රට අවුලන කටකතා | දිනමිණ

රට අවුලන කටකතා

සුවිශේෂී අවස්ථාවක දී ප්‍රචාරය වන කටකතාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ යම් අවබෝධයක් මහජනතාවට තිබිය යුතු ය. මහජනයා නිරන්තරයෙන් ම අදාළ ආයතනවලින් නිකුත් කරන සත්‍ය තොරතුරු මත පමණක් යැපීම කළ යුතු වේ. සමාජයේ තොරතුරු ගලා යෑමේ සීමාවන් මොනවා ද? දැනට අපට දැන ගැනීමට අවශ්‍ය තොරතුරු මොනවා ද? යන්න පිළිබඳ පමණක් දැනගෙන කටයුතු කළ යුතු වේ.

අප ජීවත්වන සමාජය ගතිකත්වයෙන් යුක්ත ය.

ඕනෑම මොහොතක දී , කවර හෝ සිදුවීමක් සිදු විය හැකි ය. මිනිසුන් නිරන්තරයෙන් ම රටේ තත්ත්වය කුමක් ද? ඉදිරියේ දී කුමක් සිදු වෙයි ද? මිනිසුන් ඒ සඳහා හුරු විය යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටී. එසේ තිබිය දී සුවිශේෂී තත්ත්වයන් යටතේ කටකතා පැතිරීම සාමාන්‍ය තත්ත්වයකි. නවමු පුවත් දැන ගැනීමේ වුවමනාවෙන් ජීවත්වන මිනිසුන් නිරන්තරයෙන් ම කටින් කට ප්‍රචාරය වන කටකතා පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වේ.

අවිනිශ්චිත තත්ත්වයන්

කටකතා පතුරවාලීමේ ආකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සිදු වේ. එනම් කිසිවකුටත් හානියක් කිරීමේ අරමුණකින් තොරව සාමාන්‍යයෙන් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කිරීම සහ හිතාමතාම තමන්ගේ අදහස්, මතිමතාන්තර, සහ ඕනෑ එපාකම් ඉදිරිපත් කිරීම වේ. වර්තමානය වන විට කටකතා පතුරවාලීම සමාජ ප්‍රවණතාවක් වී තිබේ. ජනමාධ්‍ය සහ අනෙකුත් තොරතුරු සපයන මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවක් මිනිසුන් සතුව පවතී. නමුත් හිතාමතාම තමන්ගේ අදහස්, මතිමතාන්තර, සහ ඕනෑ එපාකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කටකතා පතුරවන පුද්ගලයින් නිකුත් කරන තොරතුරු කිසිසේත්ම විශ්වාස නොකළ යුතු වේ.

අවිනිශ්චිත තත්ත්වයක් යටතේ මිනිසුන් නිරවුල් මනසින් යුක්තව කටයුතු කීරීමට වගබලා ගත යුතු වේ. නම්‍යශීලීව, අවිධිමත්ව කටයුතු කරන, වැරදි කටකතා පතුරුවන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් සිට , ඔවුන්ගෙන් මීදී සිටීම සිදු කළ යුතු ය . එවැනි පුද්ගලයින් කුමන කාරණාවක් ජනගත කළ ද, ඒ පිළිබඳව නිරවුල් මනසින් සොයා බැලිය යුතු ය. තව ද එවැනි පුද්ගලයින් සමඟ ගැටුම් ඇති කර නොගැනීමට වග බලා ගත යුතු ය.

යම් උද්වේගකාරී සිදු වීමක් සිදුවීමෙන් අනතුරුව, එම සිද්ධිය පිළිබඳව සාමාන්‍ය ජනයා දරන අදහස පිළිගැනීමට වඩා, සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලයින් ප්‍රකාශ කරන කරුණුවලට වැඩි අවධානයක් ලබා දිය යුතු ය. දුර දිග සිතා බලන්නේ නොමැතිව, ඔහේ කුමක් හෝ දෙයක් ප්‍රචාරය කිරීම බොහෝ පුද්ගලයින් සිදු කරන්නේ සමාජයේ කැපී පෙනීම උදෙසා ය. එවැනි පුද්ගලයින්ට රැවටෙන මිනිසුන් නිරායාසයෙන් ම කටකතාවලට ඇබ්බැහි වේ. බොහෝ විට කටකතා පැතිරවීම සිදු කරන්නේ සමා‍ජයට කිසිදු එල ප්‍රයෝජනයක් නොමැති ජනයා ය. ඇතැම් විට ඔවුන් නිසි අධ්‍යාපනයක් නොලැබූ පිරිස් විය හැකිය. තව ද ඇතැම් පුද්ගලයන් යම් සිද්ධියක් පිළිබඳව හෝ යම් පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම විනෝදාංශයක් වශයෙන් සිදු කරයි. එමඟින් ඔවුන් අසීමිත තෘප්තියක් ලබා ගනී.

