනාම මේ වගකීම දරන්න ඕන. කෙටිකාලීන හා දිගුකාලීන ගොඩනැගුණු අන්තවාදයට ඇතිවූ පරිසරය අපි නැති කරන්න ඕන. කාටවත් ඇඟිල්ල දිගු කරලා මේක නැති කරන්න බැහැ.

පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.00ට යළි රැස්වේ

නව අදහස දක්වන්න