ඇමැතිනී විජයකලා ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන්න | දිනමිණ

ඇමැතිනී විජයකලා ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන්න

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමැතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ (10) නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළා ය. මේ නඩුව ඊයේ (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

මෙහිදී සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා අධිකරණයට දන්වා සිටියේ වර්තමානයේ රටේ මතු වී තිබෙන නීතියේ කඩා වැටීම පිළිබඳව තම සේවාදායකයාව සිය කතාව ඔස්සේ අදහස් පළ කර කිරීමට උත්සාහ කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ තුළින් නීතිය උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් ඇය නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළේ මේ සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමු කරන බවයි. ඒ අනුව පැමිණිල්ල ජුලි මස 26 වැනිදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න