මගේ හිත ඇතුළේ හිටපු රාක්ෂයා ලියපං කිව්වා | දිනමිණ


 

මගේ හිත ඇතුළේ හිටපු රාක්ෂයා ලියපං කිව්වා

ජෝර්ජ් ඕවල්

වයස අවුරුදු 5-6 දි පවා වැඩිහිටියෙක් වුණාට පස්සේ ලේඛකයෙක් වෙන එක තමයි මට අයිති රාජකාරිය කියලා මම දැනගෙන හිටියා. වයස අවුරුදු 17-24 අතර කාලෙදි මේ අදහස හිතෙන් අයින් කරලා දාන්නත් මම නොසෑහෙන්න උත්සාහ කළා. ඒත් කාලයක් යද්දි, ලිවීම මට අයිති ස්වාභාවික සිද්ධියක්, ඒකෙන් ගැලවෙන්න හිතන එකේ තේරුමක් නෑ කියලා තේරුණා. අනාගතේ දවසක‍්, නිස්කාන්සුවේ වාඩිවෙලා පොත් ලියන එක මිසක් වෙනත් දෙයක් මට අයිති නෑ කියලත් තේරුණා. ළමයි තුන් දෙනෙක් හිටපු පවුලක මැද ළමයා විදිහටයි මම ඉපැදුණේ. හේතු බොහොමයක් ම නිසා මම හිටියේ හුදෙකලාවක. අනෙක් අය එක්ක ඉන්නකොට තරමක නුරුස්සන ගතියෙන් වගේම එකඟ නොවන ගතියක් පෙන්නපු නිසා, ඉස්කෝලෙ ළමයි අතර ජනප්‍රිය ළමයෙක් වෙන්න මට බැරි වුණා. හුදෙකලා ළමයෙක් විදිහට තනියෙම කතන්දර ගොතන්නත්, හිතින් මවාගත්ත චරිත එක්ක කතා කරන්නත් මම පුරුදු වුණා. මගේ සාහිත්‍ය ජීවිතේ පටන් ගත්තෙම මෙන්න මේ දරුණු හුදෙකලාවයි, අඩු තක්සේරුවයි නිසා කියලා මට හිතෙනවා. අප්‍රසන්න, දුක්බර හැම අවස්ථාවකටම මුහුණ දෙන්න මගේ ළඟ වචන සහ ඒවායෙන් හදාගත්ත බලයක් තිබුණා. මම හදාගත්ත මේ මනෝරාජික ලෝකය ඇතුළේ, හැම අසාර්ථක වීමකටම මූහුණ දෙන්න වචනවලින් හදපු ආයුධ තිබුණා. මම පළමු වැනි කවිය ලියනකොට, මගේ වයස අවුරුදු 04ක් හෝ 05ක්. 1914 දි යුද්දෙ ඉවර වුණාම මම දේශප්‍රේමී කවියක් ලිව්වා. එතකොට මට වයස අවුරුදු 17යි. ඒ කවිය පත්තරේ පළ වුණා. ඊට පස්සේ විටින් විට මම කවි ලිව්වා. කෙටිකතා ලියන්නත් ගත්තා. ඒත් අසාර්ථක වුණා.

මේ කාලෙ අතරතුර මම සාහිත්‍ය වැඩවලට සම්බන්ධ වුණා. නාට්‍ය පිටපත් ලිව්වා. පාසල් සඟරා සංස්කරණය කළා. අවුරුදු 15 කට ආසන්න කාලයක් මේ වගේ සාහිත්‍ය වැඩවල නිරත වෙලා හිටපු එකෙන් වෙනස් විදිහක අත්දැකීම් බොහොමයක් ලැබුණා. මගේ ගැනම නොනවත්වා හිතේ ලියාගෙන යන දින සටහන් පොතක් මගේ ළඟ තිබුණා කියලා කියන්නත් පුළුවන්. කුඩාම කාලෙ, මම තමයි රොබින් හුඩ් කියලා හිතින් මවාගෙන හිටියේ. ඒක හැම පොඩි ළමයෙක්ම කරන දෙයක් වෙන්නත් ඇති. ත්‍රාසජනක කතන්දරයක වීරයා වෙලා, නාසිස්මික ලෝකෙක හිරවෙලා හිටියා. හැම තත්පරේකම මොකක්ම හරි රූප රාමුවක් මගේ හිතේ ඇඳිලා තිබුණා.

