ආබාධ ඇති අයට බාධා නැති කරමු | දිනමිණ


 

ආබාධ ඇති අයට බාධා නැති කරමු

මදාරා මුද­ලිගේ

අාබාධ සහිත පුද්ගලයන් යනු රටේ ආර්ථිකයට දායකත්වය සපයන පුද්ගල කොට්ඨාසයක් ලෙස සිතා රජය මඟින් විධිමත් අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද වැදගත් වේ. සෑම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයකම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සම්පාදනය කිරීම අනිවාර්ය කළ යුතු වේ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම පෙන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගල සංවිධානවලට අනුව ජනගහනයෙන් ආබාධ සහිත පුද්ගලයන් අවම වශයෙන් 10%-12% අතර සංඛ්‍යාවක් සිටින බව පෙන්වා දී තිබේ . මානසික රෝගයක් වශයෙන් හදුන්වන මානසික ආතතිය හා වයස්ගත වීමත් සමඟ ඇති වන මානසික රෝග ඇතුළු නොයෙකුත් ආබාධ සහිත තත්ත්වයන් ශ්‍රී ලංකාවේ සංගණනවලට ඇතුළත් නොවන නමුත් එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික ආතතියද , අබාධිත තත්ත්වයක් ලෙස පිළිගෙන තිබේ.

‍ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල අාබාධ සහිත අනෙකුත් පුද්ගලයන්ට ලබා දෙන පහසුකම්වලට සාපේක්ෂව අන්ධ පුද්ගලයන්ට යම් තාක් දුරකට වැඩි පහසුකම් ලැබේ . රත්මලානේ අන්ධ විදුහල හා අන්ධ අය සඳහා වන වෙනත් විශේෂ පාසල් හේතුවෙන් අන්ධ පුද්ගලයන්ට අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමට ඒ අනුව හැකි වී තිබේ . ශ්‍රී ලංකාවේ අන්ධ දරුවන්ගේ අධ්‍යාපනය අන් ආබාධ සහිත දරුවන් හා සසඳන විට ඉහළ මට්ටමක පැවතීමට හේතුව එයයි. තව ද ඔවුන්ට නවීන තාක්ෂණයත් සමඟ සම්බන්ධ වෙමින් ඒ පිළිබද අවබෝධයක් ලබා ගනිමින් සමාජගත වීමට අවස්ථාව උදා වී තිබේ. උදාහරණයක් ලෙස අන්ධ පුද්ගලයින්ගේ පහසුව සඳහා ජංගම දුරකථනවලට ඇති Phone Accessibility features හඳුන්වා දී තිබීම පෙන්වා දීමට පුළුවන.එමෙන් ම ඡන්දය භාවිත කිරීමේ දී ඔවුන්ට විශ්වාසවන්ත පුද්ගලයකු රැගෙන යාමට නීතීයෙන් ඉඩ සළසයි. නමුත් තමන්ගේ අබාධිත තත්ත්වය පැහැදිලි කර , වෛද්‍ය සහතිකයක් ලබා ගෙන, තමන්ට විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ ඡන්දය දැමීම සඳහා යාම ඔවුනට ප්‍රායෝගිකව අපහසු දෙයක් බවට පත් ව ඇත . තවම ලංකාවේ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් දක්නට ලැබෙන්නේ බ්‍රේල් ක්‍රමය, සහ සුළු ප්‍රමාණයක පහසුකම් වුව ද විදේශ රටවල අන්ධ පුද්ගලයන් වෙනුවෙන් Tactile Art sensory assistance වැනි ක්‍රමය භාවිතා කරනු ලැබේ . විශේෂයෙන් ම අන්ධ පුද්ගලයන්ට අත්‍යවශ්‍ය යමක් ස්පර්ශ කර අවබෝධ කර ගැනීම සඳහා මෙම ක්‍රම ප්‍රයෝජනවත් වේ . ඡන්දය භාවිතා කිරීමේ දී ද අන්ධ පුද්ගලයන් වෙනුවෙන් Audio මාධ්‍ය භාවිතා කරනු ලබයි. මාර්ග සංඥා භාවිතා කිරීමේදී අන්ධ පුද්ගලයන්ගේ පහසුව සඳහා "you can cross now" වශයෙන් හඬ පණිවිඩ ( Voice Messages ) සකස් කර තිබේ.

