ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරු යන්න අවසර | දිනමිණ

ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරු යන්න අවසර

කුමුදු හෙට්ටිආරච්චි

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු රුපියල් ලක්ෂ තුන්සිය තිස් නවයක් ලබා ගනිමින් එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 සිට 19 දක්වා සිංගප්පූරුවට යෑමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පසුගිය 7 වැනිදා අවසර ලබා දුනි.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යෑමට අවසර ලබාදෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මඟින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය ලැබුණි.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය භාරයේ ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමට ද අදාළ කාලසීමාව තුළ ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට ආගමන හා විගමන පාලකවරයාට දැන්වීමටද අධිකරණ රෙජිස්‍ටාර්වරයාට නියෝග කෙරුණි.

තවද මේ නඩුවෙන් අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාද පසුගියදා (07) ප්‍රතික්ෂේප කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකර විනිසුරු මඬුල්ල නඩුව විභාගයට තීරණය කළේය. ඒ අනුව නඩුව යළි කැඳවීම මේ මස 20 වැනිදාට කල් තැබුණි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය හා ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා පොදු දේපළ විෂයෙහිලා ගැනෙන පනත යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ නඩුවට පෙනී සිටියි.

නව අදහස දක්වන්න