ජනශ්‍රැතියෙන් කලාව උඩු යටිකුරු කළ හැකියි | දිනමිණ

ජනශ්‍රැතියෙන් කලාව උඩු යටිකුරු කළ හැකියි

මහින්ද කුමාර දළුපොත

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත විසින් රචිත, නවතම යොවුන් නවකතාව " අලි ඩෝලේ" ය. මේ එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

"අලි ඩෝලේ" යොවුන් නවකතාව සම්ප්‍රදායික ආකෘති අතික්‍රමණය කළ කෘතියක් ලෙස මා හැඳින්වුවහොත්?

යොවුන් කතාවලට යම් ආකෘතියක් ඔබ්බවා තිබෙනවා. ඒ නිසා එයින් එපිටට යන්නට කිසිවකු උත්සාහ දරන්නේ නැහැ. මට දැනෙන දේ නම්, මගේ යොවුන් කාලයේ ඇහැටුවැව කලාපයේ මේ විදියට වල් අල් උවදුරක් තිබුණේ නැහැ. දැන් හවස් වෙන කොට පාරට බහින්න බැහැ. වල් අලි ගම ආක්‍රමණය කරලයි තිබෙන්නේ. එක දවසක් මම පොඩි කතාබහක ඉඳලා වෑකන්දේ ඉඳන් එනකොට, මේ ප්‍රශ්නයට හරි උත්තරයක් නෑ නේද කියන එක මට හිතුණා. ඒ කතාබහ සිදු වුණෙත් මේ වල් අලි උවදුර ගැනයි. මේ දේට විසැඳුම් විධිහට අලි වැට ගහන එක පවා කිසි ම අවබෝධයකින් තොරවයි කරන්නේ. අපි හැමදාම කියනවා,“ තරුණ ප්‍රජාවට රට බාරයි..අනාගතය බාරයි කියලා.“ඒත් ඒක සම්පූර්ණ මිථ්‍යාවක්. මෙතැනදි මට මේ කාරණා දෙක අතර පැටලීමක් ඇති වුණා.

ඒ අතර යොවුන් නවකතාවේ සම්ප්‍රදායික ආකෘති පුපුරවා හැරීමට මේ අත්දැකීම වටිනවා නේද කියන සිතුවිල්ල ආවා. ඒ නිසයි මේ කතාවට දොළොස් දෙනෙක් ඇතුළත් කර ගත්තේ. තුන් හතර දෙනෙක් වගේ නෙවෙයි, දොළොස් දෙනෙක් වුණහම එතැන කණ්ඩායමක් කියන හැඟීම එනවා. මේ කතාවේ තනි පුද්ගල වීරයෝ නැහැ. ගමක හැදුණු කෙනෙක් විදියට නගරයට ඇවිත්, අපි මේ ජීවත් වෙන්නේ නව තාක්ෂණික දැනුම් ලෝකයකයි. අලුත් පරම්පරාවක් සමඟ ඔවුන්ගේ මතවාද, නව සිතුවිලි අතර තනි පුද්ගල වීරයෙක් නෙමෙයි, සාමූහික වීරයන් බිහිකළ හැකි බව දැණුනා. අපේ පරම්පරාව සංස්කෘතික රාමු අතර හැදුණත්, වත්මන් පරම්පරාවේ අත්දැකීම් සීමා රහිතයි. එක අරමුණකට පෙළ ගැහෙන්නට බොහෝ විට නව මාධ්‍ය තමයි ඔවුන්ගේ සාමූහික පදනම සකස් කරන්නේ. මේ විදියට තමයි නව නායකත්වයක් සහිත නව පරම්පරාවක් ඉදිරියට බිහි වෙන්නේ.

වල් අලි, ගැටලුවක් විධිහට හඳුනා ගන්නකොට, අපේ රටේ ඊට සාර්ථක විසැඳුමක් ගේනවා නම්, ඒ තරුණ පරම්පරාවම තමයි කියන සිතුවිල්ලත් තිබුණා. ඒ අනුව තමයි ඔබ කියූ රාමුවෙන් පිට පැනපු මේ යොවුන් නව කතාව නිර්මාණය වෙන්නේ.

ඔබ මේ කතාවෙන් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද?