'ඔහු දොර තල්ලු කරගෙන කාමරේට ඇතුළු වුණා. කපු දොර රෙද්ද හරහා ඉර එළියේ කහ පාට ආලෝක කදම්බයක් මේසයට වැටිලා. මේසෙ උඩ තීන්ත කූඩුවට එහායින් බාගෙට ඇරපු ගිනි පෙට්ටියක් තිබුණා. තමන්ගේ දකුණු අත කලිසම් සාක්කුවේ ඔබාගෙන ඔහු ජනේලයට විරුද්ධව ඇවිද්දා. කුඩා වීදිය පහළ, බළලෙක් මළ කොළයක් පස්සේ පන්නනවා.' මේ වගේ කතන්දර මම දිගින් දිගටම ලියමින් හිටියා. මේ පුරුද්ද මට අවුරුදු 25 වගේ වෙනකන් තිබුණා. ඒ අතරේ හොඳටම ගැළපෙන වචන හෙවීම දිගටම කළා. කතා ලිවීම දිගටම සිද්ධ වුණා. මම අගය කරපු නොයෙක් ලේඛකයන්ගේ ශෛලිවලින් එක් එක් කාලවල මම ලියමින් හිටියා. හැබැයි ඒ සියලු ම ලියැවිලිවල ඉතා ම ව්‍යක්ත, බිය-සැක නැති භාවයක් තිබුණා. වයස 16 දි විතර තනි වචනවලින් ඇති කරන්න පුළුවන් ප්‍රමෝදය මම හොයා ගත්තා. 'Paradise Lost' කියවලා තනි වචනවල බලය ගැන වගේ ම, ශබ්දය ගැන ලොකු හැඟීමක් මට ඇති වුණා. දැන් ඒ පොත කියවද්දි ඒ තරම් ආනන්දයක් නොදැනුණත්, ඒ කාලෙ මා විස්මයට පත් කරවන ගතියක් ඒ කවිවල තිබුණා. ඒ කාලෙ මගේ කොඳුඇට පේළියටම ඒ වචනවල ප්‍රකම්පනය දැනුණා. දේවල් විස්තර කරන්න ඕනා කොහොමද? මම ලියන්න ඕන මොන ජාතියේ පොත් ද? කියලත් ඒ වෙනකොට දැනගෙනයි හිටියේ. මට ලියන්න ඕන වුණේ ගාම්භීර ස්වාභාවිකත්වයක් තියෙන නවකතා. හැබැයි අවසානය අසන්තෝෂදායක වෙන්නම ඕනැ. කුඩා දේ පවා හොඳින් විස්තර කරන්නත් ඕනැ. වචන, තමන්ට හිමි ශබ්දය ‍රැකගෙන පෙනී හිටින්නත් ඕනා. මේ ඔක්කොම එක්ක මගේ පළමු වැනි නවකතාව 'Burmese Days' ලිව්වෙ මට අවුරුදු 30 දී.

