දේවස්ථානවලට පහර දීම, නිවාස හා කඩසාප්පු ගිනි තැබීම, අහිංසක මිනිස්සුන්ට පහර දීම වැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ රට තව තවත් අගාධයට පත් වීම බවත් කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
1983 දී සිදුවූ පරිදි රට නැවත කළු ජූලියකට ගෙන යාමට කටයුතු නොකළ යුතු අතර රට ගැන හැඟීමක් ඇති කිසිවකුට මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බව කතානායකවරයා සඳහන් කරයි.
රට තුළ අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇති මේ මොහෝතේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ සියලු දේශපාලන පක්ෂ එකම ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා හා මේ රටට ආදරය කරන වගකිව යුතු වැඩිහිටියකු ලෙසයි. ඒ ඉතාම වේදනාවෙන් යුතුවයි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල රටේ අර්බුද ඇති වූ නමුත් කිසිදු අවස්ථාවක සති තුනක් මේ විදියේ අක්‍රිය වූ කාලයක් තිබුණේ නැහැ. මම මේ දේ කියන්නේ ඉහත කී ජාතිවාදී ගිනි දැල් වලින්, තරුණ කැරැලි වලින්, නොයෙකුත් අසමගිකම් වලින් අපේ මාතෘභූමියට වූ හානිය දෑසින් දැකපු එදා සහ අද පරම්පරා දෙකම නියෝජනය කරන පුද්ගලයෙක් විදියටයි.
1983 කළු ජූලිය ආරම්භ වූ දා මා කැලණි විහාරයට මගේ බිරිය සහ දරුවන් සමඟ යමින් සිටියා. එකල මා දේශපාලනයට සම්බන්ධ නැහැ. එල්ෆින්ස්ටන් හන්දියේ දී සියයකට වැඩි පිරිසක් මගේ මඟ හරස් කර මගෙන් ඉල්ලීමක් කළා.
“සර්, සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න” කියලා. මේ ඉල්ලීමෙන් මා කම්පනයට පත් වුණා. මා ඔවුන්ට කිව්වා “ඔබ හදන්නේ ජාතිය බේරගන්න නොවෙයි, ජාතියේ අනාගතය ගිනි තියන්නයි” කියලා. ඒ වගේම මා කිව්වා මේකට වන්දි ගෙවන්න වෙන්නේ අනාගත පරපුරටයි කියලා.
එම ගින්නෙන් අවුරුදු 30 ක් පුරා අපේ මාතෘ භූමිය දැවුණා. අපි ලෝකයේ පසුගාමී රටක් බවට පත් වුණා. එම ගින්න ඇවිලීමට දායක වූවන්ටත් වඩා එදා හය හතර නොදැන සිටි ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය එම ගින්නෙන් දැවී ගියා .
එදා වෛරය සහ පළිගැනීමේ සිතුවිල්ල ත්‍රස්තවාදය පෝෂණය කළා.
නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතාව ක්‍රියා කළ ආකාරය දෙස බලන විට එදාට වඩා ශිෂ්ඨ සම්පන්නව බුද්ධිමත්ව හා ඉවසීමෙන් ක්‍රියා කළ බව පවසන්නේ ඒ වෙනුවෙන් මග පෙන්වූ සියලු ආගමික නායකයන් ගෞරවයෙන් සිහි කරමින්. එතැන් සිට ගෙවී ගිය සති තුනක කාලය තුළ සෑම ක්ෂේත්රයකම ඇති වූ අකර්මන්‍යතාව පිළීබඳ ඔබ සැමට අවබෝධයක් ඇතැයි මා විශ්වාස කරනවා.
එම අභියෝග ජය ගෙන නැවත නැගී සිටිනු වෙනුවට යළි යම් යම් ස්ථානවලින් වෛරය පතුරුවන සුළු ක්‍රියාකාරකම් වාර්තා වීම අතිශයින් අවාසනාවන්ත තත්ත්වයක්. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී අතිශයින් සංවේදී වූ ජනතාව අතරින් පැන නොනැගුණු තත්ත්වයක් සති තුනකට පසුව මතුවීමෙන් පැහැදිලි වන්නේ මේ පිටුපස යම් සැලැසුම් සහගත පටු වුවමනාවක් ක්‍රියාත්මක වන බවයි.
