ඉතාලි තරගාවලියෙන් සෙරීනා ඉවතට | දිනමිණ

ඉතාලි තරගාවලියෙන් සෙරීනා ඉවතට

දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉතාලි විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වීමට අමෙරිකාවේ සුපිරි ක්‍රිඩිකාව සෙරිනා විලියම්ස් තීරණය කළේය. ලෝක කාන්තා ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන සෙරීනා ඉතාලි තරගාවලියෙන් ඉවත්වූවද මේ මස 26 වැනිදා ආරම්භ වන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

‘මගේ ප්‍රියතම තරගාවලියක් වන ඉතාලි විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවත්වීම ගැන කනගාටුයි. නමුත් ඉක්මනින් පූර්ණ සුවය ලබා ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට එක්වීමට බලාපොරොත්තු වෙනවා.’ 37 හැවිරිදි මේ ක්‍රීඩිකාව ප්‍රකාශ කළාය.

ග්‍රෑන්ඩ් ස්ලැම් තරග ඉසව්ව විවෘත තරගාවලියක් බවට පත් කිරීමෙන් පසුව ලෝක කාන්තා ටෙනිස් පිටියේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන ප්‍රමාණයක් දිනා සිටින සෙරිනා ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේදී සිය 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය දිනාගනිමින් එතෙක් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් කුසලාන 24ක් දිනා ගත් ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ වාර්තාව සම කිරීමට බලාපොරොත්තු වන්නීය.

නව අදහස දක්වන්න