අවිශ්ක තරග පාවාදීමේ පෝලිමට | දිනමිණ

අවිශ්ක තරග පාවාදීමේ පෝලිමට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වත්මන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අවිශ්ක ගුණවර්ධනට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (10 දා) පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉකුත් වසරක පමණ කාලය ඇතුළත එම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන නීති සංග්‍රහය උල්ලංඝනය කරන ලද සිවුවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්ව සිටින ගුණවර්ධනට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව පිළිතුරු දීම සදහා මැයි 09 වැනිදා සිට දින 14 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දී තිබේ. කෙසේ වෙතත් ඒ අතරතුර කාල සීමාවේදී ගුණවර්ධනට එරෙහිව තාවකාලික තරග තහනමක් පැනවෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත. එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2017 වසරේදී පවත්වන ලද ටී-10 ක්‍රිකට් තරගාවලියේදී සිදුවී ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව ගුණවර්ධනට එරෙහිව දූෂණ විරෝධී නීති සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝනය වී තිබෙන බව ඒ සම්බන්ධව ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සඳහන් වේ.

දූෂණ මර්දන නීති සංග්‍රහයේ 2.1 වගන්තිය බිඳ දැමීම සඳහා තරගයකට සහභාගිවන කිසියම් අයෙකුට සෘජුවමහෝ වක්‍ර ආකාරයෙන් ආධාර අනුබල දීම, පෙළැඹවීම, උපායමාර්ග කියා දීම, උපදෙස් දීම, ඇවිටිලි කිරීම හෝ ධෛර්යවත් කිරීම 2.1.4 වගන්තියට ඇතුළත් වන අතර, වෙනත් පාර්ශ්වකරුවකු විසින් සිදුකරන ලද දූෂණයක් හෝ අවධානයට ලක් වන ඕනෑම සිදුවීමක් නිවැරදි ලෙස වාර්තා කිරීමට අපොහොසත් වීම 2.4.5 වගන්තියට ඇතුළත් වේ.

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එම චෝදනා ගොනු කර සිටින බව පවසන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, නුවන් සොයිසාට විරුද්ධවද යළිත් චෝදනා ගොනු කර තිබේ. නුවන් සොයිසාට විරුද්ධව මීට පෙරද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රාථමික තහනමක් පනවා තිබූ අතර එල්ල වී ඇති නව චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නැවතත් චෝදනා ගොනුකර සිටීම කැපී පෙනෙයි. අදාළ නිර්දෝෂී භාවය පෙන්වීම සඳහා අවිශ්ක ගුණවර්ධනට මෙන්ම දින 14ක කාල සීමාවක් නුවන් සොයිසාටද හිමි වන අතර එය ලබන 23 වැනිදායින් අවසන් වනු ඇත. මීට පෙර හිටපු ක්‍රීඩකයන් වූ සනත් ජයසූරියට සහ දිල්හාර ලොකුහෙට්ටිගේට ද තරග පාවාදීමේ චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ජයසූරියට වසර 2 ක තහනමක් ද දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව තාවකාලික තහනමක්ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.

චමිල කරවිට

නව අදහස දක්වන්න