මාරාන්තික තුවාල ලබා මෙන්ඩිස්-වෙත්තමුණි ලන්ඩන් රෝහලේ | දිනමිණ

මාරාන්තික තුවාල ලබා මෙන්ඩිස්-වෙත්තමුණි ලන්ඩන් රෝහලේ

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සිවුවසරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 14ක් පමණි. 1975 වසරේ ඇරැඹි මේ ලෝක කුසලාන තරගාවලියන්වල අවස්ථා කිහිපයදීම ශ්‍රී ලංකාවද කැපී පෙනුණ කණ්ඩායම් අතරට එක්විය. මංගල ලෝක කුසලාන තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ සිදුවීමකි මේ.

1975 අවුරුද්දේ පළමු වතාවට තිබ්බ ලෝක කුසලාන තරගාවලියට ටෙස්ට් වරම් නැතිව ක්‍රීඩා කරන රටවල් දෙක අතරින් එක් රටක් වුණේ ශ්‍රී ලංකාව. අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ එම තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදියා බවට පත්වුණේ එම වසරේ ශූරතාව දිනපු ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් පිල. කොදෙව්වන් හමුවේ කඩුලු 9 ක පරාජයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රභලම පන්දු යවන්නන් දෙන්නෙක් වුණු ඩෙනිස් ලිලී හ ජෙෆ් තොම්සන් හිටපු ඔස්ට්‍රේලියානු කණ්ඩායම. මේ තරගයෙදි ඔස්ට්‍රේලියාව ලකුණු 328 ක් ලබා ගත්තත් එය හඹා ගිය ශ්‍රී ලංකාවත් සැලකිය යුතු මට්ටමින් එම ලකුණු සංඛ්‍යාව හඹා ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි දෙන්නා පන්දුවට පහර දුන්න විදියට අනුව ජයග්‍රාහී ඉලක්කය පන්දු 168 කදී ලකුනු 178 ක් බවට පත් වුණා. ක්‍රිකට් ලෝකෙ ලිලිපුට්ටන් වුණු ශ්‍රී ලංකාව හමුවේ තම කණ්ඩායමට සිදුවන්න දේ ගැන ඉව වැටුණු ඔස්ට්‍රේලියානු නායකයා පන්දු යවන්න තෝර ගත්තේ තමන්ගේ හොඳම තුරුම්පු දෙක වුණු තොම්සන් සහ ලිලී යුගලය.

පිටියේ ස්ථාවර වෙලා හිටපු දුලිප් සහ සුනිල්ව දවා ගන්න එක අසීරු කරුණක් බව වටහා ගෙන හිටිය චැපල් අවුට් කිරීමට නොහැකි නම් තුවාල කරලා හරි පිටියෙන් ඉවත් කරන ලෙසයි. මහත්මා ක්‍රීඩාව විදියට සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය කෙළසන ලද සිදුවීමක් බවට පත් වුණු එම තීරණයෙදි මුලින්ම තුවාල වුණේ දුලිප් මෙන්ඩිස්. දැන් වගේ නොවෙයි ඒ කාලේ හිස් ආවරණ තිබුණේ නැති නිසා තොම්සන් විසින් පැයට සැතපුම් 100 කට වඩා වැඩි වේගයකින් එවපු පන්දුව නතර වුණේ කෙළින්ම මෙන්ඩිස්ගේ මුහුණෙ වැදීමෙන්. කපා හෙලූ ගසක් මෙන් බිම ඇද වැටුණු මෙන්ඩිස් ආයිත් සිහිය එනකොට හිටියේ රෝහල් ඇඳක් මත.

මෙන්ඩිස්ව තුවාල කළත් තොම්සන්ගේ වියරුව නම් නතර වුණේ නෑ. ඒ වෙනකොටත් ලකුණු 52 ක් ලබා ගෙන හිටපු සුනිල් වෙත්තමුණිගේ කකුලේ පන්දුව වැද්දවමින් තුවාල කිරීමට තොම්සන් සමත් වුණත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෙත්තමුණි නැවතත් පන්දුවට පහර දීමට ආවා. වෙත්තමුණිගේ නැවත ආගමනය දුටු තොම්සන් දැඩි කෝපයට පත් වුණා විතරක් නොවෙයි "උඹ තවම තුවාල වුණේ නෑ. ඒත් ඊළඟ පන්දුවාරයේදී උඹ අනිවාර්යයෙන්ම තුවාල වේවි. බලාගෙන ගහපන් පාහරයා" යනුවෙන් බැන වැදුණා.

