බස පිළිබඳ දැන ගන්න සිංහල අකුරු පුරාණය කියවන්න | දිනමිණ

බස පිළිබඳ දැන ගන්න සිංහල අකුරු පුරාණය කියවන්න

සිංහල භාෂාව වූ කලී භාෂණය හා ලේඛනය යන ප්‍රභේද දෙකින්ම යුක්ත සන්නිවේදන මාධ්‍යයකි. සිංහල භාෂාව ලියා දැක්වීම සඳහා භාවිත කරන අක්ෂර මාලාව, සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි.

සිංහල යනු ජීව භාෂාවක් නිසා එය ලිවීමට භාවිත කරන අකුරු ද කාලයත් සමඟ වෙනස් වී ඇත්තේ, සිංහල භාෂාව ව්‍යවහාර කරන ජනතාවගේ විවිධ වූ අවශ්‍යතා අනුව ය. යතුරු ලියනය, මුද්‍රණ යන්ත්‍රය නිසා මෙන් ම, පරිගණක තාක්ෂණය නිසාද සිංහල අකුරුවල හැඩයන් වෙනස් වී ඇත. කෙසේ වෙතත් වර්තමානය වනවිට සිංහල අක්ෂර සංඛ්‍යාව වැඩි වී ඇති අතර, අලුත් අකුරු ද එක් වී ඇත.

මෙකී පසුබිමක් යටතේ, සිංහල අකුරු පිළිබඳ කුඩා කල සිටම පැවති මහත් ආශාව නිසා, විවිධ හැඩයෙන් යුතු අකුරු පිළිබඳ සොයා බලා, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් රචනා කළ නවතම ග්‍රන්ථය ‘සිංහල අකුරු පුරාණය’ නම් වේ.

කතුවරයාට අනුව පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදී පිළිවෙළ,අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අක්ෂර වින්‍යාසය, සිංහල අකුරුවල රූපික අනන්‍යතාව හා සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම් පිළිබද විවරණයක් සැපයීම ය. සිංහල අක්ෂර මාලාව සම්බන්ධයෙන් මෙතෙක් ග්‍රන්ථ රාශියක් පළ වී ඇතත්, සිංහල භාෂාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම, සිංහල භාෂා විෂය කරුණු ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද ගැළපෙන ආකාරයෙන් සිංහල අකුරුවල ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් මෙතෙක් ලියැවී නැත.

ඒ අඩුව මනාව සපුරාලීමට , සඳගෝමි කෝපරහේවා මහාචාර්යවරයාගේ මේ ‘සිංහල අකුරු පුරාණය’ ග්‍රන්ථය සමත් වන බව කිව හැකි ය. ඒ අනුව සිංහල අකුරේ තොරතුරු හා වගතුග පිළිබඳ මාතෘකා තිස්පහක් ඔස්සේ මෙහි කරුණු ඇතුළත් කර තිබේ. ඒ අතරම , සිංහල අකුරු හා බැඳුණු නොයෙක් රූප සටහන් හා ඡායාරූප රැසක් මෙහි අන්තර්ගත වීම විශේෂත්වයකි.

පළමු මාතෘකාව යටතේ භාෂාව, ලේඛන ක්‍රමය හා අක්ෂර මාලාව පිළිබඳ පැහැදිලි විග්‍රහයක් සරලව විස්තර කර ඇත.

“භාෂාව යනු මානව වර්ගයාට පමණක් සුවිශේෂ වූ සන්නිවේදන මාධ්‍ය වේ. මිනිසා කතා බහේදී අදහස් පළ කරන්නේ ශබ්ද මාර්ගයෙනි. ඒ අනුව භාෂාව ශබ්දවලින් සැදුණු රටා සමුදායකි.”යනුවෙන් භාෂාව පිළිබඳ ඉතා අපූරුවට විග්‍රහ කර ඇත. සිංහල අක්ෂර මාලාව ද රූප සටහන් සහිතව පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ලේඛන ක්‍රමයෙහි වැදගත්කම, එහි කාලීන වෙනස්කම් ආදිය ද මෙහි ඇතුළත් ය.

ඉන් පසු මාතෘකා පෙළගැසෙන්නේ, සිංහල භාෂාව හා අක්ෂර මාලාව, බ්‍රාහ්මී අක්ෂර හා සිංහල අක්ෂර, සිංහල අක්ෂර මාලාවේ පරිණාමය, (යුග 5ක් යටතේ විග්‍රහකොට ඇත.) සිංහල සෙල් ලිපි අකුරු, සිංහල පුස්කොළ අකුරු, සිංහල මුද්‍රණ අක්ෂර, සිංහල යතුරු ලියනයේ අකුරු, සිංහල අත් අකුරු යනාදී ලෙසින් තොරතුරු හා රූප සටහන්, ඡායාරූප ආශ්‍රයෙන් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ‘සිංහල හෝඩි ප්‍රභේද හා අක්ෂර සංඛ්‍යාව’ යන මාතෘකාව ඔස්සේ තොරතුරු ඉදිරිපත් කර ඇත. එහි සිදත් සඟරා හෝඩිය, අමිශ්‍ර සිංහල හෝඩිය,පන්සල් හෝඩිය, වදන් කවි හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය, ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය, සිංහල යුනිකෝඩ් හෝඩිය ලෙස හෝඩි සියල්ල ඇතුළත් ය. ‘සිංහල අකාරාදී පිළිවෙළ’ මාතෘකාව යටතේ ද මැනවින් තොරතුරු විග්‍රහ කර ඇත.

“අකාරාදී පිළිවෙළ යනු භාෂාවක අක්ෂර යෙදෙන අනුපිළිවෙළ යි. “

සිංහල ලේඛන කලාවේදී අකාරාදී පිළිවෙළ ඉතා වැදගත් වේ.

මීට අමතරව ප්‍රාණාක්ෂර හා ගාත්‍රාක්ෂර, අල්පප්‍රාණ හා මහාප්‍රාණ අක්ෂර, ඝෝෂ - අඝෝෂ අක්ෂර, තාලුජ අක්ෂර, මූර්ධජ හා දන්තජ අක්ෂර යෙදීම් ද ඇතුළත් ය.

ඒ ඒ තොරතුරුවලට අදාළව ඡායාරූප හා රූපසටහන් ද සහිතව කරුණු ඉදිරිපත්කර තිබීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයයි. එමඟින් පාඨකයන්ට ඉතාමත් සරලව, පහසුවෙන් තොරතුරු අවබෝධ කරගත හැකි ය. සිංහල භාෂාව හා අක්ෂර පිළිබඳ ඉගෙන ගැනීමට, නැතහොත් මුල සිටම ඉගෙන ගැනීමට අවශ්‍ය අයකුට, මේ ග්‍රන්ථය මනා පිටිවහලක් වනු නො අනුමාන ය.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න