මානව හිමිකම් නිසා ආරක්ෂාව නැති වුණා කීම බොරුවක් | දිනමිණ

මානව හිමිකම් නිසා ආරක්ෂාව නැති වුණා කීම බොරුවක්

වෛද්‍ය වින්‍යා ආරියරත්න සභාපති, සර්වෝදය

අප්‍රේල් 21 සිදුවීමත් සමඟ මෙරට ජනවාර්ගික සබඳතා, ආගමික සබඳතා, ජාතික ආරක්ෂාව ආදිය පිළබඳ අලුත් කතිකාවක් ආරම්භ වී තිබේ. එවැනි තත්ත්වයන් තුළ ජනතාවගේ ආගමික නායකයන්ගේ සහ දේශපාලනයේ වගකීම කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කරමින් සර්වෝදය සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා එහා ඉවුරට එක්වේ.

* පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ඔබ දකින්නේ කොහොමද?

ඒක ඉතාම පැහැදිලිව ත්‍රස්තවාදී ප්‍රහාරයක්. ඒ අයගේ අරමුණ ඉටුකර ගැනීමට කොච්චර දුරකට රට තුළින්ම ඒ සඳහා උත්තේජනය පැමිණියේද, එසේත් නැතිනම් රටට බාහිරින් ඒ සඳහා බලපෑම ලැබුණාද යන්න පිළිබඳ ආරක්ෂක අංශ විසින් පැහැදිලි කරගනීවි. මෙය සිදුවූයේ යම් සාධක රාශියක ප්‍රතිඵලයක් හැටියටයි. ජාතික ආරක්ෂාව පිළිබඳ අප තුළ පැවැති අවධානය විවිධ හේතු නිසා දුර්වලවීම සමහර දේශපාලන සාධක ගැඹුරටම ගොස් ඇති දේශපාලනික ආයතනික ක්‍රමයේ දුර්වලතා බෙදුණු දේශපාලනයක් තුළ යම් යම් ජනවාර්ගික පදනම් මත යැපෙන පක්ෂ දේශපාලනය මෙන්ම ආර්ථික සාධක නිසා අන්තවාදී බලවේගවලට ක්‍රියාත්මක වීමේ දී ලැබෙන වාසිය එහි දී ප්‍රධානයි. අපේ රට ‘ශ්‍රී ලාංකේය ජාතියක්’ හැටියට ගොඩනැඟීමට පැවැති බාධාවත් ඊට බලපානවා. යම් විදිහකට අප ‘ලාංකේය ජාතියක්’ ලෙස ගොඩනැඟී තිබුණේ නම් ප්‍රජාව තුළින්ම මේ විදිහේ අන්තවාදී කොටස් හඳුනාගැනීමේ හැකියාව තිබුණා. ඒ වගේම ඔවුන් ප්‍රජාව තුළින්ම නිෂේධනීය වී යාමේ හැකියාව පැවැති බවයි මගේ පුද්ගලික හැඟීම.

* මෙම සිදුවීමෙන් පසුව රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධානවල මැදිහත්වීමේ භූමිකාව ඔබ දකින්නේ මොන විදිහටද?

හදිසි ආපදාවන් කෙරෙහි අවධානය යොමු කළ විට ඒවා ස්වාභාවික දේවල් විය හැකියි. මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදාවන්ද විය හැකියි. මේක මිනිසා විසින්ම නිර්මාණය කළ ආපදා තත්ත්වයක්. ප්‍රහාරය නිසා විශාල සංඛ්‍යාවකට ජීවිත හානි වුණා. විශාල පිරිසකට තුවාල සිදුවුණා. විශාල වශයෙන් ජන ජීවිතය ඇනහිටියා. ඒ මොහොතේ සිටම ඉතා වගකීමෙන් හා කැපවීමෙන් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ බව කිව හැකියි. රජයේ පාර්ශවයෙන් ගත් කළ දේශපාලන අධිකාරිය, නායකත්වයේ භූමිකාව නිසි ලෙස ක්‍රියාත්මක වූ බවක් පෙනුණෙ නෑ. වෙනත් රටක නම් ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර අමතක කරලා ඔක්කොම එකතු වෙනවා.

