මා තුළ ම කවිය මැරුණා | දිනමිණ

මා තුළ ම කවිය මැරුණා

කමලා දාස්

කමලා දාස් ඉන්දියානු කිවිඳියකි. කෙටිකතා රචිකාවකි. චිත්‍ර ශිල්පිනියකි. තීරු ලිපි රචිකාවකි. ‘මාධවීකුට්ටි‘ යන අන්වර්ථ නමින් ඈ බොහෝ කාලයක් ලේඛනයේ නිරත විය. කේරළය පුරා ඈ ප්‍රකටව ඇත්තේ කෙටිකතා රචිකාවියක සහ ස්වයං ලිඛිත චරිතාපදාන රචිකාවියක ලෙසිනි. Alphabet of Lust නවකතාව ද, My Story ස්වයංලිඛිත චරිතාපදානය ද, A Doll for the Child Prostitute සහ Padmavati the Harlot and Other Stories යන කෙටිකතා පොත් දෙක සහ කාව්‍ය ග්‍රන්ථ 11ක් ලියා පළ කළ ඕ තැබූ සාහිත්‍යාත්මක සලකුණ, කිසිවකුට මැකිය නොහැකි තරම් ය.

මම ‍තෝර ගත්ත ජීවනෝපාය මාර්ගය වෙනුවෙන්, ගැහැනියක් වෙලා ඉපදීම වැ‍රැදීමක්. ඉන්දියාව ඇතුළේ ගැහැනු කියන්නෙ මුළුතැන්ගෙට සීමා වෙච්ච මනුෂ්‍ය කොට්ඨාසයක් කියලා, ඒ අයම සීමා පනවගෙනයි ඉන්නේ. සමාජයේ වෙන චරිතයක් රඟපාන්න ඒ අයට ඉඩ නැහැ. සෙසු සියලු දේම කරන්න කලින් කු‍ටුම්භයට හොඳ බිරියක්, මවක් කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනා. මේ ඔක්කොම ඔප්පු කරලා පෙන්නන්න අවුරුදු ගණනක් මඟ බලාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නෙ මහලු වෙනකන් බලන් ඉන්න වෙනවා කියන එකයි. මට එහෙම බලාගෙන ඉන්න තරම් කාලයක් තිබ්බෙ නෑ. මට තිබුණෙ නොඉවසිල්ලක්. ඒ නිසා කලින්ම ලියන්න පටන් ගත්තා. සමහර විට මම වාසනාවන්ත වෙන්නත් ඇති. පවුලේ ආදායමට මමත් යමක් එකතු කරන එකට මගේ ස්වාමි පුරුෂයා කැමැති වුණා. ඒ නිසා ම ගෙදර ඔක්කොම වැඩ ඉවර කරලා, දරුවන්ට කෑම දීලා, ස්වාමියාට කෑම දීලා, මුළුතැන්ගේත් පිරිසුදු කළාට පස්සේ, එළි වෙනකන් වාඩිවෙලා ලියන්න මට අවසර ලැබුණා. හැබැයි ඒ ලිවීමේ ක්‍රියාදාමය නිසා මගේ සෞඛ්‍ය පිරිහුණා. මට ලියන මේසයක් තිබුණේ නෑ. මුළුතැන්ගෙයි එළවළු කපන මේසෙ උඩ ටයිප් රයිටරයක් තියාගෙනයි මම ලිව්වේ. කුස්සියේ මේසෙ උඩ තියෙන කෝප්ප, පිඟන් අස් වෙන්නෙත් රෑට විතරයි.