සම්ප්‍රදායික දැනුම මම තරයේ විශ්වාස කරන දෙයක්. අපේ රටෙත් වටිනාකම තියෙන්නේ සම්ප්‍රදායික දැනුම තුළයි. අලි ‍ඩෝලේ කතාව තුළ, සම්ප්‍රදායික දැනුම තුළ තමයි මේ ගැටලුවට විසැඳුම තිබෙන්නේ . අපේ මවුපියො කිව්වෙත්, අපි පාසල් යන කාලෙ කිව්වෙත්, අපේ දරුවෝ කියන්නෙත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලයි. මෙය මොන තරම් ඛේදවාචකයක්ද? පෙළ පොත් හරහා පවා අපේ ඔළුවට දාන්නේ, බටහිර සංකල්ප. එතකොට අපි සංවර්ධනය වෙලාම නැද්ද? හොඳ මංමාවත්, තාක්ෂණික දියුණුව, ලෙඩ රෝග කලින් හඳුනා ගන්නේ නැද්ද? පෙරදාට වඩා දියුණුවක් නැද්ද? ඒ තුළ සිදුවන මානව පරිහානිය වෙනම කතා කළ යුතු දෙයක් වුණත්, සමාජීය වශයෙන් විශාල භෞතික දියුණුවක අප සිටින බව පිළිගත යුතු නොවේද? " අලි ඩෝලේ" මඟින් මට කියන්න අවශ්‍ය වුණේ, මහ පොළොවේ තිබෙන ගැටලුවලට සැබෑ පිළිතුරු තිබෙන්නේ, සම්ප්‍රදායික දැනුම තුළ පමණක් බවයි.

අපේ රටේ ගොවිතැන, ආහාර රටාව, සොබාදහමේ හැසිරීම ආදී මේ සියලු දේ තුළ තිබෙන්නේ, සම්ප්‍රදායික දැනුමක්. අපේ බොහෝ දෙනා ජනශ්‍රැතිය ලෙස හඳුන්වන්නේ මේ දේ ම තමයි. නූතන ලෝකයේ මේ සම්ප්‍රදායික දැනුම වඩාත් නිවැරැදිව සමාජ පැවැත්ම සඳහා භාවිතයට ගන්නවා වගේම, අපේ රටේ දැනුම වෙන රටවලිනුත් ප්‍රයෝජනයට ගන්නවා. ඒත්, අප ළඟ තිබුණ සම්ප්‍රදායික දැනුම නේද මේ භාවිත කරන්නේ කියලා අපි තාමත් දන්නේ නැහැ.

නූතන සන්නිවේදන මාධ්‍ය භාවිත කරන, නව තාක්ෂණික ලෝකයක ජීවත් වන දරුවන්ට, සැබෑ චින්තනයක් විධිහට හඳුන්වා දෙමින්, දේශීය දැනුම තුළ තිබෙන වටිනාකම යළිත් සමාජගත කළොත් ඕනෑම ගැටලුවකට විසැඳුමක් තිබෙන බව මෙහිදී මට පෙන්වා දෙන්න අවශ්‍ය වුණා.

ඔබේ මේ සමාජගත කිරීම "අතීත කාමය" නෙමෙයිද?

මේවා අතීතයට පමණක් වලංගු හෝ අතීත කාමය වගේ දේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඒත්, ඒ අතීත කාමය ගොඩනැගී තිබෙන්නේ වසර දහස් ගණනක ජීවන අත්දැකීම් සමඟයි. උදාහරණයක් කියනවා නම්, ගල්කිරියාගමින් පහළ ස්වභාවික පතොක් යායක් තිබෙනවා. පතොක් කියන්නේ ඇත්තටම වල් අලි බාධකයක්. ඒ කොහොමද කියනවා නම්, අලියාගේ හොඬය හැම වෙලේම ආරක්ෂා කර ගන්න අලියා උත්සාහ ගන්නෙ. මොකද අලියා‍ගේ සියලු පැවැත්ම තියෙන්නේ හොඬයේ යි. පතොක් කටු ඇනුණොත්, තුවාල වන බව අලියා දන්නවා. ඒ නිසා මේ පතොක් යාය හරහා යන්න අලියා කොහෙත්ම කැමැති නැහැ. මේ බව දන්න අපේ පැරැන්නෝ, කරදරකාරී ලෙස අලි එන මංකඩවල පතොක් වැටි හැදුවා. එතැනින් එහාට අලි ආවේ නැහැ.

අපේ රටේ වල් අලි ගැටලුවට විසැඳුම් සොයන අය, අලියාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරලා නෙමෙයි ඒවා කරන්නේ. පිටරටින් දාන ඕනෑම දෙයක් කරේ තියන් යනවා. අලි වෙඩි, අලි වැට වැනි රාජ්‍ය මුදල් බිලියන ගණන් විනාශ කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒත්, අතීතයේ දාපු තල වැට තරම් ඒවා සාර්ථක වන්නේ නැහැ. මේ වගේ ක්‍රමෝපාය බොහොමයක් තිබෙනවා. මේ කතාවෙන් මම උත්සාහ කරන්නෙත්, ඒ දේ සොයාගෙන යන්නයි.