 එක හඬින් කළ යුතු දේ තීරණය කරනවා. ඒත් ලංකාවෙදි වුණේ අතපසුවීම් ගැන කවුද වගකිව යුත්තේ කියන කාරණය ගැන එකිනෙකා චෝදනා කරගැනීමක් විතරයි. දේශපාලන නායකත්වයන් පොදුවේ ක්ෂණිකව තිබුණු අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට මැදිහත්වුණේ නෑ. අනෙක් පසින් ආගමික නායකත්වය කෙරෙහි අවධානය යොමු කළ විට කතෝලික පල්ලිය හා කාදිනල්තුමා දුන්නු නායකත්වය අපි අගය කළ යුතුයි. විශාල කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකට ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ තත්ත්වයක් තුළ පවා ඔවුන් යම් ආධ්‍යාත්මික හික්මීමක් තුළ පවත්වාගනිමින් හිංසන රැල්ලක් දක්වා වර්ධනය වෙමින් පැවැති ප්‍රවණතාව වැළැක් වූ බව කිව හැකියි. ඒ වගේම ඒ අයුරින්ම කැපවීමක් අන්‍ය ආගමික නායකයින් ප්‍රබල හඬක් නැඟුවෙ නෑ. සාමාන්‍ය මහජනයා කොපමණ වේදනාකාරී, ප්‍රකෝපකාරී අවස්ථාවක් වුණත් යම් සංහිඳියා හැඟීමකින් ක්‍රියා කළ බව කියන්නට පුළුවන්.

* සර්වෝදය මෙවන් හදිසි ආපදාවන්ට කාලයක් තිස්සේ මැදිහත් වෙනවා. මෙවර අත්දැකීම මොන වගේද ?

ඔව්. ඉතිහාසය පුරාවටම මෙවැනි අවස්ථාවල දී අපි මැදිහත්වීම් කරලා තියෙනවා. ඉස්සරලාම කරන්නේ ක්ෂණිකව ඒ විපතට පත්වූ අයට, පවුල්වලට උපකාර කිරීම. මෙහිදීත් පැය 4ක් ඇතුළත සහන සේවා කටයුතු ආරම්භ කළා. මඩකළපුව රෝහලට ක්ෂණිකව තුවාලකරුවන් රැගෙන යද් දී අපේ ස්වේච්ඡා සේවක සේවිකාවන් රෝහලට ගොස් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සහාය ලබාදුන්නා. ක්ෂණිකව අවශ්‍යව තිබුණු යටිතල පහසුකම් සපයන්න අපට සිදුවුණා.

පවුල්වලට නිසි පණිවිඩ ලබාදීම, වගකිව යුතු අයට තොරතුරු ලබා දී සම්බන්ධීකරණය කිරීම, ප්‍රවාහන පහසුකම් සැලසීම, 60ට අධික තුවාලකරුවන්ට උපකාර කිරීම් කළා. ඒ වගේම සඳුදා දින සර්වෝදයේ අදාළ දිස්ත්‍රීක් සහන සේවා කණ්ඩායම් හැකි උපරිමයෙන් පීඩාවට පත්වූවන්ගේ ගෙවල්වලට ගොස් සොයා බලා උපදේශන කටයුතුත් ආරම්භ කළා. අපගෙන් කරනු ලැබූ විශේෂ ඉල්ලීම්වලටත් ප්‍රතිචාර දැක්වූවා. විශේෂයෙන් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ මෘත දේහ හඳුනාගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඥාතීන් ඇවිත් හිටියා.

