මම කැරැල්ලේ හඬ නිවැරැදිව මතු කළා | දිනමිණ


 

මම කැරැල්ලේ හඬ නිවැරැදිව මතු කළා

ධර්මන් වික්‍රමරත්න

ජවිපෙ දෙවැනි කැරල්ල පැවැති 1986 වසරේ සිට 1990 කාලය අළලා, ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘සටනින් සටන‘ කෘතිය පසුගියදා ජනගත කෙරිණි. මේ එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි මේ.

ජවිපෙ 2 වැනි කැරැල්ල ග්‍රන්ථයේ 7 වැනි මුද්‍රණයත් ඉතා ඉක්මනින් එළි දැක්කා. දැන් ඔබේ අලුත් කෘතිය ‘සටනින් සටන’ ඒ ගැන යමක් සඳහන් කළොත්?

ඔව්. එය කාණ්ඩ දෙකකින් යුත් පොත් දෙකේ මුල් කාණ්ඩය. එහි දෙවැනි කාණ්ඩය ‘සටනින් සටන’. මේ ග්‍රන්ථ දෙකටම ප්‍රස්තූත වෙන්නේ, 1986 සිට 1990 දක්වා මෙරට දේශපාලන ‍ක්ෂේත්‍රය තුළ මතු වූ ජවිපෙ 2 වැනි කැරැල්ල පිළිබඳ විස්තරාත්මක විමර්ශනයක්.

පසුගිය කාලයේ ඇතැම් ඉරිදා පුවත්පත්වල ඔබ ලියූ විශේෂාංගවල එකතුවක්ද මේ?

නෑ. මම පසුගිය වසර 15 තුළ, ජවිපෙ කැරලි ඉතිහාසය හා එහි ක්‍රියාකාරකම් ගැන විවිධ පුවත්පත්වල විශේෂාංග කියෙව්වා. ඒවා හැම එකක්ම පාහේ ලියැවිලා තිබු‍ණේ, ගවේෂණාත්මක පුවත්පත් කලාවට අනුව නෙමෙයි. ප්‍රබන්ධනාත්මක විධිහටයි. උදාහරණයකට කිව්වොත්, ලේඛකයාට නන්නාඳුනන තුවක්කුකරුවන් මනසින් පේනවා. නන්දා මාලනියගේ සිංදුවක් ගුවන්විදුලියෙන් ඇහෙනවා. අහුලාගත් හෝ අතේ රෝල් කිරීමෙන් සත්‍යයට ආසන්න සිද්ධි හා පුද්ගලයන් ගැන මේ අරභයා අපමණ පුවත් පත් ලිපි ලියැවුණා. මේවා කියවද්දී, මගේ ළඟ තිබුණු තොරතුරු හා මට ලැබෙමින් පැවැති තොරතුරු ප්‍රකාශ නොකළොත්, එය මගේ වගකීම පැහැර හැරීමක් විදිහට මට දැනුණා. ඒ නිසා මේ පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන ගමන්ම, මම ඒවා පුවත්පත්වලට ලියන්න පටන් ගත්තා.

අවසානයක් නොකොට අතරමඟින් ම ඒවා ප්‍රකාශ කරන්න තීරණය කළේ ඇයි?

එකක් මට මගේ මතවාදය සමාජගත කිරීමට ඉඩ හසර හදා ගන්න එක. අනෙක පාඨකයන්ගේ ප්‍රතිචාර මත මේ කටයුත්තේ ඇතැම් කරුණු ගැන වැරැදි, නිවැරැදි කර ගැනීම.

ලිපි මාලාව යන විට, ඔබට ලැබුණ පාඨක ප්‍රතිචාර කොහොමද? බැරෑරුම් චෝදනාත් ආවද?

මා ඉදිරිපත් කරන කාරණා තහවුරු කිරීමටත්, තව දුරටත් අධ්‍යයනය කරමින් කරුණු කාරණා වැඩිදුර හෙළිදරව් කිරීමටත් හැකිවන ආකාරයට දිවයිනේ හතර දිග් භාගයෙන් ම මට දුරකතන ඇමැතුම් ආවා. උදාහණයක් ගත්තොත්, ශාන්ත බණ්ඩාර සම්බන්ධයෙන් මා එක් අවස්ථාවක කරුණු ප්‍රකාශ කළ විට, එය කිය වූ කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ශාන්ත බණ්ඩාරගේ උප්පැන්න සහතිකයේ සිට සියලු ම සහතික සුරැකීම සඳහා බොහෝ කලකට පෙර තමාට බාර දුන් බවත්, ඒවා සියල්ල මා හට බාරදීමට සූදානම් බවත් ඔහු කිව්වා. තීරණය කරගත් ස්ථානයකදී ඒ සියල්ල ඔහු මා අත තැබුවා. පරීක්ෂා කිරීමේදී ඒ සියල්ල සත්‍ය පිටපත් බව පෙනුණා. මම ඒවායේ ඡායා පිටපත් ලබා ගත්තා.

