තරුවක් වූ අධිවේගී ජර්මානු පරෙවියා | දිනමිණ

තරුවක් වූ අධිවේගී ජර්මානු පරෙවියා

බටහිර ජර්මනියේ බොෂ්හෝල්ට් නගරයේ සන්සුන් තත්ත්වයක් පැවති දිනයකි.

මේ අතර නගරයේ මහජන නිවාස පිහිටා ඇති මාර්ගයක ධාවනය කෙරෙන වාහනවල වේගය මැනීම සඳහා සවි කර තිබූ කැමරාවක් එකවර ම ක්‍රියාත්මක විය.

එහෙත් එය වේග සීමාව ඉක්මවා ගිය වාහනයක් නිසා නම් නොවේ. එම මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර තිහක් (30) වුවත්, පැයට කිලෝමීටර 45ක වේගයෙන් පියඹා ගිය පරෙවියෙකු කැමරාවේ සටහන් වී තිබිණි.

කැමරාව ක්‍රියාත්මක වී ඇත්තේ, පරෙවියා එය පසු කරනවාත් සමගය.

ජර්මන් නිලධාරීන් අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලවලට නිකුත් කර තිබෙන අතර, එය ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව බොහෝ දෙනා අතර හුවමාරු වෙමින් පවතී.

ජර්මන් නීතිය අනුව වාහනයක් වේග සීමාව ඉක්මවා ධාවනය කිරීමේ වරදට දඩය යුරෝ විසි පහකි.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ නියමිත ධාවන වේගය ඉක්මවා පැයට තවත් කිලෝමීටර තුනක පමණ අධික වේගයකින් වාහනයක් පැදවීම වරදක් ලෙස නොසලකා කටයුතු කළ හැකි බව ජර්මන් නිලධාරීහු පවසති.

නමුත් පරෙවියා පැයකට නියමිත වේගයට වඩා තවත් කිලෝමීටර දොළහකින් වේග සීමාව ඉක්මවා පියාසර කර ඇති බව කැමරාවේ සටහන් වී තිබේ.

මෙහි සිටින්නේ තරගයකට සහභාගී වන පරෙවියෙකු බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන් ම, කුරුල්ලා සිදු කළ වරදට දඬුවම් පැමිණවීමෙන් සමාජයට යහපතක් වන බව තවත් අයගේ අදහසයි.

"අපිට තියෙන ප්‍රශ්නය නම් කොහොම ද මේ අධිවේගී කුරුල්ලා යුරෝ විසි පහක දඩයක් ඒ වේලාවේ ම ගෙවන්නේ කියන එකයි," බොෂ්හෝල්ට් නගරය වෙනුවෙන් සැකසුණු ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න