ඒ එන අයට පහසුකම් සැලසුවා. පවත්නා ඇඳිරි නීති තත්ත්වය යටතේ කඩවල් වසා තිබුණ නිසා ඒ අයට වතුර ටිකක් වත් නෑ. ඒ නිසා ඒ අයට මූලික පහසුකම් දෙන්න හැකිද කියලා අපට ඉල්ලීමක් ආවා. අපි ඒ සියලූ ඉල්ලීම් ඉටු කළා. ඒ අතරේ විශේෂ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරලා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ලෙස මැදිහත් වී තත්ත්වය සමනය කරන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කළා. විශේෂයෙන්ම කතෝලික, මුස්ලිම්, බෞද්ධ ප්‍රජාවේ ආගමික නායකයින් රැස්කරලා ඔවුන්ගෙන් උපදෙස් අරගෙන ක්‍රියාත්මක වුණා.

දවස් 4ට පසුව සර්වෝදය මොරටුව මූලස්ථානයට ව්‍යාපාරික ප්‍රජාව, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රීක්කවල අප සමඟ කටයුතු කළ ආගමික නායකයින්, මවුලවිතුමන්ලා විද්වතුන් එකතු කළා. පැය 3ක පමණ සාක්ච්ඡාවක් කරලා ක්ෂණිකව ගත යුතු පියවර ගත්තා. දීර්ඝ කාලීනව කළ යුතු දේවල් ක්‍රියාකාරකම් 10ට වැඩි සංඛයාවක් අඳුනාගෙන ක්‍රියාත්මක වුණා. ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු සහන සේවා කටයුතු කරගෙන යන අතරේ වෛරීය භාෂණය සීමා කිරීම, එකිනෙකාට චෝදනා කර පටු වාසි අත්පත් කරගැනීම් අවම කරලීමට මැදිහත්වීම, එකිනෙකා වගකිව යුත්තන් හැටියට නම් කිරීම වෙනුවට කළ හැකි දේවල් ක්‍රියාත්මක කිරීම, විශේෂයෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ වගකීම පිළිබඳ දැනුම්වත් කිරීම් කළා.

තවත් හිංසනයන් නගරවල ඇතිවීම වැළැක්වීම ට කළ හැකි කාර්ය භාරය පිළිබඳ අවබෝධයක් අපගේ කාර්ය මණ්ඩලයන්ට ලබා දී වහාම ඊට මැදිහත්වුණා. ආරක්ෂක අංශවලට සහය දුන්නා. මිශ්‍ර ආගමික ප්‍රජාවක් ජීවත්වන ප්‍රදේශවල සර්ව ආගමික ප්‍රවේශයකින් ගිහින් ආතතීන් සමනය කර ගැනීමට, ගැටුම් වළක්වා ගැනීමට ක්‍රියා කළා. ඒ කටයුතු මේවන විටත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

* මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංහිඳියාවට මැදිහත් වූ අයත් මෙවන් ප්‍රහාරයකට වගකිව යුතු යයි ඇතැමුන් ප්‍රසිද්ධියේ කියනවා. ඒ ගැන ඔබේ ස්ථාවරය?

මං ඒක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. කුමන තත්ත්වයක් යටතේ හෝ මානව හිමිකම් රැකෙන්න ඕන. යුද්ධයක් පවතින අවස්ථාවක පවා ක්‍රියාත්මකවීමේ මානුෂික නීති තියෙනවා. එහෙව් අවස්ථාවන්හි නිදහස සීමාවෙන්න පුළුවන්. ආරක්ෂක අංශවලට පවා බරපතළ ලෙස චේතනාන්විතව අපරාධවලට මැදිහත් වෙන්න බෑ. ඒ සඳහා ආරක්ෂක අංශවලට වෙනම බලපත්‍රයක් නෑ. මහජනතාවටත් නීතිය අතට ගන්න බෑ. ඒ අනුව කෙතරම් අවදානම්කාරී අවස්ථාවල වුණත් ක්‍රියාත්මක වන නීති රීති තියෙනවා. ජාත්‍යන්තර බැඳීම් තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක විය යුතුමයි.

