ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සාමකාමී වෙමු | දිනමිණ

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සාමකාමී වෙමු

අසේල කුරුළුවංශ

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ත්‍රෛනිකායික මහ සංඝරත්නය ලක්වැසි සියලු ජනතව ගෙන් ඉල්ලීමක් කරති. අන්තවාදී ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ ජනවාර්ගික හා ආගමික බේද උත්සන්න වී තිබෙන බවත් ලක්වැසි සියලු ජනතාව එක්ව සමඟියෙන් කටයුතු කොට ප්‍රචණ්ඩාරි ක්‍රියාවන් වළක්වා ගැනීමට සහයෝගය දීම සුදුසු බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මල්වතු මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ශ්‍රී පේමසිරි,අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස යන ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් මේබව ප්‍රකාශ කරති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී සම්බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස්හය වැන්නේ මහින්දා ගමනයෙන් අනතුරුව දේවානම් පියතිස්ස රජු දවස මෙරට බෞද්ධ රාජ්‍යයක් බිහි විය.වර්ගය,භාෂව,ආගම පුපුරණ සුළු ගැටුම් ඇති කරන බෙදුම් රේඛාවක් බදු වුවත් මෙහි ස්ථාපනය වූ නිර්මල බුදු දහමේ අභාෂයෙන් හික්මවනු ලැබූ සිංහල බෞද්ධ ජනතාව ඉතිහාසය පුරාම පාහේ වරින් වර මෙරටට සංක්‍රමණය වූ විවිධ ජාති හා ආගම් සමඟ එක්ව සාමකාමීව සහජිවනයෙන් කටයුතු කළහ.

අනාදිමත් කාලයක් තිස්සේ අන්‍යාගම් ඉවසීමේ ගුණයෙන් යුක්තව විසූ ශ්‍රී ලංකාව තුළ වර්තමාන ගැටලුවට මුල්වූ මුස්ලිම්වරු ලංකාවට අවතීර්ණ වූයේ ස්වදේශිකයින්ගේ හොඳ හිත ,විශ්වාසය දිනාගත් සාමකාමී වෙළෙඳ ජනතාවක් වශයෙනි.බෞද්ධාගමේ ඉවසීමේ හා පිළිසරණ වීමේ ගුණයේ උපකාරයෙන් ඔවුන් අපේම ජනතාවක් වශයෙන් එක්ව සාමකාමීව කටයුතු කළහ.සිංහල ස්වදේශිකයන් හා මුස්ලිම් ජාතිකයින් අතර වර්ධනය වී තිබූ සුහඳ සම්බන්ධතාව මුල්කොට ගෙන මෑතක් වනතුරුම මුස්ලිම් වරු බහුතර සිංහල ජනතාව සමඟ සහජීවනයෙන් කටයුතු කළහ.මුස්ලිම්වරු සමඟ පමණක් නොව අනෙකුත ජාතීන් හා ආගමකින් සමඟද බෞද්ධයින් කටයුතු කළේ ඔවුන් නොවුන් හා බලවත් සහෝදරත්වයකිනි.එහෙත් පසුගියදා අන්තවාදී ත්‍රස්ත පිරිසක් විසින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා ජනවාර්ගික හා ආගමික බේද උත්සන්නවී ඇත.

සියලු වාර්ගික හා ආගමික සමඟිය සමාදානය තහවුරුවන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයින් සතු බලවත් වගකීමකි.එහෙත් බලය මුල්කොට ගෙන ඡන්ද ගොඩ වැඩකර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස අයහපත් ප්‍රතිපළ රැසක් උද්ගතව තිබේ.රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවකදී වගකිව යුතු ඇමැතිවරයකු ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ප්‍රකාශ කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි.වින්දිතයින්ගේ සිත් සතන් නිවා සනසනු වෙනුවට අදූරදර්ශීව කටයුුතු කරන බවක් පෙනෙන්නට තිබේ.පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් පසු එහි වින්දිතයින්ගේ සිත්සතන් තුළ විශ්වාසය හා නීතියේ සාධාරණත්වය තහවුරු කරනු වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන බවක් පෙනෙන්ට තිබිණි.

නිසි වේලාවට නිසි තීණ්දු නොගෙන කටයුතු කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් යළිත් ඇති වීමට හේතුවී ඇත.මීට පෙර අවස්ථා කිහිපයකදී රටේ යහ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා මහ සංඝරත්නය අනුශාසනා ලබාදී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප්‍රතිපලයක් වශයෙන් නැවත නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.මෙම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශයන්ට මැදහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍යය සහයෝගය ලබාදීම අප කාගේත් පරම යුතුකමකි.ශාන්ති නායක බුදුරාජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සැදැහැ සිතින් අනුස්මරණ කිරීමේ සාමකාරී පරිසරයක් ඇතිකර ගැනීම සඳහා ලක්වැසි සියලු ජනතාව එක්ව සමඟියෙන් කටයුතු කොට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලක්වා ගැනීමට සහයෝගය ලබා දීම සිදුසු බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ප්‍රකාශ කරති.

නව අදහස දක්වන්න