අන්තවාදීන්ගේ තර්ජන මැඩපවත්වා ධෛර්යවන්තව ක්‍රියාකිරීමට අපට හැකිවුණා | දිනමිණ


 

අන්තවාදීන්ගේ තර්ජන මැඩපවත්වා ධෛර්යවන්තව ක්‍රියාකිරීමට අපට හැකිවුණා

අහිංසක මිනිසුන් රැසකගේ ජීවිත අහිමි කරමින් පසුගිය මාසයේ පාස්කු ඉරුදින සිදුවූ ශෝකජනක සිදුවීම අවසන්වූයේ එම පවුල්වලට දැරිය නෙහැකි තරම් දැඩි ශෝකයක් සහ වේදනාවක් ඉතිරි කරමිනි. එනමුත් මෙම අවස්ථාවේදී අන්තවාදීන්ගේ තර්ජනාත්මක ත්‍රස්තවාදී ක්‍රියාදාමය මැඩපවත්වමින් එයට එරෙහිව ධෛර්යයවන්ත ලෙස ක්‍රියා කිරීමට අප තුළ පැවති ශක්තිය නිසා ජනතාව සුරක්ෂිත කිරීමට හා තවදුරටත් ඔවුනට ආරක්ෂාව සැලසීමට අපට හැකි වුණා. ඔවුන්ගේ උත්සාහය වූයේ අපගේ රට ඛණ්ඩනය කිරීමට සහ අපගේ ජනතාවත් භේද කිරීමටයි. ශ්‍රී ලාංකිකයින් බිය ගැන්වීමටයි. එනමුත් ශ්‍රී ලාංකිකයින් ඔවුන් සිතනවාට වඩා ශක්තිමත්. අපගේ එකමුතුකම සියල්ලටම වඩා බලවත් යැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (7 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් කතාකරමින්.

මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ අපගේ සියලුම ආරක්ෂක සේනාවන් එකට එක් වී අන්තවාදීන් මෙල්ල කිරීමට යෙදූ ප්‍රති ක්‍රියාමාර්ග ඉදිරියෙහි, අති කූට ලෙස රට පුරා විසුරුවා තිබූ අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා ජාලය සුනුවිසුනු වී ගිය බවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් එයින් ඔවුන්ගේ සැලසුම් හා තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ සඳහා නව ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකිවූ අතර මේ සඳහා අපේක්ෂිත ජාත්‍යන්තර සහයෝගය නොඅඩුව ලැබුණ බවත් පෙන්වා දුන්නේය.

ඇමැති සමරවික්‍රම මහතා තවදුරටත් මෙසේ කීය.

මේ සැම මධ්‍යයේ, අපගේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අප සැම එක්ව වැඩ කළෙමු.ඒ වගේම දැන් අප සැම එක්ව කැප විය යුත්තේ අපගේ ආර්ථිකය කෙරෙහි පෙර පැවතිවිශ්වාසය නැවත ගොඩනැගීමේ කාර්යයටයි.

මෙහිදී අපට පැවරෙන කාර්යයන් අතර වැදගත්ම කාර්යයක් වන්නේ අපගේ රට සහ සසල වී ඇති අපගේ ආර්ථිකය ‍ගොඩනැගීමට සහය වීමයි. මේ සඳහා අප සමඟ වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කරුවන් දිරිගැන්වීමයි. මම මේ කාරණය සඳහා දැනටමත් වෙන් වෙන් වශයෙන් අපගේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ සහ වාණිජ මණ්ඩල සහ සියලුම ව්‍යාපාරික සමාගම්වලට අප හා එක්වන ලෙස ලිඛිතව ආරාධනා කළෙමි. එපමණක් ද නොව තවදුරටත් අපගේ විදෙස් මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් හරහා අපගේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජක ප්‍රජාව ද දිරිගන්වමින් තවදුරටත් අපගේ ආර්ථිකයේ වර්ධනය උදෙසා ඔවුනගේ සහයෝගය ඉල්ලා සිටියෙමි.

අප කෙරෙහි විශ්වාසය තබමින් ජාත්‍යන්තර වශයෙන් ධනාත්මකව සහයෝගය ලබාදෙමින් තවදුරටත් අප සමඟ රැඳී සිටිමින් ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස අපගේ ආර්ථිකයෙහි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී සිටියි. මේ අතර ගෝලීය තරඟකාරීත්වය හිමිකරගෙන සිටින තොරතුරු තාක්ෂණ කර්මාන්තය, ඇඟලුම් හා ඒ ආශ්‍රිත නිපැයුම් කර්මාන්තය, තේ රබර් සහ කුළුබඩු කර්මාන්තය, විද්‍යුත් උපාංග කර්මාන්තය සහ විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය ද ඒ අතර වෙයි. අපි මේ ජාත්‍යන්තර ආයෝජන ව්‍යාපාරික ප්‍රජාව වෙත කියා සිටින්නේ රටේ සියල්ල යථා තත්ත්වයට පත්කර ඇති බවයි. ඒ සඳහා සෑම පියවරක්ම ගෙන ඇති බවයි. මේ අභියෝගාත්මක අවස්ථාවේ දී ඔවුන්ගෙන් අපට ලැබෙන සහයෝගය තුළින් සාක්ෂාත් කරන්නේ තවදුරටත් ත්‍රස්තවාදය ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා යන ගමන කිසිවිටකත් පහත හෙලිය නොහැකි බවයි.

අප මෙයට පෙර සිදුකලාක් මෙන්, මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවක දීම අප නම්‍යශීලී දේශයක් බවත් අප ඉවසිලිමත් හා නම්‍යශීලී ජනතාවක් බවත් ප්‍රදර්ශනය කළෙමු. අපරටේ පුද්ගලික ක්ෂේත්‍රයට මේ අභියෝගාත්මක වකවානුවේදී අපගේ රජයේ ක්‍රියාදාමයන් තුළින් අපගේ ආර්ථිකය නැංවීමට සහය දෙමින් ප්‍රමුඛ භූමිකාවක් ඉටුකළහැකි යයි මම තරයේ විශ්වාස කරමි.

දශක ගණනාවක් පුරා පැවති සන්නද්ධ අරගලය පැවති සමයේදී, අපගේ ප්‍රධාන නගරවලට සහ ආර්ථික යටිතල පහසුකම්වලට ත්‍රස්තවාදීන් නොනවත්වා පහරදුන් අවස්ථාවලදී, සුනාමියෙන් අනතුරුව පැවති දුර්භාග්‍යමත් සමයෙහි දී, නිරන්තරයෙන් සිදුවන ස්වභාවික විපත්වලදී පෞද්ගලික අංශය ධෛර්යමත්ව, නොසැලී, අධිෂ්ඨානශීලීව කටයුතු කරන ලද ආකාරය පූර්වයෙන් අප දුටුවෙමු.

මෙම ප්‍රහාරවලින් අනතුරුව නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් දැක්වූ සහයෝගයට, ආගමික සහ වාර්ගික සමගිය පවත්වාගෙන යාමට දැක්වූ සහයෝගය සහ ආර්ථිකමය වැටීම අවම කර ගැනීමට දැක්වූ සහයෝගයට යනාදී වශයෙන්, මේ දක්වා පුද්ගලික අංශය අපට දක්වන ලද සහයෝගයට තුති පිදීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

නව අදහස දක්වන්න