සාමාන්‍යයෙන් සමාජයක දිගු කාලීන යුද්ධයක් පවතිද් දී ගිළිහිලා ගිය යම් අයිතිවාසිකම් රැකදීමට යම් යම් විධිවිධාන ක්‍රියාත්මක විය යුතුයි. ඒවායින් කිසිම ආකාරයකින් ජාතික ආරක්ෂාව දුර්වල වන බවක් කියන්න බෑ. තොරතුරු අනාවරණය වූ හැටියට සියලූම තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබුණා. දුර්වල වුණා නම් එහෙම වෙන්න බෑ. ලැබිච්චි දේවල් අනුව ක්‍රියාත්මක නොවීම තමා මෙතන තියෙන ගැටලූව. මානව හිමිකම් ආදී සියලූ දේ රකින්න රාජ්‍යයත්, ආරක්ෂක අංශත්, අපි හැමෝමත් බැඳිලා ඉන්නවා.

* ඔබ කියන්නේ මානව හිම්කම් සුරක්ෂිතතාව හා ජාතික ආරක්ෂාව කියන්නේ කිසිසේත්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙයක් නොවන බව ද?

හිටපු විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් උභය මැදවල මහතා කියන්නේ ‘ඒක කලාවක් හා විද්‍යාවක්’ කියලයි. තවදුරටත් කියනවා නම් මිනිස් අභිලාසයන් තනි තනිව පුද්ගලික හා සාමූහික වශයෙන් මිනිසුන්ගේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ජාතික අරමුණෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. යුද්ධය හා සාමය පවතිද් දී ක්‍රියාත්මක වන ජාතික බලය එනම්, දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික, මිලිටරි හා තොරතුරු, එකතු වූ මනෝ විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක වන විද්‍යාවක් හා කලාවක් බව අප වටහා ගත යුතුයි.

එයට සමාජ ආර්ථික සංස්කෘතිකමය මෙන්ම මානුෂිකවාදී පරිසරය බලයක් ලෙස ඇතුළත් වෙනවා. ඒ අනුව ජාතික ආරක්ෂාව මිලිටරි දෘෂ්ටිකෝණයකින් හෝ ආරක්ෂණ දෘෂ්ටිකෝණයකින් පමණක් බැලිය නොහැකි බව මැදවල මහතා පෙන්වා දෙනවා. මහජන ආරක්ෂාව තහවුරු කළ යුතු නම් මේ හැම කාරණයක් දිහාම ගැඹුරින් බැලිය යුතුයි. එමගින් මිනිසුන්ගේ තෘප්තිමත්භාවය ඇති වන නිසා එයින් ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. මානව හිමිකම් කියන්නේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහ මිනිසුන්ගේ මූලික මානුෂික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ‘උත්පත්තියෙන්ම ලැබෙන අයිතිය.

ඒවා දැඩිව මර්දනය කිරීමෙන් පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කළ හැකියි. ඒත් මානසික වශයෙන් ජනයා මර්දනය කිරීමෙන් ජාතික ඒකාග්‍ර‍්‍තාවක් ඇතිවෙන්නේ නෑ. විවිධ ආගම් අදහන ජාතීන් සිටින මෙවන් රටක බෙදීම්, ජාතික අනන්‍යතාවක් හා ජාතික ඒකාබද්ධතාවක් තුළ ගොනු කිරීම ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත්. මානව හිමිකම් උල්ලංඝනය නොවන විදිහට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරපු ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෝකයේ ඕනෑ තරම් සිටිනවා.

* මෙවැනි ප්‍රශ්නයක් යළි ඇති නොවීමට අප කුමක් කළ යුතුද?