කටකතා පතුරවන සහ කටකතා පතුරවාලීමට සහාය දෙන පුද්ගලයන් සතුව තිබෙන්නේ සමාජයට පටහැනි විනයකි. මිනිසුන්ට සත්‍ය තොරතුරු අනාවරණය නොකර , තමන්ගේ පහත් මානසික මට්ටම් යටතේ අසත්‍ය තොරතුරු අනාවරණය කිරීම තුළින් මිනිසුන් පරිහානියට පත් වේ.

කටකතා සහ ජනමාධ්‍ය

මිනිසුන් අනිවාර්යයෙන්ම දැනගත යුතු සත්‍ය පුවත් , ජනමාධ්‍ය ආයතන සහ ලියාපදිංචි කළ වෙනත් ආයතන මඟින් මාධ්‍ය සාකච්ජා පැවැත්වීමෙන් පසුව දැනුම් දීම සිදු කරයි. ඇතැම් මාධ්‍ය විවිධ ඕනෑ එපාකම් හේතුවෙන් හිතා මතා වැරදි මතයක් හුවා දැක්වීම සිදු කරයි. සුළු ප්‍රශ්නයක්, විශාල ප්‍රශ්නයක් ලෙස මවා පෑම ද ඇතැම් මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබයි. මේ හේතු නිසාවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරය අවම මට්ටමක පවතී. මාධ්‍ය පක්ෂග්‍රාහීභාවයකින් තොරව සත්‍ය තොරතුරු තත්ත්වාකාරයෙන් ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වේ. කිසිදු මාධ්‍යයක් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා, දේශපාලන වූවමනා, එපාකම්, සහ අනෙකුත් සාමාජීය කාරණා හේතුවෙන් වැරදි තොරතුරු ජනගත කිරීම නොකළ යුතු වේ.

නිසි ප්‍රමිතියෙන් යුක්ත මාධ්‍ය ආයතන , මහජනතාව වෙත වැරදි කටකතා පැතිරවීමට ප්‍රථමයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර දිය යුතු වේ. එසේ සිදු කළ යුතු වන්නේ කිසිදු පක්ෂ භේදයකින් තොරව ය. වර්තමානයේ දී විද්‍යුත් මාධ්‍ය හතු පිපෙන්නාක් මෙන් බිහි වී තිබේ. තව ද විශාල තරගයකින් යුක්තව, කෙසේ හෝ තමන්ගේ මාධ්‍ය ආයතනය ජනප්‍රිය කරවීමේ අභිලාසයෙන්, වාණිජමය වශයෙන් තිබෙන ඉල්ලුම මත මාධ්‍ය ආයතන කටයුතු කරයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳව මහජනයාට තිබෙන විශ්වාසය අඩු වී තිබේ. මාධ්‍ය පක්ෂග්‍රාහී යැයි සිතෙන විට මහජනයා වෙනත් අංශ මඟින් තොරතුරු ලබා ගැනීමට පෙළෙබේ. එහි දී මිනිසුන් කටකතා යම් තාක් දුරට විශ්වාස කරනු ලබයි. එවැනි අවස්ථාවන්වල දී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට වාසිදායක තත්ත්වයක් උදා වේ. ඉන්පසු ඔවුන් පෙරට වඩා වැඩි වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට පෙළඹේ.

