දැනුමින් පිරිපුන් ප්‍රභාෂී | දිනමිණ


 

දැනුමින් පිරිපුන් ප්‍රභාෂී

සාහිත්‍යමය ගද්‍ය, පද්‍ය, ගීත හා දේශීය ආයුර්වේද ලිපි සංගෘහිතව ජනගත කළ වටිනා කෘතියක් ලෙස, විමල් රූබසිංහ විසින් රචිත ප්‍රභාෂී කෘතිය හැඳින්විය හැකි ය. අනු ශීර්ෂ 140කින් මං සලකුණු කර, පිටු 150කට ලඝු කර, සාහිත්‍යමය, කලාත්මක හා වින්දනාත්මක වපසරියක සිටිමින්, විවිධාකාර වූ ආකල්ප, සංකල්ප ඇති, පාඨක බහුතරයකට ආනන්දයෙන් ප්‍රඥාව තෙක් පියමැනීමට බිහිදොර විවර කර, ග්‍රන්ථයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. මේ ග්‍රන්ථය, අද හතු පිපෙන්නාක් මෙන් මුද්‍රණයෙන් පිටවෙන පොත් අතර, ගල් බොරලු මතින් බිහි වූ මාණික්‍යයක් සේ ප්‍රභාෂ්වර ය.

දිගුකාලීන නිර්මාණාත්මක පසුබිමක් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ, කලක් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ, හිටපු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වූ විමල් රූබසිංහයන්, මේ කෘතියේ ගවේෂණාත්මක නිර්මාණකරු වීම ද විශේෂත්වයකි.

ඔහු, රාජ්‍ය කලාභූෂණ, කිවිපති ආදී සම්මාන රැසකින් පිදුම් ලද, අත්දැකීම් බහුල දේශීය ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ද ප්‍රකට ය. ඔහු, වියතකු, කවියකු, ‍ගේය පද රචකයකු මෙන් ම, බහුශ්‍රැත දේශකයකු වශයෙන් ද ජන විඥානය මනා සේ ස්පර්ශ කළ සොඳුරු මිනිසෙකි. සාහිත්‍ය හා කලා රසවින්දන හැකියාවෙන් පිරිපුන් සංවේදී පරපුරක් බිහි කිරීමේ අදහසින්, අපේ ජන ගී සාහිත්‍යය හා කවිය ගැඹුරු අධ්‍යයනයකින් පසු ලියූ “ප්‍රභාෂී”, සිය ඒකායන අරමුණ මංතල කිහිපයක් ම ඔස්සේ ජන සිත්හි මේ වන විටත් ලැගුම්ගෙන හමාර ය. ජාතික වීරවරයන්, සම්භාවනීය කවි කිවිඳියන්, ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්, ස්වීය නිර්මාණ මඟින් යළිත් අද පරපුරට ඥානය ලබාගත හැකි පරිදි ප්‍රති නිර්මාණය කර, මේ කෘතිය මඟින් සාකච්ඡාවට බදුන් කර ඇති අයුරු ප්‍රශස්ථ මට්ටමක පවතී. මේ ලේඛකයා, පරිසරයට අසීමිත ලෙස ආදරය කරන දුර්ලභ ගනයේ මනුෂ්‍යයෙකි.

“පරිසරය පණ ලෙස රකිමු” යනුවෙන් (28) පිටුවේ සංග්‍රහ කළ එක ම එක කවිය ද ඊට කදිම නිදසුනකි.

අස දිස සිරි සපිරි හෙළ පරිසර කමල
රස කවියක් වැනිය යස ආදර ගඟුල
බස අමොදක්ය සරසවි දෙවඟන මතුල
ලෙස පණ විලස රැක දිවි කර ගමු සපල

සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද හා බැඳුණු සිරිත් විරිත්, වත් පිළිවෙත් ආදිය “හෙළ වෙද සිරිතයි - සුබ නව වසරයි” (පිටුව 71) යන සිරස්තලය යටතේ ශ්‍රී ලංකාවේ අපට වසර දහස් ගණනක ඉතිහාසයේ සිට උරුමව ඇති මහා සංස්කෘතික හා කලා උරුමය සපථ කරන කතිකාවක අනු ඡේද අටක් යටතේ රචනා කර ඇත. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, වත්මනෙහි ලඝුකොට තකන නව පරපුරට, අලුතින් සිතීමට තරම් පූර්වාදර්ශයක් ලබාදෙන පරිදි මෙහි ලියැවී ඇති අයුරු විචිත්‍ර ය.