හැම කෙනාටම වගකීමක් තියෙනවා. මේකෙ පැතිකඩ ගොඩාක් තියෙනවා. ආගම්වල තියෙන මූලික ඉගැන්වීම්, ඒවායෙ හරයන්, බෙදීම්වලට හෝ හිංසනයට නෙවෙයි. කවදාවත් කිසිම ආගමකින් තව කෙනකුට හිංසනයක් ඇති කරන්න කියලා දෙන්නෙ නෑ. මේවාට වැඩිපුර ඒ ඒ ආගම් ප්‍රජාවන්ට අයත් නායකයින්, පූජකයන් මූලික දහම අනුව සිතිය යුතුයි. වචන පාවිච්චි කළ යුතුයි.

වෛරය හෝ ක්‍රෝධය වැපිරෙන ආකාරයට නෙවෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පීය බැලිය යුත්තේ පුළුල්වයි. මානව සුරක්ෂිතතාව කියන එක එහි දී ප්‍රධානයි. දරිද්‍රතාවයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මූලික මිනිස් අවශ්‍යතා සපිරෙන්නෙ නැතිනම් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. දරුවට ඉස්කෝලයක් නැතිනම්, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිය නොහැකි නම් ඒකත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒකට අපට පොදු වගකීමක් තියෙන්න ඕන. තම තමන්ගේ ප්‍රදේශවල මූලික ආගමික සහජීවනය පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ ආර්ථික සමාජීය කාරණාවන් ආමන්ත්‍රණය කරමින්. ඒ වගේම අප බැලිය යුත්තේ මෙයින් ඉගෙන ගත යුතු පාඩම් පිළිබඳවයි.

අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට, මනුෂ්‍ය ජාතියක් හැටියට එකතු වෙන්නට නම් සෑම ආගමකම තියෙන මූලික හරයන් ගැන නිසි ලෙස ගැඹුරින් දැනගැනීමට ඉඩ ලැබිය යුතුයි. අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා වගේම අන්තවාදී අදහස් නිසා වෙනදා අප තුළ පැවැති සංස්කෘතික වටිනාකම් අනන්‍යතාවන් බිඳී ගොස් ඇත්නම් ඒ ඒ ප්‍රජාව තුළ, ඒ ඒ ආගම් තුළ යම් සංවාදයක්, කතිකාවක් ඇතිකරගත යුතුයි. වෙනත් පිටස්තර අයවලුන් ගොස් තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පැටවීම සිදු නොවිය යුතුයි. ඒක මූලිකව පැමිණිය යුත්තේ ඒ අයගෙන්මයි. අනිත් ආගම්වල අයට අදහස් ප්‍රකාශ කිරීම් කළ හැකියි. චකිතයක් ඇත්නම් ඒ කරුණුවලට ආමන්ත්‍රණය කළ යුතුයි.

ඒවා දැවැන්ත ගැඹුරු කරුණු නොවෙන්න පුළුවන්. ඒත් යම් විදිහකට ඒවා නිසා ජාතීන් අතර බෙදීම් ඇතිවෙනවනම්, යම් ජනවර්ගයක් පීඩාවට පත්වෙනව නම් ඒ කරුණු අපි විසින් ආමන්ත්‍රණය කළ යුතුමයි. අවසාන වශයෙන් මෙතන දී පුද්ගලයින් හැටියටත් අප අතරේ අපගේ විඥානය අප විසින් ගොඩනඟා ගන්නා අතරේම සමාජ සාධාරණත්වයක් ඇති විය යුතුයි. ආදායම් බෙදීයාමේ විෂමතාව යම් ආකාරයකට කළමනාකරණය කොට ආර්ථික සාධාරණත්වයක් ඇති විය යුතුයි. නීතිය හා සාමය ශක්තිමත් විය යුතුයි. මේ හැම ක්ෂේත්‍රයකින්ම ඉදිරියට යා හැකි නම් අපට දිගු කාලීනව මෙම ගැටලු මගහරවා ගත හැකියි.