මගේ වැඩබිම තිබුණේ කුස්සියේ. සාමාන්‍යයෙන් ගෘහනියක් වුණාම වැඩ විදිහට සිහියට එන්නේ ඇඹරුම් ගල් හරි, මිශ්‍ර කරන්න පාවිච්චි කරන උපකරණ වගේ දේ නෙ. ඒ වුණාට මට වැඩ විදිහට ඔළුවට එන්නෙ ටයිප් රයිටර් සහ හිස් කොළ. ගෙදර ඔක්කොම නිදි අතරේ, පැය ගාණක් කුස්සියේ වාඩිවෙලා මම ඉන්නවා. රාත්‍රිය, මගේ අණසකට යටත් වෙන්නෙ ඊට පස්සේ. මගේ පවුලෙ ඔක්කොම අය අමතක කරලා, නිදහස භුක්ති විඳින්න ලැබෙන්නෙ ඒ වෙලාවට විතරයි. රෑ ගෙවෙන පැය ගාණ ඇතුළත විතරයි, මම කියලා ඇත්තටම කෙනෙක් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.

මම බොහොම සංවේදී කෙනෙක්. මගේ දරුවන්ටයි, ස්වාමි පුරුෂයාටයි ඉතාම තදින් බැඳුණ කෙනෙක්. හැබැයි ඒ ගතානුගතිකව නෙවෙයි. මේ අතරෙම, ලියන අතරේ ඒ අය සම්පූර්ණයෙන් ම හිතින් අයින් කරලා දාන්නත් මට පුළුවන්. මේ භූමිකා දෙකම එක විදිහට සමබරව කරගෙන යන්න මට හැකියාව තිබෙනවා. උදේ පාන්දරට කිරිකාරයා එනකන් මම කෙටිකතා, තීරු ලිපි ලියමින් ඉන්නවා. ඒ ලෝකෙ තනියෙම, නිදහස්ව ජීවත් වෙන විදිහ මම ප්‍රගුණ කරලයි තියෙන්නේ. කලින් කිව්වා මගේ මේ වැඩ දෙකම දිගින් දිගටම කරගෙන යන එක ලේසි නෑ. එකෙන් මට ලැබුණේ අධික වෙහෙසක්, තෙහෙට්ටුවක්. මගේ ශරීර සෞඛ්‍ය පිරිහුණේ නොනැවතීම නිදිමැරීම නිසයි. සෞඛ්‍ය තරමක් අයහපත් වුණ එකෙන් මට යම් වන්දියකුත් ලැබුණා. ඒ ලියන්න වෙලාව ලැබුණ එක. ගෙදරට බැඳිලා ඉන්න ගෘහණියකට, මළල ක්‍රීඩකයකුට වගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ වගේම, ගෙදරට බැඳිලා හිටීමෙන් වැඩිපුර ලියන්න කාලෙ ලැබෙනවා. මේවා සෘජුව සහ වක්‍රාකාරයෙන් එකිනෙකට උදවු කරනවා.

