චීන - සහයෝගය! | දිනමිණ

චීන - සහයෝගය!

ජනාධිපතිවරයා හදිසියේ ම චීනයේ නිල සංචාරයක නිරත වීම කාගේත් විමතියට හේතුවක් විය. එහෙත් නිල සංචාරයේ ශේෂ පත්‍රය සකස් වන ආකාරය දෙස බලනවිට පෙනීයන්නේ එය අත්‍යවශ්‍ය හා අතිශය වැදගත් සංචාරයක් බව ය. චීන රජය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උදෙසා රුපියල් කෝටි දෙසිය හැටක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ. තව ද මෙරට පොලිසියේ ප්‍රවාහන කටයුතු දියුණු කිරීම සඳහා චීන ජීප්රථ සියයක් ලබා දීමට ද කැමැත්ත පළකර තිබේ. දල වශයෙන් එහි වටිනාකම රුපියල් කෝටි එකසිය පනහක් පමණ බව සඳහන් ය. මේ සංචාරයේ දී ශ්‍රී ලංකාවට වැදගත් ගිවිසුම් තුනක් අස්සන් කිරීමට ද නියමිත ය.

චීනය සැලැකිය හැක්කේ ලෝකයේ දෙවන බලවත් රාජ්‍යය හැටියට ය. ආර්ථිකය, යුද ශක්තිය පමණක් නොව; අජටාකාශ ගවේෂණය අතින් ගත්ත ද චීනය පසුවන්නේ බලවත් තැනෙක ය. චීන ජනාධිපති ෂී-ජින්-පින් යනු ලෝකයේ දෙවන බලවත් ම පුද්ගලයා ලෙස සැලකීමෙහි වරදක් නැත. ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඉතා හොඳින් සවන්දීම හා කලබලයකින් තොරව නිවැරැදි තීන්දු ගැනීම ය. ලොව නන් දෙසින් මතුවන අර්බුද ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීම ද චීන ජනාධිපතිවරයාගේ විශේෂතාවකි. ශ්‍රීලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දුටු ෂී-ජින්-පින් මහතා ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕනෑ ම සහයෝගයක් ලබා දෙන බව කියා ඇත. එය අප දිරිමත් කරන ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන ජනාධිපතිවරුන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් ද පැවැතිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ වර්තමාන තත්ත්වය හා අනාගත සැලසුම් පිළිබඳ විවරණයක් මෙහි දී සිදුකර තිබේ. ලෝක නායකයන් ශ්‍රී ලංකාවේ තත්ත්වය නිවැරැදි ලෙස වටහාගැනීම වැදගත් ය. විශේෂයෙන් චීනය වැනි ශ්‍රී ලංකාවට හිතවත් රාජ්‍යයක් අපේ සැබෑ තත්ත්වය ‍තේරුම් ගැනීම කාලෝචිත ය. ප්‍රධාන අභියෝග තුනක් අප ඉදිරියෙහි පවතී. එක; ත්‍රස්තවාදය පරාජය කොට ජාතික ආර්ථිකය යළි ගොඩනැඟීම ය. දෙක; ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ය. තුන; රටේ ජන ජීවිතය යථාවත් කිරීම ය. මේ අභියෝග තුන ම පහසුවෙන් ජයගත හැකි නො‍ වේ. ඊට චීනය වැනි බලවත් රටවලින් ආධාරය මෙන් ම උපදේශනය ද ලබා ගැනීම වැදගත් ය.

ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම්වල අඩුවක් අපට ඇතැ’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත. නූතන ලෝකය ත්‍රස්ත ක්‍රියා වළක්වා ගැනීම සඳහා දියුණු තාක්ෂණය භාවිත කරයි. චීනයට ඒ පිළිබඳ අත්දැකීම් ඇත. ෂී-ජින්-පින් මහතා මෙහි දී කියා ඇත්තේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දියුණු තාක්ෂණය ලබා දීමට චීනය ඉදිරිපත් වන බව ය. ඒ අනුව ලබන සතිය වන විට චීන විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඒ කරුණු සොයා බැලීම සඳහා ය. ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ බාහු බලයෙන් නොව; බුද්ධියෙන් යැයි කතාවක් තිබේ. දියුණු තාක්ෂණය මෙහිලා සඳහන් කළ හැක්කේ බුද්ධියට අයත් සාධකයක් හැටියට ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ‍ගොදුරු බිමක් බවට පත් ව තිබුණේ “ෂැංග්‍රිලා” හෝටල් පරිශ්‍රය යි. එම ප්‍රහාරයෙන් හෝටලයට බරපතළ හානි සිදු වී තිබිණි. “ෂැංග්‍රිලා” අන්තර්ජාතික හෝටල් සමූහය චීන සමාගමකට අයත් ය. ලෝකයේ රටවල් ගණනාවක “ෂැංග්‍රිලා” හෝටල් ඇතත්; මෙබඳු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ පළමු වතාවට ය. චීනය මේ සම්බන්ධයෙන් ද කරුණු අධ්‍යයනය කරන බවක් පෙනෙයි. ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර කඩාවැටීමක් සිදු විය. මේ වර්ෂයේ සංචාරක ක්ෂේත්‍රයේ පැවැති සැලැසුම්වලට අනුව කර්මාන්තයේ විශාල පිබිදීමක් අපේක්ෂා කර තිබිණි. එහෙත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබේ.

ජාත්‍යන්තර සහයෝගය දෙස බලනවිට එය අපට නොඅඩුව ලැබෙන බවක් පෙනෙයි. චීනය කියා සිටින්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඉදිරිපත් වන බව ය. මේ අතර තුර්කිය, ඉන්දියාව වැනි රටවල් ද ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ තත්ත්වය සැලැකිල්ලට ගනිමින් තවත් ණය වාරිකයක් අනුමත කර තිබේ. මූල්‍ය අරමුදල හිතුමතේ ණය අනුමත කරන්නේ නැත. එහි නිලධාරීහු රටක ආර්ථිකය, දේශපාලනය හා තවත් දේවල් සැලැකිල්ලට ගනිමින් ණය මුදල් අනුමත කරති. ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය නරක නැතැ’යි මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහතිකයක් ලබා දී ඇත. ඉන්ධන මිල සූත්‍රය ද හොඳ තීරණයක් ලෙස ඔව්හු පෙන්වා දෙති.

ජාතික ආරක්ෂාව, ජාතික සංහිඳියාව, ආර්ථිකය ගොඩනැඟීම වැනි විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විවිධ මතවාද හා විවේචන පැතිර යයි. ඒවා විවිධ දේශපාලන කණ්ඩායම් විසින් තම වාසිය ‍උදෙසා භාවිත කරනු ලැබේ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මුවාවෙන් රටට විදේශීය හමුදාවක් ගෙනඒමට උත්සාහ දරන්නේ යැයි මතයක් ද මීට පෙර ප්‍රචාරය වී තිබිණි. ලෝක දේශපාලනය ගැන නිසි වැටහීමකින් තොරව සිදු කරන මෙබඳු ප්‍රකාශවලට සාමාන්‍ය ජනතාව රැවටෙන්නට ද පුළුවන. එහෙත් සැබෑ තත්ත්වය වන්නේ මේ මොහොතේ ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බව ය. ජාත්‍යන්තර සහයෝගය යන්නෙන් අදහස් වන්නේ ත්‍රස්තවාදය පරාජය කළ හැකි දියුණු උපායමාර්ග බව අප සිහි තබා ගත යුතු ය.

ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම සඳහා රජය සිය උපරිම අවධානය යොමු කර ඇති බව ඉතා පැහැදිලි ය. ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදය හමුවේ පසුබෑමට ලක් වී ඇතත්; ශ්‍රී ලංකාව එබඳු තැනකට ඇද වැටුණේ නැත. අන්තවාදයත් - ත්‍රස්තවාදයත් කෙටි කාලයක් තුළදී මුළුමනින් ම පරාජය කරන බව ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද කියා ඇත. මේ පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම වැදගත් ය. ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත යුතු අතර ආණ්ඩුව ද මහජනයා කෙරෙහි විශ්වාසයකින් ක්‍රියා කළ යුතුය. රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඒ මාර්ගයෙන් පමණි.

 

නව අදහස දක්වන්න