මහේෂ් බාබුගේ රිදී ජුබි­ලිය - MAHARSHI | දිනමිණ

මහේෂ් බාබුගේ රිදී ජුබි­ලිය - MAHARSHI


සටනක් අරඹන්නේ පරාජය ගැන බියෙන් නම් ඔහුට හෝ ඇයට කිසිදා ඒ සටනින් ජය ගත නොහැකිය. ජය ලැබීම යනු යමක් හිමි කර ගැනීම පමණක්ද? තෙලිඟු සුපිරි තරුව මහේෂ් බාබු ‘මහර්ෂි‘ සිනමා නිර්මාණයේ රිෂි කුමාර් වෙමින් ප්‍රේක්ෂකයන්ට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ.

රිෂි කුමාර් නව යොවුන් වියේ සිට සිහින මැව්වේ සාර්ථකත්වයේ ඉහළටම පියමං කර ලෝකය පාලනය කිරීමටය. සාර්ථකත්වය කරා පියවර නඟද්දී ඔහුට පූජා මුණ ගැසෙයි. ජීවිතය යනු මුදල් නොවන බව පියා පුතුගේ ඉලක්කය ගැන දැනගත් විට කියා දුන් පාඩමය. ඔහු රිෂිට අවවාද කළේ මුදල් පසු පස හඹා නොයන්නකු වන ලෙසය. එහෙත් රිෂි ඔහුට සමච්චලයෙන් සිනාසුණේය. දෛවයානුකූලව රිෂි ධනවත් බලවත් ව්‍යාපාරිකයෙකු විය. රිෂිට සිහි වුණේ මුදල ජීවිතය කර නොගන්නා ලෙසට පියා දුන් අවවාදයය. එහෙත් ඔහු මුදලේ බලය පෙන්වීමට පටන් ගත්තේය. ඉන් සමාජයට සිදු වන්නේ කෙබඳු බලපෑමක්ද ? මිලියනපතියකු ලෙස උපන් බිමට පැමිණෙන ඔහු පීඩිත ගොවි ජනතාවගේ වීරයා වන්නේ කෙසේද?

රිෂිගෙන් සමාජයට සිදුවන බලපෑම නම් සුවිශේෂීය.

මහර්ෂි ටීසරය ජනවාරි 1 වැනිදා මුදා හැරුණු අතර එය රසිකයන් වේගයෙන්ම නරඹන ලද ටීසරය ලෙස වාර්තා පොතට එක්වී තිබේ. නැරඹූ ජනකාය මිලියන 5 කට අධිකය. සිනමා පටයේ ට්‍රේලරය නිකුත් වී පැය 24 කදී මිලියන 8 කට වැඩි ජනකායක් මහර්ෂි ට්‍රේලරය නරඹා තිබේ. පැය 24කට පසුව ද අංක 1 ට වැඩිම පිරිසක් නරඹන සිනමා පටය බවට පත්වීමෙන් බහුබාලි 2 ජනප්‍රිය භාවයට සමාන ජනප්‍රිය බවක් මහර්ෂිට ද ඇති බව ඔප්පු කර තිබේ. රිෂි ගේ ලොවට පිවිසෙන්න යනුවෙන් මහේෂ් බාබු කළ ඉල්ලීම ප්‍රේක්ෂකයන් ඉහළින්ම පිළිගෙන වැඩිම පිරිසක් නැරඹූ තෙලිඟු සිනමා පටය බවට මහර්ෂි පත් කර අවසන්ය.

මහේෂ් බාබුට ක්‍රියාදාම වෘතාන්ත සිනමා පටයක් වන මහර්ෂි කීප අතකින්ම සුවිශේෂීය. මේ ඔහුගේ 25 වැනි සිනමා පටයයි. එනම් රංගනයේ රිදී ජුබිලියයි. ඉන්දියානු සිනමාවේ ආකර්ෂණීයම සම්මානනීය තරුවක වන මහේෂ්ට ටොලිවුඩයේ කුමරා, තෙලිඟු සිනමාවේ සුපිරි තරුව යනුවෙන් පටබැඳි නාමයන් ගණනාවකි. සැබෑ ජීවිතයේදී සිය වාර්ෂික ආදායමෙන් සියයට 30 ක් සමාජ සද්කාර්යට යොදන මහේෂ්, මහර්ෂි රිෂිගේ චරිතයට නෑකම් කියයි. සිනමා පටයේ අධ්‍යක්ෂ වම්සි පයිදිපල්ලි මේ නිර්මාණය මීට තෙවසරකට පෙර කිරීමට බලාපොරොත්තුවෙන් සිටිය ද මහේෂ්ගේ කාර්යබහුලකම නිසා බලා සිටීමට සිදුවිය. මෙවැනි අවස්ථාවක බොහෝ අධ්‍යක්ෂවරුන් කරන්නේ වෙනත් නළුවකු යොදා රූ ගත කිරීම් ඇරැඹීම වන නමුත් වම්සි තෙවසරක්ම ඉවසුවේ රිෂි චරිතයට මහේෂ් බාබුම යොදා ගැනීමට අවශ්‍යව තිබූ නිසයි. මහේෂ් අධ්‍යක්ෂවරයාගේ ඉවසීමේ ගුණයට ස්තුති වන්නේ කිසිදු අධ්‍යක්ෂවරයකු මෙසේ නොකරන බව පවසමිනි. ප්‍රථම වරට මහේෂ්ට සිනමා පටයේ අවසන් රූගත කිරීම් නිසා බිරිය නිළි නම්රතා ෂිරෝද්කාර්ගේ උපන් දිනය යෙදුණු ජනවාරි 22 වැනිදා නිවෙසට පැමිණීමට ද නොහැකි විය.

මහර්ෂි, 2016 වසරේ ඕපිරි සිනමා පටයට හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගත් වම්සිගේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි. සිනමා පටයේ රිෂිගේ මිතුරා ලෙස රඟන්නේ තවත් දක්ෂ සම්මානනීය නළුවකු වන අල්ලාරි නරේෂ් ය. පූජා හෙජ් නිරූපණය කරන්නේ පූජාගේ චරිතයය. සිනමා නළු නිළි නාම ලේඛනයේ හොලිවුඩයේ තරු දෙකක ද නම් සඳහන්ය. ඒ තානෝස් නළු ජොශ් බ්‍රොලින්ගේ සහ ජේම්ස් බොන්ඩ් නළු ඩැනියල් ක්‍රේග්ගේය. සිනමා පටයට ගීත 6 ක් ඇතුළත්ය. මෙහි තනු නිර්මාණ සම්මානනීය සංගීත අධ්‍යක්ෂ, නළු දේවි ශ්‍රී ප්‍රසාද්ගේය. මැයි 9 වැනි දින සිට ඉන්දියානු රුපියල් කෝටි 100 ක් දරා නිපදවූ මහර්ෂි සිනමා පටය ඉහළම රසික ප්‍රතිචාර ලබමින් තිරගත වෙමින් පවතී. 

(බී.බී.සිය ඇසුරෙනි)

 

නව අදහස දක්වන්න