ජනශ්‍රැතිය සමඟ රූපවාහිනිය, සමාජ ජාලා ආදි නව තාක්ෂණය මේ කතාවට සම්බන්ධ වන්නේ මොන වගේ පදනමකින් ද?

සම්ප්‍රදාය පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නේ සංවර්ධනය සමඟ ඒකාබද්ධව පමණයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. සම්ප්‍රදායික දැනුම ගොඩ නැගී තිබෙන්නේ ජනශ්‍රැතියෙනුයි. ඒ ජනශ්‍රැතියටත් හෙට දවසේ පවතින්න පුළුවන් වෙන්නේ තාක්ෂණයත් එක්ක බද්ධ වුණොත් විතරයි. මේ කතාව තුළ රූපවාහිනිය හා සමාජ මාධ්‍ය හරහා ‍ඒ දරුවන් කරන කියන දේ සමඟ විශාල පිරිසක් රොක් වෙනවා. ජාතික රූපවාහිනිය කියන්නේ මේ වගේ වැඩසටහන් පිළිබඳ විශ්වාසය දිනා ගත් රූපවාහිනී නාලිකාවක්. ඒ වගේම මීට වන ජීවි අධ්‍යක්ෂවරයාත් මම එක් කර ගත්තා. ඔහු එකතු වන්නේ ඔහුගේ මිනිපිරියගේ පෙලඹවීම මතයි. ඒ මිනිපිරිය නව තාක්ෂණය සමඟ සිටින කෙනෙක්. නවකතාවක තිබෙන සම්ප්‍රදායික ආකෘතිවලින් ඔබ්බට ගිහින්, මෙන්න මේ වගේ පුළුල් පරාසයක් තුළ කතාව ව්‍යාප්ත කරන්න මම උත්සාහ කළා.

 "අලි ඩෝලේ" මේ පොතේ නම බවට පත් වන්නේත් අපූරු පර්යේෂණයක් මත නේද?

" අලි ඩෝලේ" කතාව තුළ අලි හා සම්බන්ධ සිදුවීම් සියල්ල සත්‍ය සිදුවීම්. එක තැනක එක වෙලාවක සිදු නොවූවත්, තැන් තැන්වල සිදු වූ විවිධ සත්‍ය සිදුවීම් එකතුවක් තමයි මෙහි තිබෙන්නේ. අලි ඩෝලේ කියන නම පවා හැදෙන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරිනුයි. ඒ ගැන කියනවා නම්, එක්තරා පුද්ගලයෙක් හිටියා ඔහු ගමේ ජවුසම්වල ඩෝල ගහනවා. සරලව කියනවා නම්, ගමේ විනෝදකාමී ගොවියෙක්. කලාකාරයෙක්. මේ පුද්ගලයා ජවුසම් මඩුවක් ඉවර වෙලා, රෑ බෝ වුණාට පස්සේ ටිකක් සප්පායම් වෙලා, ගෙදර ආවම භාර්යාව දොර අරින්නේ නෑ. ඒ නිසා පිලේ තමයි නිදියන්නේ. සඳ තියෙන රෑක මෙහෙම නිදියගෙන ඉඳිද්දි, දවසක් මෙයාට වට පිටාවෙ තියෙන බෝග වගාවට අලි ඇවිල්ලා කියලා ඇහෙනවා . මෙයා කරන්නේ ළඟ තිබුණ ඩෝලෙ අරන් ගහනවා. ටිකක් වෙලා බලා හිටපු අලියා හිමින් සැරේ ආපහු යනවා. පහුවදාත් මේ දේම වෙනවා. මෙයා හඳුනා ගන්නවා ඩෝලෙ හඬට තමයි මේ අලියා ආපහු යන්නේ කියලා. මෙයා අසල්වැසි පුද්ගලයාටත් මේ බව කියනවා. ඔහු ළඟත් ඩෝලයක් තියෙන නිසා ඊළඟ දවසේ දෙන්නම එකතු වෙලා ඩෝල ගහනවා. මෙන්න මේ කාරණයත් එක්ක තමයි මේ පොතේ නම " අලි ඩෝලේ" වුණේ. මේ පොත කියවපු සමහර දරුවන් අහනවා, අලි ඩෝල ගන්නේ කොහෙන්ද? කියලා. ඒත් එහෙම විශේෂ ඩෝල වර්ගයක් නැහැ.

2019 රජත පුස්තක සම්මානය උළෙලේ යොවුන් නවකතා අංශයෙන් අවසන් වටය සඳහා " අලි ඩෝලේ" නිර්දේශ වීමෙන්, ඔබේ උත්සාහයට යම් වටිනාකමක් එක් වෙනවා නේද?