කිවිඳියක්, කෙටිකතාකාරිනියක් වගේම, චිත්‍ර ශිල්පිනියක් විදිහට විවිධ චරිතවලට ආවේශ වෙන්නෙ කොහොමද කියලා මගෙන් ප්‍රශ්න කරනවා. මම හිතන්නේ මේ හැම චරිතයක්ම වෙනම ගලවලා එළියට අරගන්න හරිම අමාරුයි. ඕනැම පුද්ගලයෙක් තමන්ට ලැබෙන අත්දැකීම් එක්කයි ඔහුගේ හෝ ඇයගේ ඇතුළේ ජීවත් වෙන චරිත එළියට එන්නේ. මට චිත්‍ර අඳින්න කාලයක් ඕන වුණා. කවි, ප්‍රබන්ධ, නාට්‍ය ලියන්න. ඒ විතරක් නෙවෙයි. මම වැඩිපුරම කළේ තීරු ලිපි ලියන එකයි. මට වෘත්තීය ලේඛකයෙක් වෙන්න සිද්ධ වුණේ කවියෙක් විදිහට තව දුරටත් පැවතීම අමාරු නිසයි. මේ රටේ කවි පොත් විකිණෙන්නේ නෑ. ජීවිකාව පවත්වගෙන යන්න කවියෙක් විදිහට පැවතීම එච්චර නුවණක්කාර නැහැ. නොනැසී පවතින්න ඕන නිසාම මම තීරු ලිපි රචිකාවක් වුණා. ඒත් ඒ පරිවර්තනය නොසෑහෙන අමාරු දෙයක් විදිහටයි මට දැනුණේ. නොනැසී පවතින්නත්, ජීවිතය පාවෙමින් පවත්වා ගන්නත් ඒ තීරණය උදවු වුණා. ඒ ගැන මගේ හිතේ පසුතැවීමක් නෑ. සමහර විචාරකයෝ, මම එක මාධ්‍යයක් ‍තෝරගෙන වැඩ කළා නම් වැඩිපුරම හොඳයි කියලා හිතුවා. ඒත් මම එහෙම හිතන්නෙ නෑ. එක මාධ්‍යයක විතරක් දිගින් දිගටම වැඩ කළා නම්, කම්මැළිකමෙන් මාව මිරිකිලා යන්න තිබ්බා. මට ඕන වුණේ මේ ජීවිත කාලෙ ලබන්න පුළුවන් ඔක්කොම අත්දැකීම් ටික අරගන්න. මොකද නැවත ඉපදීමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා ම, මේ ජීවිත කාලෙ ඇතුළෙම මට ළඟා වෙන්න පුළුවන් ඔක්කොම අත්දැකීම්වලට සමීප වෙන්නයි මට ඕන වුණේ.

තීරු ලිපි ලියන්න කලින් මට, ලේඛකයෙක් විදිහට නමක් හදා ගන්න සිද්ධ වුණා . හොඳ ලේඛකයකුට විතරයි පත්තරේකින් තීරු ලිපියක් ලියන්න කතා කරන්නේ. ඒකට මුහුකුරා යන්න ඕනා. තමන්ගෙ හැකියාව ගැන තමන් තුළ ම යම් විශ්වාසයක් ගොඩනැ‍ඟෙන්නත් ඕනා. හොඳ තීරු ලිපි ලියන්නෙක්, හරියට ඡන්දෙකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් වගෙයි. තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම්, ඒ ලේඛකයාට කියවන්නො වගේම, අනුගාමිකයෝ ලැබෙනවා. කෙනකුට, පැතිරුණු කියවන්නන් පිරිසක් එකතු කර ගන්න පුළුවන් නම්, සමාජ සේවකයකු වෙන්න ඔබට පුළුවන්. ලේඛකයකුට තමන්ගේ කියවන්නාගේ සිතීමේ මාදිලිය මෙහෙයවන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ භක්තිවන්ත ලේඛකයන් ලේසියෙන්ම මෙහෙයවන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම බැලුවහම, මෙහෙයවීම කියන්නෙත් හැම වෙලාවෙම නරක වචනයක් නෙමෙයි. සෘජුව මැදිහත් නොවී, කියවන්නාට යන මාර්ගය පෙන්නන්න ලේඛකයාට පුළුවන්. ලේඛකයන්, තමන්ගෙ ශක්තිය එකතු කරගන්නෙ එහෙමයි. ඒ අය සමාජ සේවකයෝ විදිහට වැඩ කරන්න පටන් ගන්නේ, දේශපාලනට යොමු වෙන්නේ මෙන්න මේ ශක්තිය එකතු කරගෙනයි. ලියන්න පටන් ගත්තු මුල් කාලෙ ප්‍රශ්න තිබ්බට, මේ ජීවිතේ හිතපු තරම් ම නරක නෑ.

