පාස්කු ප්‍රහාරය හෙළා දැක ලෝක නායකයෝ අගමැතිට සොව පළ කරති | දිනමිණ

පාස්කු ප්‍රහාරය හෙළා දැක ලෝක නායකයෝ අගමැතිට සොව පළ කරති

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් හා ඒ පිළිබඳ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත ශෝකය පළ කරමින් ලොව පුරා රටවල් ගණනාවකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩ ලැබී ඇත.

මැලේසියානු අගමැති ආචාර්ය මහතීර් බින් මොහමඩ්, තායිලන්ත අගමැති ජෙනරාල් ප්‍රයුත් චන් ඕ චා, මියන්මාර අගමැති අවුන් සාන් සුකී, වියට්නාමයේ අගමැති ගුයෙන් ෂුඑන් ෆුක් , ලාඕසයේ අගමැති ආචාර්ය තොන්ග්ලූ සිසුලිත්, බහරේන් රාජ්‍යයේ අගමැති කලීෆා බින් සල්මන් අල් කලීෆා, කටාර් රාජ්‍යයේ අගමැති සහ අභ්‍යන්තර කටයුතු අැමැතිවරයා වන අබ්දුල්ලා බින් නසීර් බින් කලීෆා අල්-තානී, ස්කොට්ලන්තයේ අගමැතිවරිය වන නිකොලා ස්ටර්ජන්, ජෝර්ජියා අගමැති මාමුකා බක්ටඩ්සේ, ටියුනීසියානු ජනාධිපති බෙජී කයිඩ් එස්සෙබ්සි, වෙනිසියුලා ජනරජයේ ජනාධිපති ජුවාන් ග්වයිඩෝ රාජ්‍ය නායකයින් එසේ ශෝක පණිවිඩ එවා ඇත. උතුරු ඉන්දීය සයිනොඩ් (Synod) දේවස්ථානයේ දේවගැතිවරුන්ගේ සභාපති ආචාර්ය පී.සී. සිං , ඉන්දියාවේ අලිගාර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය හමීඩ් අලි , නවදිල්හි ජනප්‍රිය පෙරමුණේ සභාපති ඊ .අබුබකර් ජපානයේ මැබාෂී (Maebashi), නගරාධිපති රූ යමමොටෝ (Mr. Ryu Yamamoto) , සිරියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල්වරයා වන මුස්සල්ලම් අල් ඩෲබි (Mr. Maussalam Al Droubi) , ෆිජි ජනරජ ආණ්ඩුව සහ එහි මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් නවදිල්ලියේ ෆිජී මහකොමසාරිස් යෝගේෂ් පන්ජා , නවදිල්ලියේ පිහිටි කිර්ගීස් ජනරජ මහකොමසාරිස් කාර්යාලයත් කිර්ගීස් ජනරජය නියෝජනය කරමින් කිර්ගීස් විදේශ කටයුතු අමාත්‍යංශයත් ,නවසීලන්තයේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඕක්ලන්ඩ් ශාඛාව (United Sri Lanka Association Auckland Branch) වෙනුවෙන් එහි සභාපති රොෂාන් මනම්පේරි , නිව්යෝක් හි පිහිටි ද හවුස් ඔෆ් රාම්ජිත් (The House of Ramjit) සංවිධානයේ උප සභාපති හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්‍ෂ රූපේෂ් රාම්ජිත් (Mr. Roopesh Ramjit) මහත්වරුන්ද අගමැතිවරයා වෙත ශෝක පණිවිඩ එවා ඇත.

මෝල්ටා ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම සාමාජිකයින් ප්‍රමුඛ මෝල්ටා ජනරජයේ ශෝකය පළ කරමින් එම පාර්ලිමේන්තුවේ කථානායක ආන්ජෙලෝ ෆරුජියා (Hon. Angelo Farrugia) මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමා වෙත ශෝක පණිවුඩයක් එවා ඇත.

නවදිල්ලියේ පිහිටි කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මහකොමසාරිස් කාර්යාලීය ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික බලකාය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් එවා ඇත. ලැට්වියා ජනරජයේ විදේශ කටයුතු අගමැති එඩ්ගාර්ස් රින්කේවික්ස් (Hon. Edgars Rinkevics) මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ශෝක පණිවුඩයක් එවා තිබේ. උතුරු මැසිඩෝනියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය නිකොලා දිමිත්‍රෝව් (Hon. Nikola Dimithrov) මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අැමැතිවරයා වෙත ශෝක පණිවිඩයක් එවා තිබේ.

නව අදහස දක්වන්න