පසුගිය වසර ගණනාවකටම මට චෝදනාවක් එල්ලවෙලා තියෙන්නේ, එක ම එක අවස්ථාවකදී විතරයි. ඒ තමා රංජිත් පීරිස් මහතා පුවත්පත් මණ්ඩලයට කළ පැමිණිල්ල. ඉන් කියැවුණේ, ඔහු මිනීමරුවෙක් යැයි මා සඳහන් කර ඇති බවයි. රංජිත් පීරිස් 71 කැරැල්ලට කෑගල්ලෙන් පැමිණි 16 හැවිරිදි ශිෂ්‍යයෙක්. නිදහස් වීමෙන් පස්සෙ ඔහු විජේවීරගේ සමීපතමයෙක් වුණා. ඕමාරගොල්ල කතිකාවතේදී මධ්‍යම කාරක සභාවටත් පත්කර ගත්තා. ඒත්, 82 දී සදාචාරාත්මක ලෙස විනය විරෝධී කාරණාවක් නිසා පක්ෂයෙන් නෙරපුවා. දෙවැනි කැරැල්ලේ දී ඔහු අතුරු හමුදාවල ඔත්තුකරුවෙක් හා කුලී හේවායෙක් විධිහට කටයුතු කළා. කෙසේ නමුත්, ඔහු අපට විරුද්ධ නඩුව ටික දිනකින්ම ඉල්ලා අස්කර ගත්තා.

ඔබ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින්, කැරලිකරුවන්ගේ නෑ හිත මිත්‍රාදීන් හමු වුණා. එයින් බලාපොරොත්තු වුණේ කුමක්ද?

මගේ කටයුත්ත ගවේෂණයක් නිසා, ඔවුන්ගේ පවුල්වල වර්තමාන තත්ත්වය දැන ගැනීමට මට අවශ්‍ය වුණා. මෙහි පළමු කාරණයට මාතලේ පී.තංගරාජා ගැන සඳහන් කරන්න පුළුවන්. විජේවීරගේ අවසානයෙන් පසු ඔහු ඝාතනයට රැගෙන යනවිට, ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක්. ඔහු කටයුතු කළේ පිටකොටුවේ රහස් බිංගෙයක ඉඳගෙන. ඊට පෙර ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායකවරයා විධිහටත් කටයුතු කළා. තංගාගේ විශේෂත්වය තමයි සිංහල, ද්‍රවිඩ හා ඉංග්‍රීසි භාෂා තුනම චතුර ලෙස හැසිරවීමට ඇති හැකියාව. ඔහු මාතලේ සහිරා හා අජ්මීර් විද්‍යාලවල ඉංග්‍රීසි ගුරුවරයෙක් විධිහට සේවය කරලා, 71 කැරැල්ලට සම්බන්ධ වුණා. නිදහස ලබා පැමිණ පක්ෂය වෙනුවෙන් නොකඩවා කටයුතු කළා. ඇගේ සහෝදරියක්, පූර්ණ කාලීනව වැඩ කළා. ඔහුගේ පියා වතු නිලධාරියකුගේ කෝකියෙක්. සහෝදරියන් තිදෙනාගෙන් විවාහ වී තිබෙන්නේ එක් අයෙක් විතරයි. තුන් දෙනාම අන් නිවාසවල ගෘහ සේවිකාවන්. ජීවත් වෙන්නේ ඉතා දුක සේ. ඒ පවුලේ සාමාජිකයන් අභාග්‍ය සම්පන්න විධිහට ජීවත් වන ආකාරය මගේ ඇස් දෙකින් දැක්කා.

ඔබේ වැඩවලදී රහස් පොලිසියේ පුස්තකාල පහසුකම් ලබා ගත්තද?