වර්තමානයේ දක්නට ලැබෙන ඇතැම් රූපවාහිනී වැඩසටහන් කටකතා ස්වරූපයෙන් යුක්ත ය. ඒ තුළින් මාධ්‍ය ආයතන ජනප්‍රියත්වයට පත් වීමට උත්සහ දරයි. අවම ප්‍රමිතියක් යටතේ සකස් කරන එවැනි වැඩසටහන් තුළින් මිනිසුන් නොමඟ යෑම සිදු වේ. විද්‍යුත් මාධ්‍යවලට සාපේක්ෂව පුවත්පත් මාධ්‍ය නිසි වගකීමකින් යුක්තව තොරතුරු ප්‍රචාරය කරන බවක් පෙනෙයි. එලෙස පුවත්පත් මාධ්‍ය ආයතනයේ , නීතී රීතී රාමුවට අදාළව ජනමාධ්‍යවේදියා විසින් සත්‍ය තොරතුරු අදාළ ආකාරයට ඉදිරිපත් කිරීම හේතුවෙන් මහජනයාට කටකතා පිළිබඳව විශ්වාස කිරීමට අවශ්‍ය නැත. නිසි ප්‍රමිතියකින් යුක්තව මාධ්‍ය පරිහරණය කිරීමට මහජනයා ප්‍රාඥාගෝචර විය යුතු වේ.

ප්‍රාථමික අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් ද දරුවන්ට, කිසිවකු කියූ පමණින් ඒ පිළිබඳව විශ්වාස නොකිරීම නොකළ යුතු බව උගන්වනු ලබයි.

ඒ සඳහා උදාහරණයක් වශයෙන් ප්‍රාථමික අවධියේ දී දරුවන්ට උගන්වනු ලබන “ අහස කඩා වැටී‍මේ පුවත දැනගත් සතුන් එකා පසුපස දිවීමේ කතාන්දරය” පෙන්වා දිය හැකි ය. ප්‍රාථමික අධ්‍යාපනය තුළින් ද කුඩා කාලයේදීම කටකතාවල පවතින භයානකකම පිළිබඳව අවබෝධයක් ලබා දී තිබේ. යම් සිද්ධියක් පිළිබඳව කවුරු, කුමන දෙයක් ප්‍රකාශ කළ ද, තමන් ස්වකීය බුද්ධිය මෙහෙයවා, එහි සත්‍යතාවය පිළිබඳව අනාවරණය කර ගැනීමට කුඩා කාලයේදීම ලබා‍ දෙන පන්නරය ඉතාමත් යහපත් වේ.

කතාන්දර කලාව තුළින් කුඩා කාලයේ දරුවන් ලබා ගන්නා ආදර්ශය, අවිධිමත්, නම්‍යශීලී ජනතාවක් වෙසෙන රටක් තුළ ජීවත් වීමේ දී වඩාත් ප්‍රයෝජනවත් වේ. යම් සිද්ධියක් තමන්ගේ ම ඇස්වලින් දැක, කනින් අසා විශ්වාස කිරීම හැර , යම් පුද්ගලයෙක් ප්‍රකාශ කළ දෑ ඒ අයුරින්ම විශ්වාස කිරීම නොකළ යුතු වේ. කුඩා කාලයේ පටන් ම දරුවන්ට කටකතාවලට වහල් වී නොසිටීමට හුරු කිරීම මවුපියන්ගේ වගකීමක් වේ.

දරුවන්ට කුඩා කාලයේ පටන් ම සත්‍ය තොරතුරු සොයා යෑමේ පුරුද්ද ඇති කළ යුතු ය. එමඟින් කටකතා හේතුවෙන් සමාජයේ ඇතිවන ආරවුල් තත්ත්වයන් පාලනය කර ගැනීමට පුළුවන. කුඩා කාලයේ සිටම කව්රුන් හෝ ප්‍රකාශ කළ කතා විශ්වාස කිරීමට පුරුදු වූ දරුවන්ගේ පෞරුෂය ද බිඳ වැටේ. තමන්ගේ දරුවා සමාජයේ යහපත් පුරවැසියකු බවට පත් කිරීම සඳහා කුඩා කාලයේ පටන් ම තම දරුවාට කටකතා විශ්වාස නොකර , ස්වකීය බුද්ධියෙන් යුතුව කරුණු කාරණා, අනාවරණය කර ගැනීමට පුරුදු කළ යුතු වේ.

