බල්ලෙකුට නමක් තැබීම සිරගෙයි තැපීමට හේතුවක් විය හැකි ද ?
එහෙත් මිනිසෙකුට එවැනි ඉරණමකට මුහුණ දීමට සිදු විය හැකි බව පෙන්වා දෙන කතාවක් චීනයෙන් වාර්තා වෙයි.
මේ අපූරු පුවත වාර්තා කර ඇත්තේ, චීනයේ පළ කෙරෙන 'බේජිං නිව්ස්' පුවත්පතයි.
අපි ඒ කතාව මෙසේ කියවමු.
බල්ලන් බෝ කරමින් එම සුරතල් සතුන් විකිණීම කරන චීන ජාතිකයෙක් නැගෙනහිර චීනයේ 'අන්හුයි' (Anhui) ප්‍රාන්තයේ කුඩා නගරයක ජීවත් වෙයි.
'බේජිං නිව්ස්' එම තැනැත්තා හඳුන්වන්නේ "බෑන් මහත්මයා" යනුවෙනි.
ඔහුට පසුගිය දා එම ප්‍රදේශය භාර පොලීසියෙන් කැඳවීමක් ලැබිණි.
හේතුව ඔහු විසින් පළ කරන ලද දැන්වීමකි.
එම දැන්වීමේ අන්තර්ගතය මෙවැන්නකි.
"මගේ ළඟ අලුත් බලු පැටවුන් දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් 'චෙන්ග්ගොන්'. දෙවෙනියා 'ෂිගොන්'. (Chengguan and Xieguan)
එහෙත් එම 'බලු නම්' දෙක චීන සමාජය තුළ විශාල විවාදයකට හේතු වී ඇත.
ඊට හේතුව එම බල්ලන්ට තබා ඇති නම්වලින් 'ආණ්ඩුව' සහ 'සිවිල් සේවකයන්' අදහස් වීමය.
'චෙන්ග්ගොන්' (Chengguan) යන වචනය මගින් චීනයේ නාගරික ප්‍රදේශයන්හි බරපතළ නොවන අපරාධ පාලනය කරන නිලධාරීන් හැඳින්වෙයි.
'ෂිගොන්' (Xieguan) යනු රථවාහන හැසිරවීමෙහි නිරත නිල නොවන ප්‍රජා සහායකයන් සඳහා යොදා ගනු ලබන වචනයකි.
සුරතල් බලු පැටවුන් බෝ කරමින් විකිණීමේ නිරත 'බෑන් මහතා'ඉහත කී වචන යොදා ගනිමින් සිය බල්ලන් නම් කරනු ලැබ තිබෙන්නේ ඔහුගේ 'විනෝදයට' බව 'බේජිං නිව්ස්' පුවත්පත සඳහන් කරයි.
එහෙත් බෑන් මහතාගේ එම 'විනෝදය' තේරුම් ගැනීමට 'අන්හුයි' (Anhui) ප්‍රාන්තයේ බලධාරීන් අසමත් වී ඇත.
"නීතිය ක්‍රියාවට නැංවීමේ නිලධාරීන්ට අදාළව අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් බෑන් මහතාට එරෙහි විභාගයක් වහා ම ආරම්භ කරන ලද බව" පොලිසිය පවසයි.
"මහජන චීන ජනරජයේ ජනතා ආරක්ෂාව පිළිබඳ නීතියේ විධිවිධානවලට අනුව 'බෑන්' මහතාට දඬුවමක් වශයෙන් ඔහු 'ෂියාන්යැන්' (Xiangyang) නගරයේ පරිපාලන රැඳවුම් මධ්‍යස්ථානයක දවස් දහයක කාලයක් රඳවා තබන බව" 'යින්ග්ෂෝ'(Yingzhou)පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
වාසගම 'ලී' (Li ) යනුවෙන් යෙදී ඇති පොලිස් නිලධාරියෙක් 'බේජිං නිව්ස්'පුවත්පතට ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළේය.
"බෑන් මහත්මයා ඔහුගේ 'වීචැට්' (WeChat) ජංගම පණිවුඩ ගිණුම මගින් නිතර ම කුපිතකාරී අදහස් පළ කරමින් සිටියා. ඔහුගේ ක්‍රියාවන් සමාජයට ඉතා හානිකර වුණා."
පොලිසිය නගන චෝදනා සම්බන්ධයෙන් බෑන් මහතා කියන්නේ කුමක් ද ?
"මම නීතිය දන්නේ නැහැ. මම මගේ බල්ලන්ට තැබූ නම් ගම් නීති විරෝධී බවක් මම දැනගෙන හිටියේ නැහැ," බෑන් මහතා 'බෙජිං ඩේලි' පුවත්පත කළ විමසීමකදී සඳහන් කළේය.
බෑන් මහතා ප්‍රශ්න මතු කරන්නෙකු හැටියට ඇතැමෙකු දකින අතරවාරයේ, ඔහු අත්අඩංගුවට ගනු ලැබීම චීනයේ ජනප්‍රිය 'සිනා වීබෝ '(Sina Weibo microblog) මයික්රෝබ්ලොග් අඩවියට පිවිසෙන්නන් අතර දැඩි කම්පාවකට හේතු වී ඇත.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් 'බෑන් මහත්මයා' රඳවා තබා ඇති තත්ත්වය සම්බන්ධයෙන් මැසිවිලි පළ කරති.
"බල්ලෙකුට 'චෙන්ග්ගොන්' (Chengguan)කියල කතා කරන්න බැරි නීතිය මොකක් ද කියල කියනව ද?"එක් තැනැත්තෙක් ප්‍රශ්න කළේය.
"මිනිහෙක් සිරගත කිරීමට හේතු විය හැකි තවත් වචන තියෙනව ද ? ඒවා මොනව ද කියල කියනව ද ?" එය 'සිනා වීබෝ' (Sina Weibo microblog) මයික්රෝබ්ලොග් අඩවියට පිවිසි තවත් කෙනෙකුගේ ප්රශ්නයකි.
'චෙන්ග්ගොන්' (Chengguan) යනු සැබැවින් ම "බල්ලන්" බව හඟවන ඇතැම් බ්ලොග්කරුවෝ 'බෑන්' මහත්මයා රඳවා තබනු ලැබ තිබෙන්නේ, "රාජ්‍ය බලය අර්බුදයට ලක් කිරීම සඳහා කටයුතු කරන සැක කටයුතු බලවේගයක් හෝ එසේත් නැත්නම් 'රාජ්‍ය රහසක්' අනාවරණය කිරීමේ "අරමුණින් යයි සෝපාහාසයෙන් පවසති.
(බී.බී.සිය ඇසුරෙනි)
නව අදහස දක්වන්න