ඔවුනට මට කීමට ඇත්තේ “ඔබ මේ සූදානම් වන්නේ ඔබේම මාතෘ භූමිය තවත් පරම්පරා කීපයකට ගිනි තැබීමට බවයි.” එයින් අවසානයේ දැවෙන්නේ ඔබටත් වඩා ඔබේ නොදරුවන් බව අමතක නොකරන ලෙස මා රටවැසියන්ට සිහිපත් කරන්න කැමැතියි.
ත්‍රස්තවාදය හමුවේ මෙරට ක්‍රියා කළ ආකාරය නිසා ලෝකයේ ගෞරවය අපට හිමි වුණා. නමුත් හිංසාකාරී ක්‍රියා මඟින් අප යළිත් සමස්ත ලෝකයේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ මිත්රශීලීව කටයුතු කරන මැද පෙරදිග ඇතුළු ඉස්ලාම් මිත්‍ර රටවලත් පිළිකුලට භාජනය වීම වැළැක්විය නොහැකියි.
ඒ නිසා ජාතිවාදයේ සහ ආගම්වාදයේ වෛරි ගිනි දැල් ඇවිලීමට ඕනෑම ආකරයේ දායකත්වයක් දෙන පුද්ගලයන් අප මාතෘ භූමියේ හෙට දිනය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය ගිනි තැබීමට දායක වන්නන් බව අවධාරණය කළ යුතුයි.
වෛරය කිසිදා නොසන්සිදෙන බව කියැවෙන “නහී වේරේන වේරානී” බුදු වදන සිහිපත් කරමින් ඉවසීමෙන් ක්‍රියා කරමු යැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අති ගෞරවණීය ආගමික නායකත්වයෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේ ගිනිදැල් නිවීමට පෙරට එන ලෙස. දේශපාලන නායකයන්ට ආයාචනා කරනවා ජනතාව සන්සුන් කරන ලෙස.
ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මා යළිත් වරක් කියන්නේ එක මතයක සිට ජනතාවට පණිවුඩයක් දිය යුතු බව. ආරක්ෂක තත්ත්වය ගැන දිනපතා ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ හමුදා ප්‍රධානීන් එකට සිට කරුණු පැහැදිලි කළ යුතුයි. ජනතා විශ්වාසය ඇති කළ හැක්කේ එවිටයි. ගිනි දැල් මෙන් පැතිර යන කට කතා නැවැත්විය හැක්කේ එවිටයි. මෙතෙක් ප්‍රකාශ වූ සෑම කට කතාවක්ම අසත්‍ය බව තහවුරු වුණා.
සියලු රට වැසියනට කථානායකවරයා වශයෙන් මාගේ ආයාචනය වනුයේ රටේත්, නූපන් පරපුරේ අනාගතය 83 දී මෙන් නැවතත් අඳුරට ඇද නොදමන ලෙසයි.
පෙරේදා ඇති වූ සිදුවීම් මෙනෙහි කරත්දීත් දැඩි වේදනාවක් ඇති වනවා. මුස්ලිම් දේවස්ථානවලට පහර දීම, නිවාස හා කඩසාප්පු ගිනි තැබීම, අහිංසක මිනිස්සුන්ට පහර දීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකියි. මෙම ක්‍රියා සිදු කරන්නේ පැහැදිලිවම රට තවත් අගාධයකට යොමු කිරීමටයි. රට ගැන හැඟීමක් ඇති කිසිම කෙනකුට මෙවැනි දේ කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ.
දැන් අවශ්‍ය බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි. මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදයෙන් ඥාණාන්විතව හා ඉවසීමෙන් දැනට ඇති වී තිබෙන ගැටලු විසදීමට කටයුතු කරනවා. අධිකරණ අමාත්‍යතුමිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරු අදාළ අංශ සමඟ එක් වී නීතිරීති සම්පාදනය කරමින් සිටිනවා.
සාම්ප්‍රදායික ඉස්ලාම් කාන්තා ඇඳුම්, මද්රසා පාසල්, උසස් අධ්‍යාපන ආයතන ආදී විවිධ ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි එකගතා ඇති වී තිබෙනවා. මින් සමහර සාකච්ඡාවලට මා සහභාගී වුණා. ඉදිරි සති කිහිපයේ දී විවාදයට තුඩු දුන් මෙවැනි කරුණු පැහැදිලිව නිරාකරණය වනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ රට මූලධර්මවාදී රටක් කිරීමට බහුතර මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ.
අනාගත පරපුරේ ශාපයට ලක් නොවී මේ මොහොතේ සකලවිධ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව සාමකාමී ජනතාව සතු සාමූහික ශක්තිය අවධි කරන ලෙස සමස්ත ලක්වාසී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.
නව අදහස දක්වන්න