තමන් වෙත එල්ල කරන චෝදනාවන්ට ඇමැති රිෂාඩ් පිළිතුරු දෙයි | දිනමිණ

තමන් වෙත එල්ල කරන චෝදනාවන්ට ඇමැති රිෂාඩ් පිළිතුරු දෙයි

තමන් රාජකාරි කටයුත්තක් සඳහා විදේශගතව සිටියදී රටින් පලා යෑමක් බවටත්, වෙනත් චෝදනා රාශියක් තමන් වෙත එල්ල කිරීමත් සම්බන්ධව සත්‍ය තත්ත්වය පෙන්වා දීමක් සම්බන්ධව කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබා දී ඇත. එම ප්‍රකාශය මෙසේය.

මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා කළේ මම රටින් පැන ගිය බවයි. කිසිදු කරුණක් හරියාකාරව සොයා නොබලා, තොරතුරු සනාථ කරගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ. ඇමැතිවරුන් කණ්ඩායමක් සමඟ අපි ඕමානයේ දී සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට කෙරෙන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි. මම ආපසු පැමිණීමෙන් පසු චෝදනාව කරපු අය ඒ ගැන කතා කිරීම දැන් නවතා දමා තිබෙනවා.

ඊට අමතරව තවත් චෝදනා ගණනාවක් මා වෙත එල්ල කෙරිණි. කෙතරම් දරුණු ලෙස මේ චෝදනා කළා ද කිවහොත්, මාව ත්‍රස්තවාදී ගොඩට තල්ලු කරන්න තරම් උත්සාහ ගන්නේ ඇයි කියලා සමහර ජනමාධ්‍යවලින් පෙරළා ප්‍රශ්න කරන්න මට සිදුවෙලා.

මට මේ නඟන චෝදනාත් රටින් පැන ගියා කියා කළ ‍චෝදනාවට සමානය. පදනමක් නැත. සනාථ කිරීමට කරුණු නැත.

මගේ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමඟ අත්අඩංගුවට අරන් නිදහස් කළ බවට ඔවුන් චෝදනා නඟනවා. මේ සිද්ධියට සම්බන්ධ වූයේ මගේ ලේකම්වරයෙක් නොවේ. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ කෙනෙක්. ඔහු අත්අඩංගුවට පත්වුණු බව සත්‍යයක්. නමුත් දින කීපයකට ‍පසුව අධිකරණයේදී සියලු කරුණු හෙළිදරව්වීමෙන් පසු අධිකරණය මඟින් ඔහු නිදහස් කෙරුණා.

මගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන නිදහස් කළා යැයි පැවසීමත් සම්පූර්ණ බොරුවක්. ආරක්ෂක හමුදා සහ පොලිසිය එක්ව පසුගිය දිනෙක මන්නාරම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කළා. ඒ අවස්ථාවේ මගේ සහෝදරයා නැවතී සිටියේ සෝදිසි මෙහෙයුම කරන ප්‍රදේශය තුළ වූ සංචාරක බංගලාවක ය. ඒ බංගලාවත් සෝදිසි කළ අතර, මල්ලිගෙනුත් තොරතුරු විමසා තිබෙනවා. එතැන නවතා තිබුණු වාහනත් පරීක්ෂා කළා. සිදුවුණේ එපමණයි. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මන්නාරම පොලිසියෙන් විමසා සත්‍යය සොයාගත හැකියි.

මට එල්ල කළ ඊළඟ චෝදනාව වන්නේ මගේ සහෝදරියකගේ නිවෙසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දුන් බවයි. මගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියා දැනට වසර පහක පමණ කාලයක සිට වාසය කරන්නේ කැනඩාවේ. ඇය විවාහ වූ තැනැත්තාගේ මහගෙදර එහි භාරකරුවා කුලියට දී තිබුණා. පසුගිය පෙබරවාරියේ කුලියට සිටි අය ඉවත්ව ගිය පසු වෙබ් අඩවියක දැන්වීමක් දමා ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී තිබෙනවා. මා එවැන්නක් දැන සිටියේවත් නෑ. එය මට අයත් පුද්ගලික කාර්යයක් ද නොවේ. එවන් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණ ද කියා සිතා බැලීම ඔබට බාරයි.

බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් සමඟ මගේ සහෝදරයා ව්‍යාපාර කළ බවට කරන චෝදනාවත් සම්පූර්ණ අසත්‍යයක්. ඊබ්‍රහිම් සහ ඔහු ප්‍රධානත්වය දැරූ කොළඹ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සමඟ අවස්ථා කීපයකදී මා සහ අමාත්‍ය නිලධාරීනුත් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. නමුත් මගේ සහෝදරයා සහ ඒ ව්‍යාපාර අතර සම්බන්ධයක් නෑ.

යම් යම් අමුද්‍රව්‍ය මම ත්‍රස්තවාදීන්ට ලබා දුන් බවට ද බරපතළ චෝදනාවක් නඟා තිබෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මඟින් කර්මාන්තශාලා වෙත අමුද්‍රව්‍ය සැපයීමෙන්, තාක්ෂණය හා අලෙවිය සඳහා උදව් ලබාදීමෙන් සහය වීම සිදු කෙරෙනවා. 2005 වසරේ සිට අනුගමනය කරන ක්‍රමය වෙන්නේ අමුද්‍රව්‍ය අවශ්‍ය කර්මාන්තශාලා පුවත්පත් දැන්වීමක් මඟින් ලියාපදිංචි කිරීමයි. ලියාපදිංචි වූ කර්මාන්තශාලා වෙත අවශ්‍යතාව අනුව අමුද්‍රව්‍ය සපයනු ලබනවා. මේ වසරේ එසේ ලියාපදිංචි වුණු කර්මාන්ත ශාලා 300 ක් තිබෙනවා. ඒ කර්මාන්ත ශාලාවන්ට නීත්‍යානුකූල ලෙස අමුද්‍රව්‍ය ලබා දී ති‍බේ.

වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවට වැඩි සැලකිල්ලක් දක්වන ලෙස යම් යම් පුද්ගලයන්ගෙන් ඉල්ලීම් තිබුණත්, අපේ අමාත්‍යාංශය කිසි විටෙක නීතියට පිටින් කටයුතු කර නෑ.

මේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමා පත්කළ ස්වාධීන කමිටුවක් මඟින් විශේෂ වාර්තාවක් ද අපි ලබා ගත්තා. ඒ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් බාර දී තිබෙනවා. වරදක් වී ඇත්නම් ඒ වාර්තාව අනුව පියවර ගැනීමට හැකියාව තිබෙනවා.

විල්පත්තුවේ කැලෑබද ප්‍රදේශයකින් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනීම ගැන චෝදනා නඟන අය එය මා නියෝජනය කරන ප්‍රදේශයට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. වනාතවිල්ලුව මා නියෝජනය කරන මන්නාරම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් නොවේ. මේ සියල්ලෙන් උත්සාහ කරන්නේ මා හට අසත්‍ය චෝදනා එල්ල කිරීමටයි.

බෝම්බකරුවෙකුගේ බිරිඳගේ තාත්තා අපේ පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකයෙක්. එය මට චෝදනා නැඟිය හැකි අන්දමේ වරදක් ද? බෝම්බකරුගේ පියා වන ඊබ්‍රහිම්, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක්. එසේ වූ පමණින් ජනතා විමුක්ති පෙරමුණට ත්‍රස්තවාදී චෝදනා නැඟීම සාධාරණ ද?

තමන්ට අවුරුදු පහක් තිස්සේ කෑම බීම හදා දුන් පුද්ගලයා තමන් මරා දැමීමට සම්බන්ධ වූ හැටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළේ සුචරිතයේ නිතර ගැවසුණු බාබු ය. ඒ කරුණු පදනම් කර ගනිමින් ප්‍රේමදාස මහතා හෝ ෆොන්සේකා මහතා ත්‍රස්තවාදීන් කියා තර්ක කළ හැකි ද?