ලිවීම ගැන පසුබිම් කතා ඔක්කොම කියන්නෙ හේතුවක් ඇතිවයි. ලේඛකයගේ අභිප්‍රාය තේරුම් ගන්න නම්, ඔහුගේ අතීත ලිවීම ගැනත් දැනගන්න ඕනැ. ඔහුගේ ලිවීම වර්ධනය වුණ හැටිත් දැනගන්න ඕනැ. ඔහුගේ අත්දැකීම්, විෂය පථය තීරණය වෙන්නේ කොපමණ කාලයක් ඔහු ජීවත් වෙලා හිටියද කියන කාරණය උඩයි. මම ජීවත් වුණ අතිශය කලබලකාරී, විප්ලවකාරී යුගවල පවා මේ කාරණය වෙනස් වෙන්නෙ නෑ. කෙනෙක් ලියන්න කලින් උරා ගන්න සංවේදනවලින්, ඔහුට හෝ ඇයට කිසි විටෙකවත් සහමුලින්ම ගැලවෙන්න බෑ. ඒක ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය වෙන්නෙ ඉබේමයි. ඒකෙන් නොවැඩුණු යුගයක, මුරණ්ඩු විදිහට හිරවෙන්න තියෙන අවස්ථාවෙන් ගැලවෙන්න පුළුවන්. යම් කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ මුල් යුගයේ ලිවීමේ ආභාෂයෙන් සම්පූර්ණයෙන් ම ගැලවුණොත්, ලිවීමට තියෙන ආවේශය මරා ගන්නවා. ලිවීම ජීවන වෘත්තියක් විදිහට නොසලකා පැත්තකින් තිබ්බොත්, හැම ලේඛකයකුටම ලිවීම සම්බන්ධයෙන් පොලඹවන්න හේතු 04ක් තියෙනවා. පළමු වැනි කාරණය, අව්‍යාජ මමංකාරයක් තිබීම. තමන්ගේ බුහුටි බව, තමන් ගැන කතා කරනවා අහන්න කැමැති වීම වගේ ම, තමන්ගේ මරණයෙන් පස්සෙත් මතක තියාගන්න ජාතියේ ලේඛකයෙක් වෙන්න තෘෂ්ණාවක් තියෙන්න ඕනැ. මේ බලාපොරොත්තු ටික ලේඛකයකුට නැහැයි කියලා මවාපාන්න උත්සාහ කරනවා නම්, ඒක එක්තරා ආත්ම වංචාවක්.

ලේඛකයෙක් මේ සියලු චරිත ලක්ෂණ විද්‍යාඥයන්,දේශපාලඥයන්, කලාකරුවන්, නීතිඥයන්, සොල්දාදුවන් වගේ ම, ව්‍යාපාරිකයන් එක්ක ලිවීම හරහා බෙදා ගන්නවා. සරලව කිව්වොත්, මනුෂ්‍යත්වයේ සියුම් උඩු පෘෂ්ඨයෙන් මේ සියල්ල බෙදා හැරෙනවා. මිනිස්සුන්ගේ බහුතරය ඇත්තටම ආත්මාර්ථකාමී නැහැ. අවුරුදු 30 වගේ වෙනකන් විතරයි ඒ හැම කෙනෙක්ම තමන් කේන්ද්‍ර කරගෙන හිතන්නේ. ඊට පස්සේ ඒ අය හිතන්නෙ සහ ජීවත් වෙන්නෙ අනෙක් අය වෙනුවෙන්. ඒ අතරේ සුළුතරයක් ඉතා ම භාග්‍යවන්තව තමන් කේන්ද්‍ර කරගෙන, මරණය තෙක්ම තමන්ට කැමැති විදිහෙ ජීවිත ගත කරනවා. ලේඛකයෝ අයිති වෙන්නේ මෙන්න මේ සුළුතරයටයි. ඒකෙනුත් ඉතාම බරපතළ ලේඛකයෝ විතරක් අහංකාර, මමත්වයෙන් පිරුණු, මුදල් ගැන උනන්දුවක් නැති අය විදිහට ජීවිත ගත කරනවා.

දෙවැනි හේතුව සෞන්දර්යාත්මක උත්තේජනයක් තිබීම. පිටස්තර ලෝකය ගැන අවබෝධයකින් සහ සුන්දරත්වය ගැන සංවේදනා ඇතිව ඉන්න එකයි මෙතැනදි වැදගත් වෙන්නේ. සෑම සිදුවීමකම පෙළගැස්ම වගේ ම, වචන නියමාකාර පිළිවෙළට යොදන්න දැනගන්න ඕනැ. එක් ශබ්දයක අලංකාරය ගැන වගේම, ප්‍රමෝදය ගැනත් හරි අවබෝධයකින් ඉන්න ඕනැ. ගද්‍ය ලිවීමේදී ස්ථාවර බවක් වගේම, කතාවක රිද්මය ගැනත් ලොකු සැලකිල්ලක්, අවබෝධයක් තියෙන්න ඕනැ. වටිනා අත්දැකීම් බෙදා ගන්නත්, කිසිවක් මඟ නොහරින තාලේ උමතුවක් තියෙන්නත් ඕනැ. සෞන්දර්ය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන්, බහුතරයක් ලේඛකයෝ හරි ම උදාසීනයි.