මගේ ලිවීම පිටිපස්සේ හිටියේ මගේ සැමියා. මම ලේඛිකාවක් වීම ගැන දයාවක් එයාගෙ හිතේ නොතිබුණා නම්, මම ලේඛිකාවක් නොවෙන්න තිබ්බා. ලේඛිකාවෝ, කලාකාරියෝ වෙන්න තීරණය කරපු, ඒත් ඒ අයගේ සැමියන් නිසා ඒ අදහස් අතෑරලා දාපු කාන්තාවෝ ඕන තරම් මම දන්නවා. මගේ තත්ත්වෙ ඊට ප්‍රතිවිරුද්ධයි. මගේ ලිවීම් ගැන ඔහු ආඩම්බර වුණා. ඒ ආඩම්බරය මට ලොකු උදව්වක් වුණා. මම විවාහ වුණේ අවුරුදු 15දී. මගේ සැමියා මට වඩා තරමක් වැඩිමහල්. මගේ විවාහ ජීවිතේ ඇතුළේම, දරුවන් ලබමින්, ඔවුන් එක්කමයි මට වැඩෙන්න සිද්ධ වුණේ.

වැඩීම් හරි ම තෘප්තිකර වෙන්නෙ, ඒකෙන් එක ජීවිත කාලෙට ආත්ම කීපයක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන නිසයි. මේ ජීවිත කාලෙ ඇතුළේ මට නොයෙක් දේ අත්දකින්න, දකින්න, අහන්න සිද්ධ වෙනවා. ඒත් මම හැම තිස්සෙම හිටියේ ලොකු හදිස්සියකයි. ඒ වගේම, වයසට යාම අපි නොදැනුවත්වම වෙන්නත් පුළුවන්. සෙසු අය ඒ බව දැනගෙන ඉන්න පුළුවන්. තමන් වයසට යනවා කියනෙක ගැන සබුද්ධිකව ඉඳීම වෙනම වැඩක්. හැබැයි මම එහෙම නෑ. වයසට යනවා කියලා මට කවදාවත් දැනිලා නෑ.

මගේ ලිවීම ඇතුළේ හැමදාම, හැමතිස්සෙම මම හිටියා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා හැම ලේඛකයෙක්ම තමන් ලියන දේ ඇතුළේ තමන්ගේ යම් කොටසක් ඉතිරි කරනවා කියලා. කිසි කෙනකුට ඒකෙන් ගැලවෙන්න බැහැ. ඔබේම නිර්මාණය ඇතුළේ යම් හබකකට අහුවෙලා ඉන්න ලේඛකයාට සිද්ධ වෙනවා. ඕනම නිර්මාණයක ඉතාම වැදගත් කොටස ඒකයි. මගේ කවි ඇතුළේ, කෙටිකතා, චිත්‍ර ඇතුළේ මගෙන් කොටසක් ඉතිරිවෙලා තියෙනවා.

අවුරුදු 20දි විතර මම හිතුවා දොස්තර කෙනෙක් වෙන්න. ඒත් පහුකාලීනව ලේඛකයෙක් විදිහට මට මා පිළිගන්න පුළුවන් වුණා. ලිවීමෙන් මම ප්‍රමෝදයට පත් වෙනවා. ඒත් ඒ ප්‍රමෝදය අඩු වෙමින් යනවා. කලින් වගේ ලියන්න ඇති තරම් කාලයක් දැන් මට ලැබෙන්නෑ. වැඩිපුරම මට සිද්ධ වෙලා තියෙන්නෙ තීරු ලිපි ලියන්න. කවි ලියන එකත් නතර කරන්න සිද්ධ වුණේ, ආර්ථිකය දිහා බලාගෙන වැඩ කරන්න වුණ නිසයි. මගේ සැමියා ඔහුගේ ‍රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ, විකිණිය හැකි දේ විතරක් ලියන්න ඕනා කියන අදහස ඔහු මට කිව්වා. මම ඒක පිළිගත්තා. ඒ අතරෙන් තීරු ලිපිවලට තමයි වැඩිපුරම ගෙව්වේ. කවිය මගේ ඇතුළෙදිම මැරුණා. කු‍ටුම්භයට උදවු නොකරන දෙයකට කාලය නාස්ති කරන එක ගැන තිබ්බ වරදකාරී හැඟීම නිසයි, මම කවි ලියන එක අතෑරලා දැම්මේ.

