සක්වළ අවිවලට වඩා සිත්වල සවිය බලවත් | දිනමිණ

සක්වළ අවිවලට වඩා සිත්වල සවිය බලවත්

ශාස්ත්‍රපති චාමික මුණසිංහ

එළැඹෙන වෙසක් පොහොය නිමිති කර ගනිමින්,“සක්වළ දැක්ම සහ බඹලොව ගමන” හෙවත් ”සසර පැවැත්ම සහ සසර නැවැත්ම” නමින් නවත ම කෘතියක් ‘සාහිත පොත් පියස’ මඟින් ඉකුත් දා එළිදක්වනු ලැබුණි. එහි කතුවර, ශාස්ත්‍රපති චාමික මුණසිංහ සමඟ එම කෘතිය පිළිබඳ කළ පිළිසඳරකි මේ.

‘සක්වළ දැක්ම සහ බඹලොව ගමන‘ ඔබේ නවතම කෘතියයි. මෙය රචනා වීමට බලපෑ පරිසර සාධක ගැන පැවසුවොත්?

ලෝක සාහිත කෙතේ පවා බඹලොව ගැන පොතපත ඉතා විරලයි. ඒත් වාසනාවකට වගේ අපේ රටේ බඹලොව ගැන විවිධ විස්තර දැක්වෙන නොයෙක් පොතපත තිබෙනවා. ඒත්, මේ සියල්ල විමර්ශනය කරලා එක්තැන් කළ සවිස්තරාත්මක කෘතියක යම් අඩුවක්, හිඩැසක් නොතිබුණා ම නෙමෙයි. අප කළ මේ ඌණපූර්ණයෙහි ඇති සාර්ථකත්වය තීරණය කිරීම, බුද්ධිමත් පාඨකයාට බාරයි.

කොහොම නමුත්, විවෘත ආර්ථිකයෙන් නිර්මිත නූතන සේරිවාණිජ සමාජයේ බලගැන්වෙන්නේ ඉල්ලූමට සැපයුම කියන න්‍යායයි. මෙය එම ගොහොරු මඬේ සුපිපි නෙළුමක් නම්, පුහුදුන් සියලූ මස්තකයන්ට, සත්ත්වයන්ට මුතු කුඩයක් වේවි. හැම ආගමකට ම ඉහළ පහළ සුගති දුගති ස්වර්ග අපාය ගැන විශ්වාස පවතිනවා. අප එහි පිනෙන් පිරෙන විට ඉහළටත්, පවින් බර වනවිට පහළටත් ගමන් කරනවා. මේ කාරණය මතුපිටින් නොබලා, ගැඹුරින් විමසා බැලීම වටිනවා. වසර කිහිපයක් තිස්සේ බොහෝ පාඨක ඉල්ලීම්වලට ඇහුම්කම් දෙමින් අප කළ ගවේෂණයෙහි අස්වැන්නයි, මෙලෙස කෘතියක් ලෙස තිළිණ කළේ.

සක්වළ අවිවලටත් වඩා සිත්වල සවි බලවත්. සක්වළ ගැනත්, සිත, කය, භවය ගැනත් චිරන්තන බුදු දහමේ තරම් නවීන විද්‍යාවේ ද විස්තර වෙන්නේ නෑ. සඳ මඬල වගේ එය විවෘත වන තරමට ම එහි එළිය ලොවට ලැබෙනවා.

මේ කෘතියෙහි අන්තර්ගතය, පෙළගැස්ම සහ ඉදිරිපත් කිරීම යන කාරණා තුළ ඇති විශේෂතා කවරේද?

”සක්වළ දැක්ම සහ බඹලොව ගමන” කියන කාරණාව යටතේ සසර පැවැත්ම වගේ ම, සසර නැවැත්ම යනු කුමක් ද? එය කෙසේ සිදුවනවා ද? යන්න මූලිකව විමසා බැලෙනවා. එසේ ම සක්වළෙහි සහ සත්වයාගේ ආරම්භය, අවසානය, විශ්වයේ විසිතුරු ම විසිරුණු ම විස්මිත ම දේ කුමක් ද? අරූප ධ්‍යාන ලෝක, මෙකළ නිවීමට ඇති හොඳ ම තැන කොහේ ද? නිවන් දුටු මඟඵල ලැබූ උතුමන් අදටත් වැඩ සිටිනවා ද? නිවන් යන්නන් වැඩි වීමෙන් ලෝකයේ සත්ත්වයන් අඩු වේවි ද? යනා දී කුතුහලය දනවන කාරණා බොහොමයක් විස්තර කෙරෙනවා.