* යම් යම් සහන ලබාදීම්, වන්දි ලබාදීම්වලින් ඔබ්බෙහි මෙවැනි විපතක් දිගු කාලීනව ආමන්ත්‍රණය කළ යුත්තේ කොහොමද?

මෙය ඉතාමත් වැදගත් හා බරපතළ කාරණයක්. ප්‍රහාරය නිසා මවුපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දරුවන් විතරක් නෙවෙයි, එය අත්දැකීමක් විදිහට අසන දකින බොහෝ දරුවන්ට මේක කම්පනයක්. ඒ කම්පනය සමනය කරන්නට වෛද්‍ය විද්‍යාත්මකව පශ්චාත් ක්ෂිතමය ක්ලමථ අක්‍රමතාව තත්ත්වයන් ඇති වෙනවා. මේ පිළිබඳ විශේෂඥයින් ලංකාවෙ ඉන්නවා. මහාචාර්ය අතුල සුමතිපාල කියා ඇති දේවල් හරිම වැදගත්. ඒ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යකරණය ගැනයි.

සිද්ධියෙන් පසුව පාසල් වැහුණාම ප්‍රහාරයේ සෘජු බලපෑමට ලක්වූ ළමයින්ට විතරක් නෙවෙයි, හැමෝටම බලපානවා. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ උදයේ පාසල් යවන ඒ වෙලාවට නැගිටවලා ඒ විදිහටම පාඩම් කටයුතු කරවන්න කියලයි. 71 කලබල කාලයේ ඉස්කෝලෙ වැහෙද් දී මං හතරේ පහේ පොඩි එකෙක්. ඒ කාලෙ ගෙදරට රෝනියෝ කරලා පාඩම් ටික තැපෑලේ එව්වා.

අම්මටයි තාත්තටයි උපදෙසුත් ඒකෙ තිබුණා. ඒ සාමාන්‍ය ජීවිතයේ පුරුදු පවත්වාගෙන යන්නයි. එහෙම නොවුණොත් ඒ වයසට ඒ අය තේරුම් ගන්නා දේවල් එක්ක තව අසල්වැසි පිරිසක්, ජනවර්ගයක් සමඟ ජන්මාන්තර වෛරයක් ඇති කරගන්නවා. ඒක අනිත් පැත්තටත් එහෙමම වෙන්න පුළුවන්. මුස්ලිම් සියලූදෙනාම මේකට වගකිව යුතුයි කියලා පුංචි අයට හිතුණොත් ඒ අයටත් ඒක බලපානවා. මිශ්‍ර පාසල් ගොඩක් තියෙන විත්තිය අපි අමතක කළ යුතු නෑ. ඉතාමත් බුද්ධිමත්ව මේ තත්ත්වයට මුහුණ දෙන්න වෛද්‍ය විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ කරුණුත් එක්ක දිගු කාලීන ජාතික වැඩපිළිවෙළක් ඕන. එහි දී ජනමාධ්‍යයටත් විශාල වගකීමක් හා වැඩ කොටසක් තියෙනවා.

 

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


අදහස් 2ක් ඇත

winayen nuwann , samaja sathkaraye,, prathimurthiyak wu ohuge piyanan gen lada saradarma, Nayakathwaya, darsanaya anuwa ohu ratata awassnayakkathwayata sudusu prawinayeki, , nayakathwaya yanu ithama bara pathala karya barayeki, namuth kithu praharayata bawuddayanage saha sanga rathnaye sanwegaya saha , eya sadaha hdin narakinda , thrasthawadaya hela daka agarada guru samagama ek wu bawa amathaka nokala hakiya!

ohu wayiddya widdayawa hadarana kalayedi , leda roga walata prathikara kirima gana kala sakachhawedi ohu , tharuna wayiddya sisuwa lesa ;;eda;;;; kiwe maddyata, ( leda roga walata prathikara kirimata ,,, wada ma hadaranne leda roga athi wiimata , hethu ;;;;;;;;; monawada yanna ganaya, )

නව අදහස දක්වන්න