මගේ කිසිම කටයුත්තක් සම්මාන බලාගෙන කරන ඒවා නෙමෙයි. මට අවශ්‍ය වුණේ මේ පොත ළමයින් අතරට ගෙන යන්න වගේම, සමාජ කතිකාවක් ඇති කිරීමටයි. අද මේ අත ඇරලා දාලා තියෙන්නේ ජාතික ප්‍රශ්නයක්. ‍අලි සම්පත අපේ රටෙන් තුරන් වෙලා ගියොත්, අපේ රටට සංචාරකයෝ එන්නේ නැහැ. මේ රටට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් එන්නේ අලි නැරැඹීමටයි. ඒත් අවාසනාවට, අපේ රටේ අලි සම්පත රැක ගන්න කියලා කිසි ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒත්, අලි නමින් හෝටල්, සාංචාරක ආයතන ඕනෑ තරම් තිබෙන‍වා.

මේ සම්පත අපගේ ඊළඟ පරම්පරාවට ඉතිරි කර තබන්නට උත්සාහ ගැනීම විතරයි මගේ අරමුණ වුණේ.

සම්ප්‍රදායික යොවුන් නවකතා ආකෘතිය වෙනස් කරමින් ලියැවුණු මේ පොත, සම්මානයක් සඳහා නිර්දේශ වීමෙන් ම යම් ඇගැයීමකට ලක් වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් යම් සතුටක් තිබෙනවා. ඒ සතුට පෞද්ගලිකව භුක්ති විඳින සතුටක් නෙමෙයි. ජනශ්‍රැතිය නිවැරැදිව අධ්‍යයනය කරනවා නම්, අපේ නවකතා ‍විතරක් නෙමෙයි, අපේ සාහිත්‍ය උඩු යටිකුරු කළ හැකි අත්දැකීම් තිබෙනවා.

අපේ රටේ උරුමයන්ට කෙණෙහිලි කම් කරන, අවතක්සේරුවට ලක් කරන පරිසරයක් තුළ, මෙවන් සම්මානයකට නිර්දේශ වීමෙන්, මා ගත් වෑයම යම් ප්‍රමාණයකට ඇගැයීමකට ලක් වීම වටිනවා.

"අලි ඩෝලේ" මඟින් පළ කරන්නේ, නව තාරුණ්‍ය පිළිබඳ ඔබ තුළ ඇති විශ්වාසය ද?

ඉස්සර සමා‍ජයේ, පාසලේදී විදුහල්පති හෝ ගුරුවරුත්, විශ්වවිද්‍යාල මට්ටමින් නම් අංශ ප්‍රධානීන්ටයි, තමන්ගේ අභිමතය පරිදි කපලා කොටලා දක්ෂතා මොට කිරීමට, හැකියාව තිබෙනවා. වර්තමානයේත් යම් ප්‍රමාණයකට ඒ තත්ත්වය තිබුණත්, නව මාධ්‍ය ඔස්සේ ඒ හැකියා මොට කළ නොහැකියි. කොතැනින් කප්පාදුවට ලක් වුණත්, නව මාධ්‍ය ඔස්සේ හැකියා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දැන හැඳිනුම්කම් හෝ මුදල් මත හැකියාව වළක්වාලීමට තිබූ අවකාශ පුපුරලා ගිහින් තිබෙනවා.

මෙය අපේ දේශපාලනඥයන් දන්නේ නැහැ. බලය හා ධනය මඟින් අපේ රටේ සමාජය, විශාල ලෙස දූෂණය කරනවා. හැකියා තිබෙන නව පරම්පරාවට ඉදිරියට එන්න දෙන්නෙම නෑ. ඒ නිසයි 71 දීත්, 87-89 දීත් , උතුරේ සමාජයත් පුපුරා යන්නේ. ඒ සමාජ පීඩනය දේශපාලනය මඟින් කරන හැප්පීමකින් වන පිපිරීමක්. ඒත්, ඉදිරි සමාජයේ මෙවන් පිපිරීම් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. නව මාධ්‍ය හරහා මේ රට තුළ පමණක් නෙමෙයි‍, ලොව පුරා ගනුදෙනු කිරීමට අවස්ථාව හිමි වෙනවා. නව තාරුණ්‍යයේ ශක්ති යටපත් කිරීමට දේශපාලනඥයන් උත්සාහ කළත්, යටපත් වන්නේ දේශපාලනඥයන් මිසක්, නව තාරුණ්‍යයේ දක්ෂතා නෙමෙයි.

සංවාදය ක්‍රිසන්ති විතාරණ


නව අදහස දක්වන්න