මීට අමතරව, ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සහ පන්සිය පනස් ජාතක කථාවල මෙන් ම, බෞද්ධ සාහිත්‍ය පුරාම එන බඹලොව හා සබැඳි බොහෝ කථා, සිතුවම් සටහන් කාව්‍ය ආදියත් ග්‍රන්ථයට ඇතුළත් කළා. ඒ වගේ ම, පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ එන බඹලොව හා සබැඳි විවිධ මූලාශ්‍ර ජනශ්‍රැති ආදියත්, අද්‍යතන පොතපතෙහි ඊට අදාළ විස්තරත් හැකිතරම් එක් කළා.

ඔබ අද්‍යතනයේ ජීවමානව වැඩ නොසිටින අති දුර්ලභ මහා තෙරුන් තිදෙනකුගේ අදහස් ආශ්‍රය කර ගනිමින් මේ සාකච්ඡාව සජීවී ආකාරයෙන් ඉදිරිපත් කළේ කොහොමද?

ඒ සඳහා උන්වහන්සේලාගේ සියලූ ම ලිඛිත අදහස් පළමුව හොඳින් අධ්‍යයනය කළා. දෙවනුව මතු කරන ගැටලූවලට පැනසරව ඊට දී ඇති පිළිතුරු වෙන් කර ගත්තා. ඉනික්බිතිව ඒවා සංවාදදීලි ලෙස සරලව, රසවත්ව පෙළ ගැස්වූවා. එමඟින්, උන්වහන්සේලාගේ ගැඹුරු අදහස්වල ඇති ජීව ගුණය සජීව ලෙස ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා මට හැඟෙනවා.

අභිධජ මහා රට්ඨගුරු බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, අනාගාමී මගඵල ලැබ බඹලොව වැඩියැයි සැලකෙන මහාචාර්ය රේරුකානේ චන්දවිමල සහ යළි භවයක් නොපැතූ අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල යන මහා නාහිමිවරුන්ගේ ලිඛිත අදහස්, මේ විධිහට මතු පරපුරට මේ කෘතිය හරහා දායාද කළා.

ඔබේ කෘතියේ ”සක්වළ දැක්ම සහ බඹලොව ගමන”ට අමතරව ”සසර පැවැත්මයි සසර නැවැත්මයි” යනුවෙන් යොදා තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?

බඹලොව හා සබැඳි අභිනව සත්ත්වයන්ගේ ආරම්භය පිළිබඳ බොහෝ දෙනාට ගැටලූ තිබෙනවා. රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ඒ පිළිබඳ කරන විග්‍රහයක් මෙසේ අවසාන වශයෙන් උපුටා දැක්විය හැකි යි.

“අභිනව සත්වයන් පහළ නොවෙත් නම්, පුරාණ සත්ත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයෙන් සත්ත්වයන් අඩු වී දීර්ඝ කාලයකින් ලෝකය හිස් නොවන්නේ ද යනු සත්ත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්නයකි.

සත්ත්වයෝ අනන්ත වෙති. ඔවුන්ගේ පරිච්ඡේදයක් ප්‍රමාණයක් නැත්තේ ය. ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්‍ෂයෙහි වූ ස්වභාවයන්ගේ අඩු වැඩි වීමක්, අවසන් වීමක් නැත්තේ ය. ඒ බව මෙසේ තේරුම් ගත යුතු ය. පටන් ගැනීමක් නැති බැවින්, අතීත කාලය ද අවසානයක් නැති බැවින් අනාගත කාලය ද අනන්ත වෙයි. ඒ කාල දෙකින් වඩා දීර්ඝ කාලය කුමක්දැයි සොයතහොත්, දෙක ම දීර්ඝ ප්‍රමාණයෙන් සම යයි පිළිගත යුතු වේ. අතීතය අනාගතයට වඩා හෝ අනාගතය අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොට ය කියා හෝ කිව හැකි නොවේ. දෙපසෙහි අනන්තභාවයෙන් සමව ම ආකාශය තිබේ. කවර කලෙකවත් එහා කොණකට නොපැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තුවේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත් වීම හා ඉදිරියේ තිබෙන ප්‍රදේශය කුඩා වීම ද පියවරක් පාසා සිදු වේ. අනන්ත වස්තු එසේ අඩු වැඩි නොවී සමව පවතිත්. සත්ත්වයෝ ද මේ කාල, ආකාශයන් මෙන් අනන්ත වෙති.“

මේ වගේ තොරතුරු මඟින් ඔබට, බඹලොව පිළිබඳ මනා අවබෝධයක් ලබන්න මේ කෘතිය මඟින් පුළුවන්.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න