වනඅලි ප්‍රහාරයකින් එකම පවුලේ තුනකට බරපතළයි | දිනමිණ

වනඅලි ප්‍රහාරයකින් එකම පවුලේ තුනකට බරපතළයි

වස්ගමුව හා මාදුරුඔය රක්ෂිත අතර පිහිටි අලි මංකඩ ඔස්සේ ගිරාඳුරුකෝට්ට සෙනෙවිගම ගම්මානය වෙත කඩා වැදුණු වන අලි රංචුවක් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එම ගම්මානයේ එකම පවුලේ කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. වන අලි රංචුව ගම්මානයේ නිවාස තුනක්ද පෙරළා දමා එම නිවෙස්වල තිබූ වී මලු රැසක් කා දමා ඇතැයිද ප්‍රදේශයයේ ජනතාව පවසති. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සෙනවිගම ගම්මානයේ එකම පවුලක සාමාජිකයන් තිදෙනෙකි. ගම්වැදුණු අලි රංචුව තම නිවෙසට පහරදෙද්දී බියට පත් නිවැසියන් කැලෑවට පැන දිවයද්දී ඔවුන් පසුපස පැන්නූ අලියෙකු විසින් ඔවුන්ට පහරදී ඇත. නිවාසවල බිත්ති පෙරළා දැමූ අලි රංචුව එම නිවෙස් තුළ ගබඩා කර තිබූ වී මලු කීපයක් කා දමා ඇත. ගම්මානය වෙත කඩා වැදුණු අලි රංචුව පන්නා දැමීම සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ගිරාඳුරුකෝට්ට ප්‍රදේශය බාර අඩවි ආරක්ෂක කේ. ඒ. චන්ද්‍රසිරි මහතා පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

මීගහකිවුල සමූහ එන්. නවරත්න

නව අදහස දක්වන්න