බිහිරි පුද්ගලයන්ගේ අවශ්‍යතා

ශ්‍රී ලංකාවේ බිහිරි පුද්ගලයන්ගේ තත්ත්වය සතුටුදායක නැත . මෙරට බොහෝ පාසල්වල සංඥා භාෂා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපනයට තිබෙන ඉඩකඩ සීමා වී තිබේ. එහෙත් දියුණු රටවල බිහිරි පුද්ගලයන්ගේ අධ්‍යාපනය සඳහා සංඥා භාෂා පහසුකම් වැඩි වශයෙන් ලබා දේ. පාසල්වලට ඇතුළත් කිරීමේ දී බිහිරි පුද්ගලයන්ට සෑම පහසුකමක් ම ගැටලුවකින් තොරව ලබා දීමට කටයුතු කෙරේ. දියුණු රටවල ‍බිහිරි පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා පහසුකම් ලබා දීමට ඒ රටවල රජයන් විසින් උපරිම දායකත්වය ලබා දේ. ශ්‍රවණ දුර්වලතා සහිත පුද්ගලයන්ගේ පහසුව සඳහා පොදු ස්ථානවල දියුණු තාක්ෂණික මෙවලම් සවි කර තිබේ. උදාහරණයක් වශයෙන් හෝටල්වල හදිසි අවස්ථාවක් ඇති වූ විට,අබාධ සහිත වූවන්ට ඒ බව දැන්වීම සහ Vibrational sensors, Flashlight ආදිය සවි කර ඇත. දියුණු රටවල බිහිරි පුද්ගලයන්ට ලබා දෙන පහසුකම් හේතුවෙන් ඔවුන්ට සමාජගත වීමට වැඩි අවස්ථාවක් හිමි වේ. දියුණු රටවල සිනමාහල්වල දී උප ශිර්ෂ ( Sub Title ) පමණක් නොව පෙළ විස්තරය ( Text Description) පහසුකම ද බිහිරි පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙනු ලබයි. චිත්‍රපටයෙහි සිදු වන සෑම සිද්ධියක්ම පෙළ විස්තරයට (Text Description ) අන්තර්ගත කර ඇත. එමඟින් බිහිරි පුද්ගලයන්ට චිත්‍රපටය පහසුවෙන් අවබෝධය කර ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ අාබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන්නේ එකම පාසලක ය. සමාන පිරිසක් සමඟ සිටීම හේතුවෙන් ඔවුන්ට බාහිර ‍සමාජයට ඇතුළත් වීමට නොහැකි වේ. අාබාධ සහිත දරුවන්ගේ අනාගතයට එය දැඩිව බලපායි. එහෙත් විදේශ රටවල අාබාධ සහිත දරුවන් සඳහා විශේෂ වූ පාසල් නැත . අබාධිත දරුවන් ද සාමාන්‍ය දරුවන් සමඟ එකම පාසලක අධ්‍යාපනය හදාරනු ලබයි. දියුණු රටවල පාසල් වෙන් කර ඇත්තේ උග්‍ර ආකාරයේ අාබාධ සහිත දරුවන්ට පමණි. ආබාධිත දරුවකුට අවශ්‍ය කරන සෑම පහසුකමක් ම මෙම පාසල්වලින් හිමි වේ. බොහෝ පාසල්වල අාබාධිත දරුවකු සඳහා සහාය ගුරුවරයකු ලබා දෙනු ලැබේ . තාර්කික ශක්තිය අඩු අාබාධිත දරුවන්ට පාසල්වල කැල්කියුලේටර භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම නිදර්ශනයකි .

රැකියා අවස්ථා

අධ්‍යාපනය ලැබුව ද ශ්‍රී ලංකාවෙහි අාබාධ සහිත පුද්ගලයන් රැකියා අවස්ථා ලබා ගැනීමේ දී ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණු දීමට සිදු වේ. උදාහරණයක් ලෙස රෝද පුටුවක් භාවිත කරන උපාධිධාරියකු වූ ටිකිරි කුමාර ජයවර්ධන මහතාට ලංකාවේ අමාත්‍යංශයකට හෝ දෙපාර්ත‍මේන්තුවක රැකියාවක් හිමි වූණේ නැත. ඊට හේතු වූයේ ඒ කිසිදු ගොඩනැගිල්ලකම ඔහුට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් නොමැති වීම ය. පසුව ඔහුට මැතිවරණ කොමිසන් සභාවේ රැකියාවක් හිමි විය. එවැනි සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කර රජයේ සහ පෞද්ගලික ගොඩනැඟිලි ඉදි කිරීමේ දී සහ ප්‍රතිසංස්කරණය කිරීමේ දී අාබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

අාබාධ සහිත පුද්ගලයන් යනු රටේ ආර්ථිකයට දායකත්වය සපයන පුද්ගල කොට්ඨාසයක් ලෙස සිතා රජය මඟින් විධිමත් අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද වැදගත් වේ. සෑම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයකම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සම්පාදනය කිරීම අනිවාර්යය කළ යුතු වේ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම පෙන්වා දිය හැකි ය.සමස්තයක් වශයෙන් ගත් කල අප රටේ ramps ( ආනති තළයක් සහිත ප්‍රවේශ මාර්ග ) පවා නිර්මාණය කර තිබෙන්නේ අාබාධිත පුද්ගලයන්ට පහසු අාකාරයට නොවේ. ශ්‍රී ලංකාවේ දුම්රියවල දොරටු පටු වීම, පඩි උසින් වැඩි වීම, හිටඟෙන ගමන් කරන මඟීන්ගේ පහසුව සඳහා ඇතුළත යකඩ කණු ඉදි කර තිබීම ආදිය මඟින් විශේෂයෙන් ම රෝද පුටුවලින් ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ.එසේ ම ශ්‍රී ලංකාවේ කිහිලිකරු, අත්වාරු සහ රෝද පුටු භාවිත කරන පුද්ගලයන්ට පොදු ස්ථානවලට යාමේ දී ද දැඩි අපහසුතා ඇති වේ.

