නුවරඑළියේ ලැප්ටොප් එකෙන් අයි.එස්. ජාලයේ තොරතුරු එළියට | දිනමිණ

නුවරඑළියේ ලැප්ටොප් එකෙන් අයි.එස්. ජාලයේ තොරතුරු එළියට

ගයාන් කුමාර වීරසිංහ

සිරියාව කේන්න්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේත් එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධකම් පවත්වන්නන්ගේත් සියලු තොරතුරු නුවරඑළියේ බ්ලැක්ෆුල් හී පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමුවුණු ලැප්ටොප් පරිගණකයකින් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

එකී පරිගණකයේ සටහන් ව ඇති අයි.එස්. ත්‍රස්ත ජාලය සැබෑ අයි.එස්. ජාලය බව රාජ්‍ය බුද්ධි සේවය විසින්ද තහවුරුකර තිබේ. එම පරිගණකය සොයා ගැනීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකට අනුව අයි.එස් ත්‍රස්ත ජාලයට සම්බන්ධ බව කියන තරුණයෙක් බිබිලෙන් අත්අඩංගුවට ගෙන ඇත.කුඩාදරුවන්ගේ භාණ්ඩ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන එම පුද්ගලයා කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහුගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කළ පරීක්ෂාවකදී ඔහු සිරියාවේ අයි.එස්. ත්‍රස්ත ජාලය සමග සම්බන්ධකම් පවත්වන බව සාක්ෂි සහිතවම අනාවරණය කර ගැනීමටද හැකිවී තිබේ. නුවරඑළියෙන් සොයාගත් පරිගණකයේ ඇති අයි.එස්. ජාලයේ නම් සදහන් පුද්ගලයින් අතරද බිබිලේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නම සටහන්ව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

එම ජාලයේ නම් සදහන් පුද්ගලයින්ව හදුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ වන විටත් බුද්ධි අංශ සමග එක්ව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව දියත්කර තිබේ.

හොර රහසේ සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට එක්ව එරට රැදී සිටින අයි.එස්.ප්‍රබලයෙකුගේ මව්පියන්වද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට මේ වන විට ගෙන තිබේ. සිය දරුවා බැලීමට ඔවුන් දෙදෙනා සිරියාවට ගොස් වසර එකහාමාරක කාලයක් එහි රැදී සිට ඇතැයිද හෙළිවී ඇත. සිය පුතා එරට රැදී සිටින්නේ බිරිය සහ දරුවන් සමග බවත් සැපවත් ජීවිතයක් ගතකරන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා තිබේ.

 

නව අදහස දක්වන්න