කොහෙත්ම නෑ. රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මට කීවේ, මා ළඟ ඇති තොරතුරුවලින් සියයට පහක් වත් ඔවුන් ළඟ නැති බවයි. රොහාන් ගුණරත්නගේ ‘අහිමි විප්ලවය’ උපාධි නිබන්ධනයේ ඉඳලා, සඟරා , පුවත්පත්, පොත් ඔක්කොගෙම පාවිච්චි වුණේ සීමිතව රහස් පොලිසියේ තිබුණු ඡායාරූප. තොරතුරු ගත්තේ අපරාධ යුක්ති කොමිෂන් සභාවෙන් සහ ඊට සමගාමීව වෙනම ඇසූ නඩු වාර්තාවලින්. විජේවීරගේ ‘අප මරා දැමුවද...?’ පොතේ ඉඳලා සියලු ම පොත්වල තොරතුරු පක්ෂග්‍රාහී හා ද්වේශ සහගතයි. සාමාන්‍ය මධ්‍යස්ථ ග්‍රන්ථයකට තියෙන්නෙ විනිශ්චයකාර අලස් ගෙ පොත විතරයි. ඒ පොත්වලින් කරුණු හා ඡායාරූප අරන් මම අලුතින් මොනව ඉදිරිපත් කරන්නද?

නායකය හා සෙසු සියලු සාමාජිකයන් හැටහත් දහස් ගණනක් ඝාතනය වූ තත්ත්වය තුළ ඔබ නව්‍ය ලෙස සත්‍යම කරුණු මුල සිට ගොනු කරන්නේ කෙසේ ද?

මම කුඩා කාලෙ ඉඳල සෑම දිනකම සටහන් තබන්න පුරුදු වෙලා හිටියා. 1984 ඉඳල කර්තෘ මණ්ඩලීය වාර්තාකරුවෙක් විධිහට මා මේ සම්බන්ධයෙන් විශේෂ එකතුවක් හදා ගත්තා. සහෝදර මාධ්‍යවේදීන්ගෙන්; විශේෂයෙන් ඡායාරූප ශිල්පීන්ගෙන් මට සහය ලැබුණා. ඒ සියල්ලටම වඩා මගේ පාඨකයන්ගෙන් හා ඝාතනය වූ කැරලිකරුවන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන්ගෙන් සහයෝගය ලැබුණා. ඒ නිසා මට දැවැන්ත කටයුත්තක් සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා.

ඔබ මේ ග්‍රන්ථ දෙක ම පළ කරලා තියෙන්නෙ කර්තෘ ප්‍රකාශන විධිහටයි. මේවා නිකම්ම ග්‍රන්ථ නෙමෙයි. විශ්වකෝෂ වගේ. වියදමවත් ආපසු ලැබුණද?

අති සාර්ථකයි. පළමු කාණ්ඩයම මුද්‍රණ වාර 7කින් නිකුත් වුණා. එය පුස්තකාලවලට අනුමත පොතක් වශයෙනුත් නිර්දේශ කෙරුණා. මේ වන විට පිටපත් දහදාහ ඉක්මවා පාඨකයන් අතරට ගිහින් තිබෙනවා.

මේ සාර්ථකත්වයට මූලික හේතුව කුමක් ද?

පළමු හේතුව තමයි කැරැල්ලෙන් මියගිය හා අතුරුදහන් වූවන්ගේ සමීප අය. මේ ග්‍රන්ථය නිසා තමුන්ට හා තමුන්ට අහිමි වූ අයට පිළිගැනීමක් ලැබුණා කියා කල්පනා කළා. ඔවුන්ගේ හඬ මතුකරන්නට පුළුවන් වුණේ මේ ප්‍රකාශන දෙකට විතරයි කියා මම හිතනවා.

විශේෂයෙන් ම ඉරිදා පුවත්පත්වලට කරපිංචා, රම්පෙ මට්ටමින්වත් ජවිපෙ කැරලි නැතුව තවමත් පැවැත්මක් නැහැ. ඔබම කියනවා ඒවා අතේ රෝල් කියලා. ඔබේ මේ ගවේෂණාත්මක ප්‍රකාශන නිසා තව අතේ රෝල්වලට කුමක් වේවිද?

අඩු ම තරමින් තව අවුරුදු පහක් ඔය ගමන ඔහේ යයි. ඊට පස්සෙ මම ඉදිරිපත් කරන කරුණු තහවුරු වෙලා ඉවරයි. දැනටමත් මේ ජනමාධ්‍ය මගේ සංඛ්‍යා හා කරුණු ඔවුන්ගෙ වගේ නැවත ලියන්න පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවක්. බොරු ලියනවට වඩා, කොපි කරලා ඇත්ත ලියන එක අතීතයටත් හොඳයි. අනාගතයට වඩාත් හොඳයි.

සාකච්ඡා කළේ සමුනි සමරකෝන්

නව අදහස දක්වන්න