ඒ හේතුවෙන් බොහෝ අවස්ථාවන්වල දී ඔවුන්ට බාහිර පරිසරයට යොමු වීමට නොහැකි වේ.

නමුත් විදේශ රටවල රෝද පුටු භාවිත කරන්නන් ඇතුළු විවිධ ආබාධිත පිරිස් සඳහා බස් රථවල, බස් නැවතුම්පොළවල්වල , දුම්රිය ස්ථානවල සහ දුම්රියවල අදාළ පරිදි ආනති තලයක් සහිත ප්‍රවේශ මාර්ග ඉඳි කර තිබේ . බස් රථවල දොරටුව පළල්ව නිර්මාණය කර තිබෙන්නේ රෝද පුටු භාවිත කරන්නන් ඇතුළු අබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ය. විදේශ රටවල ප්‍රවාහන පද්ධතියේ ජංගම ආනති තළයක් සහිත ප්‍රවේශ මාර්ග ( portable ramps ) සුලභව දැකගත හැකි ය. ශ්‍රී ලංකාවේ ද ආබාධ සහිත පුද්ගලයන් සඳහා පහසුවෙන් ගමන් ගත හැකි බස් ( accessible buses ) නිර්මාණය කිරීම වඩාත් එලදායී වේ.

බොහෝ දියුණු රටවල ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය කරන සියලු දෑ නීතීය තුළින් සම්පාදනය කර ඇත. ඇතැම් පහසුකම් නොමිලේ ලබා දෙන අතර මුදල් වියදම් කර අවශ්‍ය කරන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ගැටලුවකින් තොරව තිබේ. උදාහරණයක් වශයෙන් තමන්ගේ අාබාධිත තත්ත්වයට අදාළව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කළ හැකි වීම පෙන්වා දීමට පුළුවන. ජපානයෙහි අාබාධිත පුද්ගලයකු වී ඉපදීම ද වාසනාවක් කොට සලකනු ලබයි. එහෙත් ලංකාවේ ආබාධ සහිත පුද්ගලයකු වී ඉපදීම ඛේදනීය තත්ත්වයක් බවට පත්ව තිබේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතී ශක්තිමත් නැත. අවුරුදු ගණනාවක් ආබාධ සහිත පුද්ගලයන්ට හිමි විය යුතු අයිතිවාසිකම් පිළිබඳව සාකච්ජා පවත්වනු ලැබුව ද ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් වී නොමැත.

ශ්‍රී ලංකාවෙහි 1996 වර්ෂයේ අංක 28 දරණ අබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතට අනුව අධ්‍යාපනයට, රැකියාවට, සහ පොදු ප්‍රවේශයට ඇති අයිතීන් හදුනාගෙන ඇත. ඊට අමතරව අජිත් පෙරේරා නම් අබාධිත පුද්ගලයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුවකට අනුව අාබාධ සහිත පුද්ගලයන් සඳහා සෑම රජයේ ගොඩනැගිල්ලකටම පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පැවතීම පිළිගෙන ඇත. එය පෞද්ගලික අංශයට ද බලපා ඇත.

රජයේ වගකීම

කෙසේ වුව ද වර්තමානය වන විටත්, බොහෝ ‍රජයේ සහ පෞද්ගලික ආයතනවලට ආබාධ සහිත පුද්ගලයන්ට ඇතුළු වීමට නොහැකි ය. අප රටේ අයවැය තුළින් ආබාධිත පුද්ගලයන් සඳහා වෙන් කරන මුදල පිළිබඳව එතරම් සැලකිලිමත් නොවුන ද බොහෝ රටවල අයවැය මඟින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු පෙනේ .

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා සෑම පහසුකමක් ම එකවර ලබා දීමට නොහැකි වුවත් අත්‍යවශ්‍ය පහසුකම්වත් සපයා දීමට රජය කටයුතු කළ යුතු ය. එසේ වුවහොත් ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ අබාධිත තත්ත්වය පිළිබඳව පසුතැවීමක් ඇති නොවේ. එසේ පහසුකම් සම්පාදනය කිරීමේ දී පළමුව කළ යුත්තේ කුඩා පරිමාණයේ සැලසුම් සකස් කිරීම ය. උදාහරණයක් වශයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් රෝද පුටු භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ජන්දය දැමීම සඳහා ඡන්ද පෙට්ටිය උසින් අඩු මේසයක් මත තැබීම පෙන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් බොහොමයකට තනිවම තම කාර්යයන් ඉටු කළ නොහැකි ය. එහෙයින් ඔවුන් අතරින් බොහොමයක් නිවෙස්වලට කොටු වී සිටිති .එය තවදුරටත් එසේ වීමට ඉඩ නොතබා ඔවුන්ගේ මූලික අත්‍යවශ්‍යතා සලකා බලා අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහි මෙන් ම විධිමත් මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම ඔස්සේ දීර්ඝ කාලීන වැඩසටහනක් සකස් කළ යුතු ය .

නව අදහස දක්වන්න