“වෙදමාමාගෙන් දරුවන්ට තුන - පහ පාඩමක්” යන මාතෘකාවෙන් (90 පිට) සමූහවාචී පද යුගලක් ලෙස තුන - පහ යන්න අප කාටත් දැනෙන පරිදි සටහන් කර ඇති අයුරු, පහත කවියෙන් මනාව පිළිබිඹු වේ.

ලුණු සහ මිරිස් ඇඹුලයි අපේ දරුවනේ
“තුන” ලෙස කුස්සියෙදි කෙටි බසින් කියැවුණේ
සූදුරු ගම්මිරිස් උළු හාල් අරගෙනේ
කොත්තමල්ලි අබ “පහ” ලෙසින් හැඟවුණේ

මෙසේ රසෝත්පාදනයෙන් යුක්තව, සංවේදීව, අර්ථ, දත්ත, තර්ක, විතර්ක විවිධ දෘෂ්ටි කෝණවලින් ස්පර්ශ කිරීමට හැකිවන පරිදි, මුළු කෘතියම යථාර්ථ අනුභූතින්ගෙන් අලංකෘතව, රචකයා පාඨකයා වෙත දායාද කිරීමට සමත් ව ඇත.

සාහිත්‍යය මිනිසා සිය නැණ නුවණින් නිර්මාණය කරගත් දෙයක් යැයි නොබියව පවසන ලේඛකයා, ඒ සම්බන්ධව ඇති නානාවිධ අර්ථකථන නිශේධනය කර, එය ගද්‍ය, පද්‍ය හා චම්පු යනුවෙන් මූලික කොටස් තුනකට විභේදනය කර පෙන්වා දෙයි. මේවා කාව්‍ය යන ඒකීය නාමයෙන් හැදින්වෙන බව ද ඔහු කියයි.

විවිධ ලිපි, සෙල්ලිපි, ලේඛන, ග්‍රන්ථ යනාදිය ගද්‍ය සාහිත්‍යයෙහිලා ගිනිය හැකි බව පවසන ඔහු, පන්සිය පනස් ජාතක පොත, ධර්ම ප්‍රදීපිකාව, බුත්සරණ ආදී ධර්ම ගන්ථත්, සිදත් සඟරාව, සියබස්ලකර ආදී භාෂා සාහිත්‍ය ග්‍රන්ථ, දේශීය වෛද්‍ය විද්‍යා, කලා, ජ්‍යෝතිෂ්‍ය ආදී විවිධ විෂයයන් ආශ්‍රිතවත්, ගද්‍ය පද්‍ය හා චම්පු කාව්‍ය සාහිත්‍ය කෘති නිර්මාණයට පාදක වී ඇති බව පෙන්වා දෙයි.

මෑත ඉතිහාසය තුළ නවකතා, කෙටිකතා ආදී ලෙස තව තවත් නවීනාංග තුළ, එනම් ගද්‍ය සාහිත්‍ය එහිදී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. ලියූ වදනින් , මැවූ හැඟුමින් දෙස බස රැස නැගූ මහා පඬිරුවන ලෙස මාර්ටින් වික්‍රමසිංහයෝ හඳුන්වන ඔහු, සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයටත්, ළමා සාහිත්‍යයේ පුනරුදයටත්, දර්ශන, පරිණාම, මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස, ජීව විද්‍යා හා දෘශ්‍ය කාව්‍යයක්, සිය දිවිමංතලාව තුළ ස්ථාපනය කර කළ අනුපමේය මෙහෙවර යළි අවදි කරවීමට, මේ මඟින් උත්සාහ දරා ඇත. එමඟින් සිදුව ඇත්තේ, වත්මනෙහි තොරතුරු හා පරිගණක තාක්ෂණ මෙවලම් ඔස්සේම පෙරළි කරන නූතන පරපුරට, අතීත විද්වතුන්ගේ ජාතික මෙහෙවර සිහිපත් කිරීමට මේ කෘතිය තුළ සාධනීය අවස්ථාවක් උදාකර දීමකි.