කටකතාවලින් පරිස්සම් වීම

සුවිශේෂී අවස්ථාවක දී ප්‍රචාරය වන කටකතාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ යම් අවබෝධයක් මහජනතාවට තිබිය යුතු ය. මහජනයා නිරන්තරයෙන් ම අදාළ ආයතනවලින් නිකුත් කරන සත්‍ය තොරතුරු මත පමණක් යැපීම කළ යුතු වේ. සමාජයේ තොරතුරු ගලා යෑමේ සීමාවන් මොනවා ද? දැනට අපට දැන ගැනීමට අවශ්‍ය තොරතුරු මොනවා ද? යන්න පිළිබඳ පමණක් දැනගෙන කටයුතු කළ යුතු වේ. වර්තමානයේ බොහෝ දෙනෙකු හිතා මතා කටකතා පැතිරීම සිදු නොකර යම් දේවල් පිළිබඳව උපකල්පනයක් දීම සිදු කරති . එලෙස තමන්ගේ උපකල්පන ප්‍රකාශ කිරීම තුළින් ඔවුන් සමාජයේ අනෙක් පුද්ගලයන්ට පණිවිඩයක් ලබා දේ. එමඟින් පුද්ගලයින් තමන්ගේ අභිරුචීන්, ඕනෑ එපාකම් අනෙක් අයට දැනුම් දීම සිදු කරයි. ඇතැම් කටකතා අතිශයෝක්තියෙන් යුක්ත ය.

අසත්‍ය කටකතා පතුරවන පුද්ගලයන් හේතුවෙන් බොහෝ අවස්ථාවල දී සමාජයේ පිළිගැනීමක් තිබෙන, පුද්ගලයින් අපහසුතාවට ලක් වී තිබේ. මිනිසුන් ද අදාළ පුද්ගලයන් කෙරෙහි වැරදි වැටහීම් ඇති කර ගනී. ඒ හේතුවෙන් සමාජයේ සාමාන්‍ය ජනතාව අදාළ පුද්ගලයන් පිළිබඳව නිවැරදි අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

කටකතා තුළින් ඇතැම් සාමාන්‍ය සිද්ධීන් උලුප්පවා දක්වනු ලබයි. එලෙස සිද්ධියක් උලුප්පවා පෙන්වීමට වඩා එම සිද්ධිය නෙපෙන්වා සිටීම නුවණට හුරු වේ. මාධ්‍ය මඟින් මහජනතාවට යම් තොරතුරක් දැනුම් දීමට පෙර , එම තොරතුරෙහි සත්‍ය, අසත්‍යතාව පිළිබඳව ද නිසියාකාරයෙන් අනාවරණය කර ගත යුතු වේ. මිනිසුන් තුළ සත්‍ය සොයා යාමේ ප්‍රවණතාවක් තිබිය යුතු ය. ඒ සඳහා මිනිසුන් අදාළ ආයතනවලින් නිකුත් කරන තොරතුරු පමණක් උපයෝගී කර ගත යුතු වේ. උදාහරණයක් ලෙස , වර්තමානයේ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව අඩු වීම පිළිබඳව විවිධ කටකතා ප්‍රචාරය වුව ද, එම තත්ත්වය පිළිබඳව ඒ අදාළ ආයතන මඟින් ගවේෂණ කරන ලද තොරතුරු පමණක් සැලකිල්ලට ගැනීම කළ යුතු ය.

බුද්ධිමත්ව කටයුතු කිරීම

“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය” යන කියමනට අනුව මිනිසුන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයකුටම ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ . නමුත් ඒ කරුණු කාරණාවල සත්‍ය අසත්‍ය බව , ස්වයං විවේචනයෙන් යුක්තව සොයා බැලිය යුතුය. උදාහරණයක් විදිහට, යම් ගැටලුකාරී තත්ත්වයක දී, මෙවැනි තත්ත්වයක් ඇති වූයේ කුමක් නිසා ද? මෙහෙම දෙයක් විය හැකි ද? යනුවෙන් ස්වකීය බුද්ධිය මෙහෙයවා නීරීක්ෂණය කිරීම කළ යුතු වේ. එසේ නොමැතිව , යම් සිද්ධියක් පිළීබඳව කෙනකු ප්‍රකාශ කළ දෙය ක්ෂණිකව විශ්වාස කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු වේ. දූරදර්ශීව, විචක්ෂණශීලීව කල්පනා කර බලා තීන්දු තීරණ ගැනීම සිදු කළ යුතු ය.