තුන්වැනි හේතුව ඓතිහාසික ආවේශයක් සහිත වීම. අතීත සිද්ධි ඒ විදිහෙන්ම දකින්න පුළුවන්කමක් තියෙන්න ඕනැ. ඒවා පිළිබඳ ඇත්ත තත්ත්වය හාරා අවුස්සලා, අනාගතය සඳහා ගබඩා කරලා තියාගන්න හැකියාවක් තියෙන්න ඕනැ. හතර වැනි හේතුව දේශපාලනික අභිප්‍රායක් තිබීම. 'දේශපාලනික' කියන වචනය හැකි තරම් පැතිරුණු අර්ථයකින් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනැ. ලෝකය යම් යහපත් දිශාවකට තල්ලු කිරීමේ ආශාවෙන් පසුවීමත් වැදගත්. අනෙක් මිනිස්සුන්ගේ සිතීමේ කලාපය වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනැ. කිසි ම පොතක් දේශපාලනික පක්ෂපාතීභවකින් තොර වෙන්නෙ නෑ. කලාවට දේශපාලනය එක්ක ගනුදෙනුවක් නෑ කියන අදහසම ගේන්නෙ, දේශපාලනික චෛතසිකයක්.

පහුගිය අවුරුදු 10 ඇතුළෙම මට ඕන වුණේ සාහිත්‍ය ඇතුළට දේශපාලනය ගේන්න. යුද්ධ කිහිපයක් ඉවර වුණ 1936 න් පස්සේ, මම ලියපු හැම වචනයක්ම කෙළින් ම හෝ වක්‍රාකාරයෙන් ඒකාධිපතිවාදයට විරුද්ධයි. මම පෙනී හිටියේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් වෙනුවෙනුයි. ඒත්, මම ජීවත් වුණ යුගය එක්ක බැලුවහම, ඒකාධිපතිවාදයට විරුද්ධ වීම සහ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් බලාපොරොත්තු වීම විහිළුවක් වගෙයි. හැම කෙනෙක්ම හිතුවේ මේ වගේ දේ ලිවීමෙන් වැලකිලා ඉන්න එක නුවණට හුරුයි කියලයි. හැමෝම තමන්ට ආවේණික ‍රැවටිලිකාර ශෛලියෙන් ලිව්වා. තමන් කාගෙ පැත්තද ගන්නේ, ඒ පැත්තට හැරෙන්න කවුද කියන එක, ඒ කාලෙ තිබුණු ලොකු ම ප්‍රශ්නයයි.

මගේ ලිවීම පටන් ගත්තේ අසාධාරණය ගැන දැනුණු හැඟීම් මාත්‍රයකින්. මම ලියන්න වාඩි වුණහම, කලාත්මක යමක් ලියනවා කියලා කිසිම වෙලාවක හිතුවේ නෑ. බොරුවකින් ලෝකෙ වැහීගෙන යනවා කියලා හැඟීමක් තිබුණු නිසයි මම ලියන්න පටන් ගත්තේ. ඒ බොරුව හෙළි කිරීමේ වුවමනාවකින් සහ බොරුව වෙත අවධානයක් ඇති කිරීමේ වුවමනාවෙන් මම මිරිකිලා හිටියා. ප්‍රධානම අරමුණ වුණේ, මේ සියල්ල ඇහෙන්න සැලැස්වීමයි. ලිවීමේ භාෂාව ‍තෝර ගැනීම සම්බන්ධයෙනුත් නොයෙක් ගැටලු තිබුණා. භාෂාවේ යටි අරුත් සහිතව ලිවීමෙන් ඉක්මනින් තේරුම් ගැනීමේ ගැටලුවකට පාඨකයා හෙලන්න සිද්ධ වෙනවා. ඒත්, සෑම කෘතියක්ම ඉල්ලා සිටින භාෂාවක් තියෙනවා. උදාහරණයක් විදිහට 'ඇනිමල් ෆාම්' ලියද්දි, ඒ යට හංගන්න ඕන දේශපාලනික කතාව ගැන මම ඉතා ම සබුද්ධිකවයි හිටියේ.

