ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නැවත එන්න | දිනමිණ


 

ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නැවත එන්න

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

අවාසනාවන්ත සහ පශ්චාත් යුද කාලීනව ඇති වූ පසුබෑමක් බව සඳහන් කළ කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකාව නැවතත් වඩාත් ප්‍රියජනක සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට සඳහා කෙටි කාලීන මෙන්ම දිගුකාලීන පියවර රැසක් අනුගමනය කරමින් සිටින බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

පල්ලිවලට පාස්කු ඉරිදා පහරදීම් සහ තරු පහේ හෝටල්වල සිදු වූ පිපිරීම් සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට 60% සිට 70% දක්වා පහත වැටී ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම ගෙවුණු සති දෙකේ ප්‍රධාන සිද්ධීන් කිසිවක් වාර්තා නොවීම මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ සේවය ප්‍රශංසනීයව අගය කළ ගෝමස් මහතා මේ අන්දමින් ආරක්ෂක තත්ත්වය ස්ථාවර හා ජාත්‍යන්තරව පිළිගත හැකි මට්ටමකට පත් කළ හැකිවේ නම් බිඳ වැටුණු කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකිවේ යැයි විශ්වාසය පළ කරයි.

මීට සමානව අතීතයේ ලොව පුරා සිදුවී ඇති ප්‍රහාරයන් සහ සංචාරක කර්මාන්තයට බාධා ඇති කරමින් සිදු වූ ප්‍රහාරයන් හා බෝම්බ පිපිරීම් ආදී ගෝලීය අත්දැකීම් මත පදනම්ව අදහස් දැක් වූ ගෝමස් මහතා මෙරට සංචාරක කර්මාන්තය යාවත්කාලීන කිරීම සඳහා මාස 13ක් හෝ ඊට පෙර හැකි වනු ඇතැයි අපේක්ෂා පළ කරයි.

‘ඔව්, ආරක්ෂාව මූලිකම කරුණයි. එය යථාතත්ත්වයට පත්වේයැයි, මෙන්ම නැවත මෙවැනි සිදුවීම් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තත්ත්වය හොඳ අතට හැරී ඇති බවටත්, සංචාරකයන්ට ආපසු ශ්‍රී ලංකාවට යා හැකි බවත් ලෝකයට පැවැසීමට හැකි වන්නේ එවිටයි. ගෝමස් මහතා වැඩි දුරටත් පැවැසීය.

පාස්කු ඉරිදා සිද්ධියට පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පැවැති සංචාරක හා ප්‍රවර්ධන වැඩසටහන් 37ක් සඳහා සහභාගී වී ඇති අතර, 2019 දී තවත් ස්ථාන 25කට වැඩි සංඛ්‍යාවක එවැනි වැඩසටහන් සඳහා සහභාගිවීමට නියමිත වේ. ‘අපි ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළත් ප්‍රදර්ශන හතරක් සහ තවත් 18ක් සැලසුම් කළ පරිදි ඉදිරියේ දී පැවැත්වීමට නියම්තයි’ ඔහු පැවැසීය.

‘ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාමය සුරක්ෂිත හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස නැවතත් ස්ථාපිත කිරීම සඳහා අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, නැවතත් පෙර තත්ත්වයට පත්වීමට හැකිවේයැයි විශ්වාස කරනවා’ යනුවෙන් ගොමස් මහතා අවධාරණය කරයි.

සංචාරක කර්මාන්තයට ඇතිවී තිබෙන පසුබෑම හේතුවෙන් මිලියන 05ක පමණ ජනතාවක් අපහසුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති (THASL) සනත් උක්වත්තේ මහතා මෙහි දී අදහස් දැක්වීය.

කර්මාන්තය හදිසියේ පත් වූ කඩාවැටීම නිසා තම සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සඳහා හෝටල්කරුවන්ට කිසිදු අදහසක් නෑ. එහෙත් ඔවුන් මේ වන විටත් විශාල මුදල් ගැටලුවලට මුහුණ දී සිටින බැවින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව පිළිබඳ ගැටලුවක් ඇතිවී තිබේ’ උක්වත්තේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. එපමණක් නොවේ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ණය ගෙවීම සඳහා වසර දෙකක කාලයක් හා පොලී සහන ලබාගැනීම ඇතුළු රජය වෙතින් සහන අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා සංචාරකයන්ගේ සංගමයේ (SALITO) සභාපති හැරී පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගිය සතියේ අපි හෝටල් ආරක්ෂක කාර්ය මණ්ඩලය පුහුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට දේශීය හා විදේශීය ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හමුවෙමු. ඒ අනුව හෝටල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිගුකාලීන පියවර රැසක් අනුගමනය කිරීම හා ආරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක තර්ජන සඳහා මුහුණ දිය හැකි පරිදි තොරතුරු සහ දැනුම, පුහුණුවීම් යාවත්කාලීනව පවත්වා ගෙන යෑමට පියවර රැසක් අනුගමනය කිරීමට තිරණය කර ඇති බවයි.

නව අදහස දක්වන්න