සැමියාට හොඳ වේතනයක් ලැබෙන ‍රැකියාවක් තිබ්බත්, අපට සල්ලි ඉතිරි කර ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. සමහරවිට එයාට සකසුරුවමට හුරු බිරියක් හිටියා නම්, මේ තත්ත්වෙ උදා නොවෙන්න තිබ්බා. මට ඕන වුණේ සල්ලි ඕනකමින් අසරණ වුණ මිනිස්සුන්ට සල්ලි දෙන්න, නොයෙක් අයට තෑගි දෙන්න වගේ වැඩ කරන්නයි. ඒ නිසා ම කවදාවත් පෝසත් වෙන්න මට බැරි වුණා.

මාස 06 ට විතර කලින් මම කැනඩාවෙ සංචාරයක ඉන්න අතරේ, ඒ ගමනේ වියදම් දැරූ කෙනා ටයිප් රයිටරයක් සහ කොළ තොගයක් දීලා මට ලියන්න කිව්වා. හැම රෑම මම ලිව්වා. අන්තිමට කවි 23ක් ලියලා ඉවර කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන සතුටක් සහ සැනසීමක් මට දැනුණා. හැම බාධකයක්ම ඉවරයි, දැන් මට ආයෙ කවි ලියන්න පුළුවන් කියලා එකපාරටම මට හිතුණා. ඒත්, නැවත ඉන්දියාවට ආවට පස්සේ, සුපුරුදු ජීවිතේටම වැ‍ටුණා. ඊට පස්සෙ ආයෙ කවි ලියන්න වෙලාවක් ලැබුණේ නෑ. කාටහරි මගේ නිවාඩුවක් වෙනුවෙන් බර පැණ දරන්න පුළුවන් නම්, කවි පොතක්ම ලියන්න පවා පුළුවන් කියලා ඊට පස්සේ මට හිතුණා. ඒත් එහෙම කෙනෙක් කොහේහරි ඉදියිද?

ක්‍රමාණුකූලව ඉගෙනගත්තා නම්, මට ඉංග්‍රීසි මහාචාර්යවරියක් වෙන්න තිබ්බා. ඒත් මම මවුපියන්ගෙ සල්ලි ඒ වෙනුවෙන් වියදම් කළේ නෑ. ඒ නිසා ම, මට බුල්ඩෝසරයක් වගේ වැඩ කරන්න ලැබුණා. විශේෂයෙන්ම පාසල් යන කාලෙ මම ගණිතයට හරිම දුර්වලයි. ඉංග්‍රීසි, ඉතිහාසය වගේ විෂයන්වලින් මම හොඳ ම ලකුණු ගත්තා. ගණිතය තමයි මගේ පාසල් ජීවිතයම අවුල් කළේ. ඒ නිසා ම, දැනටත් මට පාසල්වලට යන්න බැරි අනියත බයක් තියෙනවා. පාසල්වල ඉන්න හැම ගණිත ගුරුවරයෙක්ම අදටත් මා බය කරවනවා.

මතභේදාත්මක දේ ලියන එකෙන් මම සතුටට පත් වෙනවා කියලා බොහෝ අය හිතනවා. නැහැ. මම ඒකෙන් අපමණ පීඩාවටයි පත් වෙන්නේ. මගේ විදිහ කෙළින් කීමයි. ඒ විදිහ හින්දු ගැහැනියකට තරම් නොවෙයි වෙන්නත් ඇති. මගේ තරුණ අවධියේ ඇතිතරම් මට ආදරය ලැබුණේ නෑ කියලයි මම හිතන්නේ. ඒ නිසා ම, පහුකාලීනව නොයෙක් සම්බන්ධකම්වල පැටලෙන්නත් සිද්ධ වුණා.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

http://bit.ly/2vUJZSp
http://bit.ly/2LFWmfV


නව අදහස දක්වන්න