උතුරු මැද පළාත් සභාවේ සභාපතිට අගමැතිගෙන් අවසන් ගෞරව | දිනමිණ

උතුරු මැද පළාත් සභාවේ සභාපතිට අගමැතිගෙන් අවසන් ගෞරව

අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී.එම්. අමරතුංග මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) අවසන් ගෞරව දැක්වීය. 
 
අද පෙරවරුවේ රඹෑව පිහිටි නිවසට ගොස් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පවුලේ  ඥාතීන් සමඟ ශෝකය බෙදා හදා ගනිමින් සිය කණගාටුව පළ කළේය. 
 
ඩී.එම්. අමරතුංග මහතා මැදවච්චිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායකවරයා ලෙසත්, උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙසත්, ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙසත් කටයුතු කරමින් ජනතා ගෞරවය දිනා සිටි ප්‍රාදේශීය දේශපාලන නායකයෙකි. 
 
ඩී.එම්. අමරතුංග මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එජාප උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, මිහින්තලය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක නීතීඥ සංජීව සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් ද සහභාගි වූහ.
 

නව අදහස දක්වන්න