ප්‍රහාර වලින් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ප්‍රදානය කෙරේ | දිනමිණ

ප්‍රහාර වලින් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ප්‍රදානය කෙරේ

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ හා අනෙකුත් ස්ථාන වල සිදුවූ ප්‍රහාර වලින් මිය ගිය 30 දෙනකු වෙනුවෙන් සහ තුවාල ලැබූ 04 දෙනකුට වන්දි ප්‍රදානය කිරීම පෙරේදා(11) කොළඹ 03, සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙම වන්දි ප්‍රදානය සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය රවි කරුණානායක හා නිපුර්ණය සඳහා වූ කාර්යාලයේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාල යන මහත්වරුන්ගේ ප්‍රධා නත්වයෙන් සිදු කෙරිණි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරයෙන් මිය ගිය 17 දෙනකු, ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයෙන් මියගිය 04 දෙනකු, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරයෙන් මිය ගිය 03 දෙනකු, කිංස්බරි හෝටලයේ ප්‍රහාරයෙන් මිය ගිය 01 අයකු, දෙහිවල ටොපිකල් ඉන් හෝටලයේ ප්‍රහාරයෙන් මිය ගිය 02 දෙනකු හා කටුවාපිටිය දේවස්ථානයේ මියගිය 03 දෙනකු සඳහා වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

වන්දි ප්‍රදානය කිරීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානිපුර්ණය සඳහා වූ කාර්යාලය විසින් සිදු කරනු ලැබේ.

මියගිය අයෙකුට රුපියල් මිලියනයක මුදලක්, තුවාල ලැබූවන්ට අදාළ වෛද්‍ය වාර්තාවේ දුබලතාව පදනම් කරගෙන උපරිම රුපියල් ලක්ෂ 05 ක මුදලක් හා දේපල හානි සඳහා උපරිම රුපියල් මිලියන 05 ක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත. මේ වන විට අදාළ සිද්ධීන් වලින් මියගිය 126 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 63 ක මුදලක් ද, තුවාල ලැබූ 47 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ක මුදලක් ද හානිපුර්ණය සදහා වන කාර්යාලය විසින් ගෙවා ඇත. අදාළ ප්‍රහාරවලින් මෙතෙක් වන්දි නොලැබූ පිරිස් සඳහා කඩිනමින් වන්දි ලබා දීමට හානිපුර්ණය සඳහා වන කාර්යාලය අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත.

මෙම වන්දි ලබා දීමේ වැඩසටහන පිළිබඳ අවශ්‍ය තොරතුරු හානිපුර්ණය සඳහා වන කාර්යාලයේ පහත සදහන් දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැක. (දුරකතන අංක 011 – 2575826, 011 – 2575831, 011-2575813)

මෙම අවස්ථාවට ඇලෙක්සීස් බෙනඩික් පියතුමා, සෙත් සරණ අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක එස්. ජලදීපන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න