තොම්සන් කියපු විදියටම ඊළඟ පන්දුවෙන්ම වෙත්තමුණි තුවාල ලැබුවා විතරක් නොවෙයි ගිහින් නතර වෙන්න සිද්ධ වුණේ මෙන්ඩිස්ට නැවතිලා හිටිය ඇඳට අල්ලපු ඇඳේ. මේ කණගාටුදායක සිදුවීම නිසා එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණත් කඩුලු 4 කට ලකුණු 276 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මැද පෙළින් පන්දුවට පහර දෙන්න ආපු නායක අනුර තෙන්නකෝන් ලකුණු 48 ක් සහ මයිකල් තිසේරා ලකුණු 52 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වුවා. ශ්‍රී ලංකා පිතිකරුවන්ට මාරාන්තික මට්ටමේ තුවාල ඇති කළ එම තරගයේදී ඔස්ට්‍රේලියානුවන් ලකුණු 52 කින් තරගය ජය ගැනීමට සමත් වුණත්, ඒ ජයග්‍රහණය ගෞරවනීය එකක් කියලා කවුරුත් සැලකුවේ. නෑ. කොටින්ම තරගය දිනුවේ ඔස්ට්‍රේලියානුවන් වුණත්, තරගය නැරඹී සියළුම ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනා ගැනීමට එවකට ආධුනිකයන් ලෙසින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා කියලා තමයි ඉතිහාස වාර්තාවල සදහන් වෙන්නේ.

මාරාන්තික තුවාල හින්දා මෙන්ඩිස් සහ වෙත්තමුණි නේවාසිකව ප්‍රතිකාර ගත්තේ දකුණු ලන්ඩනයේ ඇති ශාන්ත තෝමස් රෝහල. රෝහල් ගත වෙලා හිටිය මෙන්ඩිස්ව මුණ ගැසීමට හදිසියේම පැමිණි අමුත්තතෙකි. ඔහු පොලිස් නිලධාරියෙක්. පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි ඒ පොලිස් නිලධාරියා කෙළින්ම ඇඳ ළඟට ඇවිල්ලා මෙන්ඩිස්ගෙන් අහපු දෙයින් මෙන්ඩිස්ව අන්දුන් කුන්දුන් වුණා. "මහත්මයා, ඔබට සිදුවූ දේ සම්බන්ධව තොම්සන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට යෑමට අවශ්‍යද..?" යන්න මෙන්ඩිස්ගෙන් විමසා තිබේ.

අවුන්ස පහමාරක් බරැති ඝණ හමකින් නිපදවන ලද ලෙදර් පන්දුවක්, පැයට සැතපුම් 100 කට වැඩි වේගයෙන් ඇවිත් මුහුණේ වැදීම නිසා දැඩි වේදනාවකින් සහ පීඩාවකට පත්ව සිටි මෙන්ඩිස්ට පොලිස් නිලධාරියා විමසූ කරුණ තේරුම් ගැනීමට ගියේ නිමේෂයක් පමණි. අමාරුව අතරින් මුවගට ආ සිනාව නවතාගත නොහැකි වූ නමුත්, ඔහු එය අමාරුවෙන් යටපත් කර ගනිමින් එසේ කිරීමට අවශ්‍ය නොමැති බව පොලිස් නිලධාරියාට දැනුම් දීම, ලෝක කුසලානේ සිදුවූ සුවිශේෂී සිද්ධීන් අතර ප්‍රමුඛස්ථානයක් හිමිව තිබෙන කතාවක්.

ඒ ලෝක කුසලාන කතාව එතැනින් අහවර වුණත් පසු කළෙක මෙන්ඩිස්ට නැවතත් තොම්සන්ව මුණ ගැහිලා තියෙන නමුත් පළමු අවස්ථාවේ පරිදි වේගයෙන් පන්දු යැවීමට තොම්සන් ට නොහැකි වෙලා තියෙනවා. කොහොම වුණත් මේ ගැන මාධ්‍ය විසින් කරන ලද විමසීමකදී, "ජීවිතයේ මුහුණ දුන්න වේගවත්ම පන්දු යවන්නා තමයි තොම්සන්. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වත් අසාමාන්‍ය ස්වරූපයක් ගන්න නිසා පැයට සැතපුම් 100 කට වඩා වේගයන් එන පන්දුව එන මාවත පිළිබඳව එක පාරට අවබෝධයක් ලබා ගන්න අමාරුයි

. ඇත්තටම එය විශාල අභියෝගයක්. ඒත් ඒ කාලේ පන්දු යැව්ව තරම් ඔශු දැන් පන්දු යවන්නේ නෑ. ආබාධයක් තියාගෙන පන්දු යැව්වත් ඒ පන්දුවලත් තවමත් හොඳ වේගයක් තියෙනවා" යනුවෙන් මෙන්ඩිස් අදහස් දක්වලා තියෙනවා.

චමිල කරවිට

නව අදහස දක්වන්න