තමන්ගේ අවබෝධය මූලික කර ගනිමින් යම් කටකතාවක සත්‍ය අසත්‍යතාව පිළිබඳව , නිශ්චිත වශයෙන්ම දැන ගැනීම මඟින් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට පුළුවන.කටකතාවන් පැතිරීමේ දී හිතට වහල් නොවී බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු වේ. එක් පුද්ගලයෙක් කටකතාවක් පිළිබඳව නිශ්චිත මෙන් ම සත්‍ය තොරතුරක් දැන ගතහොත් තමන් වටා සිටින පුද්ගලයින්ට ද එම තොරතුර පිළිබඳව දැනුවත් කළ යුතු ය. එසේ නොකොට තමන් පමණක් සත්‍ය දැන සිටීම මඟින් සමාජය පරිහානියට පත් වේ. තමන් පිළිබඳව විශ්වාස කරන පුද්ගලයන්ට පමණක් , අනාවරණය කර ගත් සත්‍යය පිළිබඳව ප්‍රකාශ කිරීම නුවණට හුරු වේ.එමඟින් අසත්‍ය තොරතුරු උපයෝගී කර ගන්නා සමාජය තවදුරටත් පරිහානියට පත් වීම වළක්වාගත හැකි ය. ඇතැම් අවස්ථාවල දී අසත්‍ය ප්‍රකාශ ඇතුළත් කටකතා සමාජයේ ප්‍රචලිත වීම තුළින් මිනිසුන්ට තමන්ගේ එදිනෙදා කාර්යයභාර්ය ද සිදු කිරීමට නොහැකි වේ. දීර්ඝ කාල සීමාවක් එලෙස අසත්‍ය ප්‍රචාර සමාජයේ පැතිරී ගියහොත් මුළු මහත් මානව සංහතියටම අසාධාරණයක් සිදු වේ.

පසුගිය දිනවලදී සිදු වූ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ දී උද්ගතව පවතින තත්ත්වයට අදාළ අංශවල බලධාරීන් සෑම කෙනකුම වගකිව යුතු වේ. ඒ සෑම කෙනකුටම පවතින තත්ත්වය හමුවේ පැත්තකට වී සිටිය නොහැකි ය. දැඩි පීඩනයකට ගොදුරු වී සිටින මිනිසුන් තමන්ට අසන්නට ලැබෙන කුමන හෝ තොරතුරක් සත්‍ය අසත්‍යතාවකින් තොරව ක්ෂණිකව පිළිගනියි. ප්‍රචාරය වන කටකතා පිළිබඳව සත්‍ය අසත්‍යතාව තීරණය කර ගැනීමටවත් මානසික මට්ටමක් නැති මහජනයාට සත්‍ය තොරතුරු ලබා දීම සඳහා රජය ඇතුළු අදාළ ආයතන ක්‍රියා කළ යුතු ය. සෑම පුද්ගලයෙක් ම , පවතින තත්ත්වය හමුවේ, “මමත් මේ දේවල්වලට සම්බන්ධ ද? “ යන්න පිළිබඳව ස්වං විචේචනයක් සිදු කළ යුතු වේ.

රජයේ අදාළ බලධාරීන් සහ අනෙකුත් ආයතන සියල්ල එකතු වී සමස්ත ජනතාවගේ සුඛවිහරණය මෙන් ම අනාගත පැවැත්ම සඳහා ආන්දෝලනාත්මක වූත්, ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වන සුළු කටකතා පැතිරවීම වළක්වා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම කළ යුතු වේ. මහජන ආරක්ෂාවට හානි කරන, මහජනයාට දැඩි පීඩනයකට ලක් කරන වැරදි කටකතා ප්‍රචාරය කරන්නන් පිළිබඳව සොයා බලා , ඔවුන්ට අදාළ නීතී රීතී ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම සිදු කළ යුතු ය.

සටහන මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න