මයික්‍රෆෝනය වැඩ නොකළාට පොහොට්ටු මන්ත්‍රීට යකා නැගලා | දිනමිණ

මයික්‍රෆෝනය වැඩ නොකළාට පොහොට්ටු මන්ත්‍රීට යකා නැගලා

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ඊයේ (9)දා පෙරවරුවෙහි පැවති රැස්වීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු වන ඩොමිණික් රණසිංහ මහතා කථා කිරීමට යොදාගන්නා මයික්‍රෆෝනය සභාව ඉදිරියේ පොළොවේ ගැසීම නිසා සභාව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය. මෙය සිදුවූයේ පසුගියදා රට තුළ සිදු වු ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැකීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පිළිබඳ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සිටියදීය.

මේ අවස්ථාවෙහි මුලසුනෙහි සිටියේ සභාපති අචල නිමන්ත වික්‍රමතිලක මහතාය. අසංක ප්‍රදීප් රණසිංහ මහතා විසින් ගෙන ආ යෝජනාවක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුද එහිදී සාමකාමී ලෙස අදහස් දක්වමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් මයික්‍රෆෝනය ගෙන කථා කරන්නට පටන්ගන්නවාත් සමගම ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණු මන්ත්‍රී ඩොමිනික් රණසිංහ මහතා ද සභාවේ සේවකයකුගෙන් මයික්‍ර‍ෆෝනයක් ලබා ගනිමින් කථා කරන්නට උත්සාහ කළ නමුත් එම මයික්‍රෆෝනයද එම අවස්ථාවේදී ක්‍රියාත්මක නොවීය. ඒ පිළිබඳ නොසතුට පළ කළ මන්ත්‍රීවරයා එහිදී සිදු කරනු ලැබුවේ සභාව ඉදිරියේම එය පොළොවේ ගැසීමය. මයික්‍රෆෝනය කුඩු පට්ටම් වී ගියේය.

ඒ සමඟම මුලසුනෙහි සිටි සභාපතිවරයා සභාවේ කටයුතු අත්හිටවනු ලැබීය. සභාව තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එම ක්‍රියා කලාපය සම්බන්ධනේ දැඩි ලෙස විරෝධය පළ කළහ. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එම ක්‍රියාවට විරෝධය දක්වමින් සභාවෙන් පිටව යනු ද දක්නට ලැබිණ.

මෙවන් ක්‍රියාවන් හේතුවෙන් සෙසු මන්ත්‍රීවරුන් වන තමන්ද දැඩි අපහසුතාවට පත්වන බව ඔව්හු එහිදී කියා සිටියහ.


නව අදහස දක්වන්න