භාෂාවේ සහ සාහිත්‍යයේ අවියෝජනීය සම්බන්ධය, සාහිත්‍ය රසවින්දනය, සාහිත්‍ය නිර්මාණයක භාෂා උත්පාදනය, වින්දනීය - කෞශල්‍යය, ප්‍රතිභාව හා ප්‍රතිචාරය, උපමා උපමේය, ප්‍රයෝග හා උපක්‍රම යන මේ අමරණීය සාහිත්‍යාංගයෝ, ඒ ඒ බුද්ධි මට්ටම්වල පාඨකයන්ට සිය දැක්ම වඩාත්ම පෘථුල ලෙස ව්‍යුත්තාපනය කර ගැනීමට, මේ ග්‍රන්ථය මනා පිටිවහලක් වෙතැයි සිතේ.

අපේ ජන ගී සාහිත්‍යය වෙත ද සාධනීය ලෙස විමල් රූබසිංහ ශූරිහු සිය නිර්මාණාත්මක ඇස විහිදුවා තිබීම අගය කළ යුතු ය. මිනිසා නිපදවාගත් අසමසම මෙවලම වූ භාෂාව කට වහරින් අරඹා, පසුව සංකේත හා රූ රටා ආදියෙන් අලංකෘත කර, ඒවායේ ක්‍රමික විකාශනයෙන් අක්ෂර හෙවත් හෝඩිය නිපදවාගත් බව පවසන ගත්කරු, අනතුරුව වචන මඟින් ලිඛිත තත්ත්වයට ප්‍රසාරණය කොට ජනගත වූ බව පෙන්වා දේ.

ආරම්භයේ දී ලිඛිත භාෂා සාහිත්‍යයක් බිහි වීමට පෙර, විවිධ වූ ජන කොටස් සිය භාෂා සාහිත්‍යයේ ආ ජන ගී අලිඛිතව, මුඛ පරම්පරාගතව භාවිතයට ගත් බව පෙනේ. කෙසේ වෙතත් ජන ගී සහ ජනකවි සාහිත්‍ය, වෙනත් සාහිත්‍යාංගවලට වඩා, පොදු ජනතාව අතර ප්‍රචලිත ය. සංක්ෂිප්ත වශයෙන් දැක්වූ පෙරකී කරුණු තුළ, ජන ගී හා ජන කවිය රටක සාහිත්‍ය යුගයෙන් යුගය පෝෂණය කරන අනවරත ප්‍රවාහයකි. මේ බැව් ප්‍රභාෂී කෘතිය තුළ අත්‍යලංකාර ලෙස, සජීවී නිදසුන් සංකේතවත් කර, විමල් රූබසිංහයෝ පෑ පෙළහර, විවිධ මානසික මට්ටම් නියෝජනය කරන පාඨකයන්ට සිය දැනුම, අවබෝධය පුළුල් කර ගැනීමට බිහිදොරක් වනු නො අනුමාන ය. ප්‍රභාෂී පිළිබඳ පසුවිපරුමක යෙදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, “වියතකු, කවියකු, ගේය පද රචකයකු පමණක් නොව, ඒ සියල්ලටමත් වඩා හොඳ මිනිසකු ලෙස මට දැනෙන හැඟෙන විමල් රූබසිංහයන් වෙතින්, නුදුරු අනාගතයේදී තව තවත් මෙවන් නිර්මාණ බිහිවනු දැක්ම අපගේ හෘදයාංගම අභිලාෂයයි. අපගේ ප්‍රාර්ථනය ද එයමැ වන්නේම ය“යැයි පවසා ඇත. එහි ද ගැබ්ව ඇත්තේ ද, මේ කෘතිය තුළ පවත්නා යහගුණ ම ය.

ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි

නව අදහස දක්වන්න