සාමාන්‍යයෙන් හැම ලේඛකයෙක් වගේ ආත්මාර්ථකාමීයි, අහංකාරයි, කම්මැලියි. මේ හැම කෙනකුගේම ලිවීමේ අභිප්‍රාය පතුළටම බැස්සහම, හොයාගන්න ලැබෙන්නෙ අබිරහසක්. පොතක් ලියනවා කියන්නේ භයංකාර අත්දැකීමක්. අතිශය වෙහෙසකර කටයුත්තක්. හරියට කාලාන්තරයක් මුළුල්ලේ දරුණු ලෙඩකින් විඳවනවා වගෙයි. තමන්ගේ ඇතුළේ මොකෙක් හරි රාක්ෂයෙක් ජීවත් වෙමින් ලියන්න බල නොකළොත් මිසක්, කිසි ම කෙනෙක් පොතක් ලියන්න පෙලඹෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. 1984 ලියද්දි, මෙන්න මේ රාක්ෂයා මගේ ඇතුළේ වැඩ කළා. පොතත් එක්ක මම කළේ දරුණු සටනක්. මගේ සෞඛ්‍ය හොඳටම පිරිහිලයි තිබුණේ. බාන්හිල්වල කුඩා ගෙදරක ඉඳන් මම ලියන්න පටන් ගත්තේ. නිදන කාමර හතරක්, විසාල කුස්සියක්, ගෑස් කුකරයක්, ලියන මේසයක්, ලන්තෑරුමක්, උයන භාජන කීපයක්, බැටරි රේඩියෝවක් තිබුණා. දුම්කොළ ඔතලා හදාගත්ත සිගරට් අප්‍රමාණයක් නොනැවතීම බිව්වා. ගෙදර ඇතුළේ උණුසුම් වුණාට සෞඛ්‍ය අතින් තරමක අහිතකර තැනක මම හිටියේ. ජෝර්ජ් ඕවල් කියන්නෙ මම ලියන්න පාවිච්චි කරපු නම, මගේ ඇත්ත නම එරික් බ්ලෙයාර්. 1984 පොතට මම මුලින් දාපු නම 'The Last Man in Europe'. 1984 නම ඔළුවට ආවෙ ඊට පස්සේ. ඒත් මගේ ප්‍රකාශකයාගේ අදහස වුණේ, 1984 ඉතා ම ආකර්ෂණීය නමක් කියන එකයි. ඒ නිසා ම අපි පොතට, 1984 කියලා පාවිච්චි කරන්න එකඟ වුණා.

දොස්තර කෙනෙක් හම්බ නොවී, මෝඩයෙක් වගේ මම දිගින් දිගටම ලිව්වා. මට ඕන වුණේ පොත ලියලා ඉවර කරන්න විතරයි. එතකොටත් මගේ අසනීපය මරණීය තත්ත්වයකට ළඟා වෙලයි තිබුණෙ. අන්තිමට මට ක්ෂය රෝගෙ හැදිලා කියලා දැන ගත්තා. ඒ වෙද්දි ක්ෂය රෝගෙට බෙහෙතක් හොයාගෙන තිබුණෙ නෑ. නැවුම් වාතය සහ සාමාන්‍ය කෑම ගන්න කියලයි දොස්තරලා නිර්දේශ කළේ. ඒ අතරේ පරීක්ෂණ මට්ටමේ තියෙන මිල අධික බෙහෙත් වගයක් මට ලැබුණා. ඒ බෙහෙත්වලින් ලැබුණ ගුණයට වඩා වැඩියෙන් අතුරු ආබාධ වැඩි වුණා. මගේ උගුර වණ වුණා. කටේ බිබිළි දැම්මා. කොණ්ඩෙ ගියා. හම ගැලවිලා යන්න ගත්තා. පා ඇඟිලි වගේ ම, නිය බිඳිලා යන්න පටන් ගත්තා. ඒත්, මාස තුනකට පස්සේ ක්ෂය රෝගය සුව වුණා. ඒ බෙහෙත්වලින් වුණේ මීයන්ගෙන් බේරෙන්න නැවක් මූදුබත් කරනවා වගේ දෙයක්. ඒත් ඒ උපාය හරි ගිය එක වටිනවා.

හැම තිස්සෙම මට හිතුණේ ක්ෂය රෝගයෙන් පීඩා විඳින අතරේ, මේ පොත නොලිව්වා නම් වැඩිපුරම හොඳයි කියලයි.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

l http://bit.ly/2GeKoE2

l http://bit.ly/2UkEbvf

l http://bit.ly/2IAwz5w

අදහස් 1ක් ඇත

new book reveal .

නව අදහස දක්වන්න