මේ අතර මගේ ව්‍යාපාර සහ ආදායම් ගැනත් එක් එක් චෝදනා නඟා තිබෙනවා. එස්. බී. දිසානායක මහතා පුවත්පත් සාකච්ඡා පවත්වමින් අසත්‍ය තොරතුරු ගණනාවක් ප්‍රකාශ කරනවා. දින පනස් දෙකේ කුමන්ත්‍රණයේදී මම එතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමේ පලිය ගැනීමට මේ ආකාරයට චෝදනා නැඟීම පහත් දේශපාලනයක්.

මම එක් දෙයක් අවධාරණය කරන්න කැමැතියි. දේශපාලනයට පිවිසි දවසේ සිට මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම ඉදිරිපත් කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බැලීමට හැකිය. ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට බියක් ‍මා තුළ නැත්තේ කිසිදු අයථා ක්‍රමයකින් මම මුදල් උපයා නැති බැවින්.

එලෙසම මට විරුද්ධව බොරු චෝදනා නඟන පුද්ගලයන් හා මාධ්‍ය ආයතන පිළිබඳ නීතියට අනුව කටයුතු කිරීමට මම දැනටමත් පියවර අරන්. ඒ අවස්ථාවලදී ඔවුන් කියූ දේ සත්‍යය බව නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඔවුන්ට සිදුවනු ඇති. මගේ නිවැරදි බව මම ඔප්පු කරනවා.

මේ චෝදනා කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ සැබෑ ත්‍රස්තවාදියා හා සැබෑ අන්තවාදියා ආරක්ෂා කිරීමයි. සැබෑ ත්‍රස්තවාදියා වෙත අවධානය යොමු වෙන්නට ඉඩ නොදී මා වෙත ඇඟිල්ල දිගු කිරීමයි.

අපි දැඩි ඉස්ලාම් භක්තිකයන් වෙමු. අල්ලා දෙවියන් වහන්සේ ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැත. අන්තවාදය අනුමත කරන්නේ ද නැත.

මම කිසිම ත්‍රස්තවාදයකට සම්බන්ධ නෑ. මම ත්‍රස්තවාදයට අනුබල ‍දීලත් නෑ. මම ත්‍රස්තවාදයට විරුද්ධයි. මම ත්‍රස්තවාදයෙන් බැට කෑ පුද්ගලයෙක්. මම කිසිම අන්තවාදයකට සම්බන්ධ නෑ. මම අන්තවාදයට අනුබල දෙන්නෙත් නෑ. මම අන්තවාදයට විරුද්ධයි.

මේ ත්‍රස්තවාදය නිසා, අන්තවාදය නිසා විනාශ වූ ජීවිත ගැන මම දැඩි ලෙස කම්පා වෙනවා. ඒ සියලුදෙනා වෙත මගේ ශෝකය මෙහිදී පළකර සිටිනවා. තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ අසීරු අවස්ථාවේ සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ඇප කැපවුණු සියලු දෙනාට හිසනමා ස්තූතිය පුදන්න කැමැතිය.විශේෂයෙන්ම අපේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ගෞරවය පළකරනු කැමැත්තෙමි. ඒ ලෙසින්ම මහානායක ස්වාමීන් වහන්සේලාට, හින්දු පූජකතුමන්ලාට, මවුලවිතුමන්ලාට කෘතවේදීත්වය පළකරනවා.

සාමය ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කළ පොලිසිය, ත්‍රිවිධ හමුදා, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ග්‍රාමීය නායකයින්ට ස්තූතිය පළකිරීමට කැමැත්තෙමි.

මේ අපේ රටයි. එක මවකගේ දරුවන් ලෙස අප ජීවත්වෙන රටයි. මේ රට ආරක්ෂා කිරීම, දියුණු කිරීම හෝ ගොඩනැංවීම අපි සියල්ලගේම වගකීම හා යුතුකමයි. අපි ඒ වෙනුවෙන් විචාරශීලීව කැපවිය යුතු වෙනවා යැයි අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

නව අදහස දක්වන්න